Home » Blog » වැහි දවස

වැහි දවස

by lakehouse
0 comments

වැහි බීරානිය ක්‍රමයෙන් තුරල් වෙමින් තිබිණි. චුරු චුරු වැස්ස නම් නැවතී නැත. එහෙත් ගංවතුරක ලකුණු පහළ වෙමින් තිබිණි.
ගඟ ඉහත්තාවෙ හොඳටෝම වැහැල වගෙයි. නැතිනම් බොර වතුර එන්නෙ කොහොමද? වතුපිට හෝදගෙන එනවා වගෙයි. ගඟේ වතුරේ ගසාගෙන එන රොඩු බොඩු ගස් අතු රිකිලි වේගයෙන් මුහුද බලා දිවයයි.
“අද ඉස්කෝලෙ නොගියට කාරි නෑ දරුවනේ. ගුරුවරුන් අඩු වෙයි. මයෙ හිතේ.” අප්පච්චිගේ නිවේදනයට අපි අකැමැති වීමු.
“අද නම් යන්නම ඕන.” මට කලින් මල්ලී කිවේ ය.
“මල්ලි ඔය සූදානම් වෙන්න. මම ටක් ගාලා මේ ආප්ප ටික දීලා එන්නම්. කඩ දෙකකට වගේ තමයි යන්නෙ.” “අයියෙ පරෙස්සමට යන්න.” ඔහු කීවේ ය.
වැස්ස නැතුව ද අකුණු විදුලි කෙටීම බලවත් ය. මල්ලී පාසලේදී ලියා අවසන් කළ කොටුරූල් පොතක් කඩා අපි රෑ තිස්සේ කඩදාසි බෝට්ටු සෑදුවෙමු. ඒවා රහසිගතව පොත් මල්ලේම සඟවා ගතිමු.
“මේ චුරු චුරු වැස්සෙ ඉස්කෝලෙ නොගොහින් ගෙදරට වෙලා පොතක් පතක් බලා ගනිල්ල දරුවනේ. ”
“අනේ අත්තම්මේ. අයියා නාවත් මම නම් යනවා. ශිෂ්‍ය නායකයා මම. මගේ වගකීම මං කරන්න ඕන.” මල්ලි කීවේ ය.
“උඹැහෙලාට යන්නම ඕනි නම් යමල්ලා. තද වැහි නැතුවට අකුණු විදුලි නම් සැරයි. අහස පුපුරලා යනවා වගේ.” කියමින් සෝමෙ අයියා ගොන්බාන දිගේලි කරන්නට ආවේ ය.

