Home » Blog » මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ වැදගත්කම

මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ වැදගත්කම

by lakehouse
0 comments

ආදරණීය දුවේ පුතේ, මේ වන විට ඔබ අනාගතයේ තෝරා ගන්නේ කුමන වෘත්තියක් ද යන්න ඔබ තීරණය කර ඇත. වර්තමානය වන විට බොහෝ දෙනා මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ සිහිනය සැබෑ කරගැනීම සඳහා කටයුතු කරති. ඉතින් දුවේ පුතේ, ඔබ මව හෝ පියා හෝ වෙනත් වැඩිහිටියකු කියන නිසා නොව ඔබට කළ හැකි වෘත්තියක් ඔබේ දක්ෂතාව අනුව තෝරා ගැනීමට තීරණය කළ යුතු ය. මෘදුකාංග ඉංජිනේරුවකු වීමට සිහින දකින දුවලා පුතාලා මේ වන විටත් මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ වැදගත්කම දැන ගත යුතු ය. ඒ පිළිබඳ අද අපි ඔබට කියා දෙන්නෙමු.

මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ වැදගත්කම

නව ලෝකය සඳහා විවෘත වූ වෘත්තියක් ලෙස මෘදුකාංග වෘත්තිය හඳුන්වා දිය හැකි ය. මෘදුකාංග ඉංජිනේරුවරයා සෑම විටම නව දැනුම සොයන්නකු විය යුතුයි. නව ආකාරයට දැනුම ලොව වෙත ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිරන්තර සොයන්නකු විය යුතුයි. නව පරිගණක භාෂා අනුසාරයෙන් නව පරිගණක වැඩසටන් ලිවීමට හැකියාවක් තිබිය යුතුයි. ඔහු හෝ ඇය තෝරා ගන්නා පරිගණක භාෂාව මඟින් ලියනු ලබන වැඩසටහන නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබිය යුතුයි.

පරිශීලකයන් පිළිබඳ අවබෝධය

තමන් නිර්මාණය කරන පරිගණක වැඩසටහන් පරිශීලනය කරන පුද්ගලයන් කුමන ආකාරයේ පුද්ගලයන් ද යන්න පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. ඇතැම් මෘදුකාංග ඉංජිනේරුවන්ට තමන් සාදන වැඩසටන පරිශීලනය කරන්නේ කවුද යන්න පිළිබඳ අවබෝධයක් ලබා නොගනියි. එය අවාසිදායක තත්ත්වයකි. මේ නිසා තමන්ගේ පාරිභෝගික පිරිස පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ ගත යුතුයි. මේ සඳහා පොත පත පරිහරණයෙන් දැනුමක් ලබා ගැනීම වැදගත් වේ. පරිගණක සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් නිර්මාණාත්මක විෂයන් සම්බන්ධයෙනුත් මෘදුකාංග ඉංජිනේරුවාට දැනුමක් තිබිය යුතුයි.

මෘදුකාංග වෙළෙඳපොළ

මෘදුකාංග වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු කරන්නේ කුමන වයස් ප්‍රමාණයක පාරිභෝගිකයන් පිරිසක් ද ඔවුන් තමන්ට අවශ්‍ය කාර්යය කුමක්ද යන්න ව්‍යවසායකයා හෙවත් සේවය සපයන්නාට කීමට තරම් දැනුමක් ඇති පුද්ගලයන් ද යන්න පිළිබඳ විමසිලිමත් විය යුතුයි. කිසියම් පරිගණක වැඩසටහනක් සාදා ගැනීමට සාදා ගැනීමට මෘදුකාංග ඉංජිනේරුවකු වෙත පැමිණෙන පාරිභෝගිකයකුගෙන් ඔහුට අවශ්‍ය වන වැඩසටහනේ ස්වරූපය කෙබඳුද යන්න පිළිබඳ පැහැදිලිව අසා දැන ගැනීම වැදගත් වේ. එසේ දැන ගැනීමට අපොහොසත් වුවහොත් ඔහු වෙනුවෙන් සාදන වැඩසටහන සාර්ථක නොවේ.

මෘදුකාංග ඉංජිනේරුවාගේ අවබෝධය

මෘදුකාංග සම්බන්ධ සේවයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පාරිභෝගිකයකු පැමිණි විට මෘදුකාංග ඉංජිනේරුවරයා ඔහුට මනා ලෙස ඇහුම්කන් දිය යුතුයි. මෙහිදී ඔහුට අවශ්‍ය කුමන ආකාරයේ සේවයක් ද යන්න පිළිබඳ විමසීම. එමෙන්ම කුමන කටයුත්තක් සඳහා එම වැඩසටහන සකස් කරන්නේ ද යන්න පිළිබඳ විමසීම කළ යුතු ය. මේ නිසා සෑම විටම සේවය ලබා ගන්නා කෙරෙහි මෘදුකාංග ඉංජිනේරුවා සැලකිලිමත් විය යුතුයි. එහිදී සේවය ලබා ගන්නා පුද්ගලයකු හෝ ආයතනයක් විය හැකි ය. ඔවුන්ට සාදන මෘදුකාංග වැඩසටහන සුදුසු ද නැද්ද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

සැලකිලිමත් විය යුතු කරුණු

ඔබ භාවිත කරන සෑම මෘදුකාංගයක්ම සෑම යෙදුමක්ම , ක්‍රීඩාවක් හෝ පද්ධතියක්ම ආරම්භ වූයේ මෘදුකාංග ඉංජිනේරුවකුගේ සිතේ ඇති වූ අදහසක් අනුව ය. අප අද මෘදුකාංග භාවිත කරනුයේ ඔවුන්ගේ නිවැරැදි සකස් කිරීම නිසා ය. මේ නිසා ඔබත් නිවැරැදි ආකාරයට වැඩසටහනක් සැකසීමට වග බලා ගත යුතුයි.

ආර්ථික වාසිය

මෘදුකාංග වැඩසටනක් සෑදීමෙන් ආයතනයක හෝ පුද්ගලයකුගේ කාර්ය ඉක්මන් කිරීමට හැකියාව ලැබේ. මේ නිසා මෘදුකාංග වැඩසටහන් ලිවීමේ භාෂා පිළිබඳ නිපුණත්වයක් ලබා ගැනීමත් වැදගත් වේ. ක්ෂණිකව මෘදුකාංග වැඩසටහනක් ලිවීමෙන් ක්ෂණිකව ඇති වන ප්‍රශ්නයකට ක්ෂණිකව පිළිතුරක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ අනුව මෘදුකාංග වැඩසටහනක් ලිවීම පහසු නොවේ. ඒ අනුව මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ ඥානය සුළුපටු නොවේ. එම නිසාම මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කිරීමෙන් ඉහළ වැටුප් තලයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. බිල් ගේට්ස් වරක් පැවසුවේ” වැඩසටහන් ලිවීමට ඉගෙනීම යනු ඔබේ මනස දිගු කරගැනීමයි” යන්නයි.

සාමිස අබේසිංහ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department