මම කරුණෙත් සමඟ ආවේ සපත්තු කානුව හරහා නොවේ. දේවාල පාරෙනි. ඒකෙන් එන විට සපත්තු කානුව අහු වෙන්නෙ නැත. මේ දේවාලයට මා කිසිදාක ඇවිදින් නැත. අකුරුගොඩ කන්දේ දේවාලය අනුහස් ඇති තැනකියි ගමේ සමහර මිනිස්සු කියති.
අප එද්දී සුමනක්කාත් ඇයගේ අම්මාත් දේවාල මිදුලේ සිටියහ. ගුණපාල කපු මාමා පොල් ගෙඩියකට ගිනි තබා සුමනක්කාගේ හිස වටා කරකවමින් සිටියේ ය. අපි මඳක් නැවතී එදෙස බලා සිටියෙමු.
“අම්මේ වැසි තුරල් කළාට සපත්තු පාලම උඩ වතුර පාර සැරයි. අපි ආවෙ අකුරුගොඩ දේවාලෙ පාරෙන්”
“හා…. හා…. කතාව නවත්තලා ඔය වතුර පිහා ගන්නවා. කීයක් මුදල් ලැබුණ ද පුතෙ?”
“අම්මා ලෑලි කඩේ මුදලාලි විතරයි සල්ලි දුන්නෙ. තුනයි විසි පහක්ම දුන්නා. මේං ඒ සල්ලි.”
“ඒක නෙවෙයි අම්මෙ. අපි ආවෙ දේවාලෙ පාරෙන්. ඒ එන කොට දේවාලෙ කපු මාමා පොල් ගෙඩියක් ගිනි තියලා සුමනක්කගෙ ඔළුව වටා කරකවනවා. මොකටද අම්මෙ එහෙම කරන්නේ….?”
“පුතේ ඒක දේවාලයක්. අනික ඔය සුමන කෙල්ලට මොකද්දෝ භූත බලවේගයකුත් තියෙනවලුනේ. ඉතින් පූජාවක් වෙන්න ඇති.”
“ඉතින් අර පොල් ගෙඩියක් ගිනි තියල මොකද?”
“දරුවො ඒ ගිනි තියල නොවෙයි. පොල් ගෙඩිය උඩ කපුරු පත්තු කරලා”
“අනේ මන්ද. පුදුම ශාන්තිකර්මයක්. මං ඔය දැක්කමයි.”
“මමත් එහෙමයි.” කරුණෙත් කීවේ ය.
“අම්මෙ අපි ඒක බලන්න යන්නද?”
“අපෝ එපා. ඒවට යන්න බෑ. හතර සීමාව තහංචියි.”
“ඔය කෙල්ලට අතේ මිටේ ගැටේ ලෙහෙන කම් වෙදකම් කොළා. තාම හොඳ නැතිව වෙන්නැති.” ආත්තම්මා ද කීවා ය.
“අනේ ඔය අනුන්නෙ වංහුං හොයන්නෙ නැතුව හිටිල්ලා. කටකම සෙයියාවක් නැතුව කියවනවා.”
“මල්ලී අද අපි ඉස්කෝලෙ නොගොහින් ඉඳිමු. කරුණෙත් යන් නෑ..”
කහපාට හිරු එළියෙන් තුරු මුදුන් නැහැවී යයි. කුරුල්ලන්ගේ කිචි බිචිය හරිම කන්කලු ය. මිදුලේ පාත්තිය පුරා මල් පිපී සිනාසෙන සීනියාස් පඳුරු ලස්සන ය. අරලියා මල් පොකුරු පිපී සුවඳ හතරවට සිසාරා යයි. හරිම සුන්දර උදෑසනකි.
“දැන් පුතේ උඹහෙලාට නිවාඩු කාලෙනේ. දැන් පුංචි ළමයින් නෙවෙයි නේ. මෙදා දෙන්න එක්ක යාළුවොත් කතා කරගෙන නරකද වෙසක් කූඩු ටිකක් හැදුවොත්.”
“අප්පච්චි අපි හන්දියේ පුංචි තොරණක් ගහන්නය හිතා ඉන්නෙ.”
“හොඳා… හොඳා… ඒත් ඉතින් ගෙදර දොරකඩටත් අට පට්ටම් කූඩු දෙක තුනක්වත් එපාය.” “හොඳා අප්පච්චි” මම කීමි.
පසුදාම විමලෙත් කරුණෙත් ඇතුළු අප කණ්ඩායම එකතු කර අදහස කීවෙමු. ගෙදරකට වෙසක් කූඩු තුන බැගින් හදන්නට අපි යෝජනා කර ගතිමු.
විමලෙත් මමත් බට ගස් මිටියක්ම ගෙන ආවෙමු. පළමුව ගෙදරකට වෙසක් කූඩු තුන බැගින් හදන්නට යෝජනා කර ගතිමු.
කරුණේ රබර් ඔට්ටපාලු බෑගයක්ම ගෙනත් දුන්නේ ය. බිංදු ඔවුන්ගේ කඩයෙන් වෙසක් කොළ ගෙන ආවේ ය.
අපි කවුරුත් එකතු වී එක් අයකුට තුන බැගින් අට පටටම් කූඩු හැදුවෙමු.
වෙසක් පෝදාට කලින්දා අපි තොරණේ වැඩ අවසන් කළෙමු. එහෙත් තොරණ ගැසීමට ගමේම කොලු කුරුට්ටෝ එක් වූහ.
කාංචන නංගී අඳින ලද වෙස්සන්තර කතා වස්තුව ප්‍රදර්ශනයට සූදානම් කළෙමු. ලැබී ඇති ලාභයෙන් අඩක් චිත්‍ර ඇඳ දුන් කාංචන නංගීට දීමට තීරණය කළෙමු.
හිටිවන කවි කීමට දක්ෂයකු වූ රංගා තොරණ කවි කියන්නට විය. ප්‍රදර්ශනය අවසානයේ එකතු වූ මුදල් ඊළඟ දිනයට ද තබා ගතිමු. එහිදී අපේ ඉදිරි වැඩ සඳහා එක් අයකුට රුපියල් දහතුනහමාර බැගින් ලාභ බෙදීමට වුවද හැකියාව තිබිණි.
අපි දින පහක්ම තොරණ ප්‍රදර්ශනය කළෙමු. කාංචන නංගීට දුන් මුදල් ඇය ප්‍රතික්ෂේප කළා ය.

අපි ආබාධිත තිදෙනකුට රෝදපුටු ලබා දුනිමු.
තවත් යහළුවන් පිරිසක් කොස් දන්සැලක් පැවැත්වූහ. වෙසක් පොහෝ දෙදින හොඳින්ම ගත විය. ගමේ අය අපට ප්‍රශංසා කළහ. වැඩිහිටියන් ද අපට උදව් උපකාර කිරීමෙන් අපේ සතුට වැඩි කරන ලදි.
“ඔන්න මේ සැරේ අපේ පාරත් හදනවාලු.” සෙලීනා ආච්චි කීවා ය. දන්තුරේ උබේනිස් උන්දැත් ගෙදරට ගොඩවූයේ බුලත් විටක් හපන්නට යැයි කියමින් ය.
“මොකෙන්ද උබේනිස් පාර හදන්නෙ?” “ඇයි විදානෙ මහත්තයො ග්‍රාම සංවර්ධන සමිතියෙන් නොව. ගමේ පාර හදන්නයි ඒ පාස් වෙලා තියෙන්නේ මේ. පාර හදන්නලු.”
“ඒක නම් හොඳ තමා.” තේගිස් මාමා ද කීවේ ය. “ඇළ කණ්ඩියෙ මහ ඒ දණ්ඩ ළඟ සිට උඩහට පාර හදන්නට සමිතියට ආණ්ඩුවෙන් මුදල් පාස් වෙලාලු. සමිතියේ සභාපති කියලා තියෙන්නෙ.”
“ඒක නම් හොඳ තමා. ඕං විදානෙ අයියත් එන්න. ඇළ කණ්ඩියෙ මහ ඒ දණ්ඩ ළඟ ඉඳලයි හදන්නේ.” සමිති සභාපති පීර්සි මහතා කීවේ ය.
“අප්පට බොල හොඳා. හොඳා. පාරත් අල්ලල සමහරු වැට ගහල තියෙන්නෙ. ඒ වැටවල් නම් කඩන්න වෙනවා තමයි. පාර කාටත් පොදු දෙයක්නේ. බයිසිකලේවත් අයින් කරන්න ඉඩ නෑ.”
“පාර හදන්න බැකෝ එක ගෙනාවා. මේ එක එක පාලියෙන් පාර හදන්න බෑ. කොල්ලෝ එක රංචුවකට බැඳී බැකෝ එකේ වැඩ බලා සිටිති.
“මේ වැටවල් නම් කඩන්න වෙනවා. පාරත් අල්ලලා වැටවල් ගැහුවට පැලෑනේ හැටියට ඒව හරියන් නෑ.”
“හා එහෙමද සභාපති මහත්තයෝ. අපි තමුන්නැහෙව පත්කොට ගත්තේ අපටම අංචි අදින්න ද?” මාටින් මාමා ගෝරනාඩු කළේ ය.
“මේ කුලියට කහින්නැතුව පලයං මාටිං. මේක අපේ පාර. ඩක්කු ගෙනියන්න නොවෙයි නේ. අපට නිදහසේ පුට්සයිකලයක් වත් පැදගෙන යන්න.”
“ඇයි…? විදානෙ මහත්තයා එහෙම කියන්නෙ?”
“මොකද පාර හැදුණොත් නරකද?” අප්පච්චී ද පැටලෙන්නට විය.
සිරිනීතා නැන්දාත්, ඇලිස් නැන්දාත් බැදපු බත් ගුලිත් හකුරුත් සමඟ කහට ගෙනාහ.
“මේ සභාපති උන්නැහේ මගේ වැට නම් ගලවන්න එපා.”
“එහෙම කොහොමද සිරිල් උන්නැහේ පාර කාටත් පොදුයිනේ”
“මගේ තේ පැළ විසි තුනක්ම ගැලවෙනවා.”
“සභාවෙන් ඒවට වන්දි ගෙවයි සිරිල් මහත්තයා.”
“මට ඒවැයින් කාරි නෑ. මගේ තේ ගස් ටික බේරා ගන්න බැරි නම්. සතියකට දලු කිලෝ දෙකක් තුනක් කඩන තේ ටික.”
“හරි විසඳුමක් නැතුව ඔය යකඩ කඳ කරකෝනව නොවෙයි ඕං….”
“හරි හරි මාමා ඔතනින් අහට්ට වෙන්නකො. මේ වැඩේ කරන්න දීලා” අප්පච්චී කීවේ ය.
“මේ විදානෙ මහත්තය. මුං මේ එක එක පාලියෙන් ඇවිත් අරක, මේක කළා කියලා සල්ලි කොල්ල කනවා. ඔය පස්ස පාට අපට අදාළ නෑ. වන්දි නොදුන්නොත් මං මේ වාහනේටම පනිනනවා.”
සිරිල් සීයා සත්තමක් දැම්මේ ය. පාර හැදිල්ල එතැනින් නතර විය. සිරිල් සීයාගේ වැඩය හොඳයි ද නරකයි ද කීවෝ වූහ.

වචනවල තේරුම්

ඉහත්තාව – ඉහළ, උඩහින්
දිගේලි කරනව – ගැට ගහනව
තුරල් කරනවා – මඳකට නතර කිරීම
තහංචියි – තහනම්
අතේ මිටේ, ගැටේ
ලෙහෙනකම් – ළඟ තියෙන මුදල් ඉවර වෙන තුරු
වංහුං – තොරතුරු
කට කම
සෙයියාවක් – තොර තෝංචියක්
අංචි අදිනවා – උගුල් අදිනවා
කුලියට කහිනවා – අනුන්ගේ කීම් බස්වලට වැඩ කරනවා
අහට්ට වෙනව – එහාට වෙනවා
පස්ස පාට – පක්ෂවල පාට
සත්තමක් – තර්ජනයක්

රත්නා කහඳගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department