‘මම අධිරාජ්‍යයේ ගැත්තෙක් නොවෙමි’ යන උදාර වාක්‍ය හඬ නඟා වීර ප්‍රකාශයක් කර මෙරට සිටි බොහෝ දේශප්‍රේමීහු සුද්දන්ගේ තුවක්කුවලට බිලි වූ අතර, තවත් බොහෝ දෙනක් බන්ධනාගාරගත වීමෙන් පසුව නිදහස් වුවද ආණ්ඩුවේ ගැත්තෝ නොවූහ. ඔහු බෞද්ධ ජාතීන් උදෙසා සිටගත් මහා වීරයෙකි. රටේ ඒකීය ස්වාධීනත්වය වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිංහලයන් වෙනුවෙන් නැගී සිටි ඔහු ජාතියට උදාර මෙහෙවරක් ඉටුකළ පුරෝගාමියෙකි.
මොහු නමින් ඩේවිඩ් හේවාවිතාරණ ය. 1864 සැප්තැම්බර් 17 උපත සිදුවිය. මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා හේවාවිතාරණ යන දෙපළ මව්පියෝ වූහ. මේ පවුලේ අය බුදු දහමට දැක්වූ අසීමිත ලැදියාව නිසා ඩේවිඩ් හේවාවිතාරණට බෞද්ධ ආභාසය ලැබිණි.
එදා පැවති ක්‍රමය අනුව ක්‍රිස්තියානි මිෂනාරි අධ්‍යාපනය ලබාදීමට ඔහුගේ මව්පියන්ට සිදුවිය. පිටකොටුවේ මේරි විදුහල, කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහල, ගල්කිස්සේ ශාන්ත තෝමස් සහ කෝට්ටේ ක්‍රිස්තියානි පාසල්වල ඩේවිඩ් විතාරණ අධ්‍යාපනය හදාරා ඇත. මොහු කුඩා කල සිටම බුදු දහමට ඉතා ඇල්මක් දක්වා ඇත. මොහුගේ නිවාඩු දිනවලදී දීපදුත්තාරාමයට ගොස් වාදීභ සිංහ මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ඇසුර ලබමින් විශාල දැනුම් පරාසයක් ලබාගැනීම ද භාග්‍යයකි.
අනගාරික ධර්මපාලතුමා ලෝකවාසී සැමගේ සිත් තුළ සදාකාලික අමතක නොවෙන චරිතයක් විය. 1906 දී බෞද්ධ මහජන මතය ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා විසින් ‘සිංහල බෞද්ධයා’ පත්‍රය ආරම්භ කිරීම.
ඕල්කට්තුමාගේ “සරසවි සඳරැස“ පත්‍රයේ සියලු කටයුතු සිදුකිරීම
ඕල්කට්තුමා සමඟ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට වැඩ කිරීම
ඕල්කට්තුමා සමඟ ලක්දිව පුරා ඇවිදිමින් එතුමාගේ ඉංග්‍රීසි කතා සිංහලයට නැඟීම.
බ්‍රහ්මචාරි වීමෙන් මුළු ජීවිතයම රට ජාතිය ආගම සඳහා පරිත්‍යාග කිරීම
බුද්ධගයාවට ගොස් එය හින්දු පූජකයන්ගෙන් බේරා ගැනීමට ක්‍රියාකිරීම
“සිංහල බෞද්ධයා“ හා “මහාබෝධි“ නමින් ඉංගී‍්‍රසි පත්‍රයක් ආරම්භ කිරීම.
ලක්දිව ගමක් පාසා ඇවිදිමින් දේශනා පැවැත්වීම
පේෂකර්ම ඉගෙනීමට සිංහල තරුණයකුට ශිෂ්‍යත්වයක් දී ජපන් රටට යැවීම.
“මේරි පෝස්ටර්“ නිදහස් ආයුර්වේද ආරෝග්‍ය ශාලාව කොළඹ පිහිටුවීම
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය පිහිටුවීම
මහාබෝධි නමින් ඉංග්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීම
සාරානාත්හි ඉසිපතනයේ “මූලගන්ධකුටි“ නමින් විහාරයක් තැනවීම
මහනුවර මේරි පෝස්ටර් සාමණේර ආයතනයේ ධර්ම දූත භික්ෂූන් පුහුණු කිරිම
සිංහලයන් තුළ ඉංග්‍රීසින් පිළිබඳ තිබුණු හුඹස් බිය නැති කිරීම.
පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය පිහිටුවීම යන සේවාවන් රාශියක් මෙතුමා සිදුකර ඇත.
1892 මැයි 5 සිට දේශීය කර්මාන්ත දියුණු කිරීමට මහා පිටිවහලක් ගත් ඔහු අමද්‍යප ව්‍යාපාරයට එක් විය. සිංහල ජනයා සුරාවෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් ගත් අතර, බුදුදහම ලොව ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක විය.
ආගමික වශයෙන් ද කර්මාන්ත වශයෙන් ද ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට අනගාරික ධර්මපාලතුමා කටයුතු කළේය. අලියා ගිනිපෙට්ටි කර්මාන්තශාලාව, පිඟන් කර්මාන්තශාලාව යන කර්මාන්තයන් ඇරැඹීමට මාවත සකස් කිරීමට මුල් විය. ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිවාස අඩස්සියට පත්වී 1921දී නිදහස ලැබූ පසු ගව මස් කෑමට එරෙහිව නැඟී සිටියේ ය. මෙතුමාට තිබූ වාහනයේ ද “හරක් මස් නොකනු” යන ආදර්ශ පාඨය සඳහන් කර එම වාහනය සමඟ ගම් නියම්ගම් වෙත ගොස් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද පවත්වන ලදි.
අනගාරික ධර්මපාලතුමා සිංහලයාගේ දියුණුවත් බුදුදහම ව්‍යාප්ත කිරීමත් වෙනුවෙන් 1931 වර්ෂයේදී ශ්‍රී ලංකාව හැර ගියේය. එතුමා දඹදිවට ගියේ බෞද්ධයන්ගේ සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා ය.
1931 ජූලි 13 වැනි දින ඔහු බරණැස ඉසිපතනාරාමයේදී සිරි දේව මිත්ත ධම්මපාල නමින් පැවිදි දිවියට ඇතුළත් විය. පසුව විවිධ බාධක මැද ඉන්දියාවේ බුද්ධගයාවට නුදුරින් ඉඩමක් මිලදී ගත්හ. උන්වහන්සේ මූලගන්ධකුටි විහාරය ඉදිකොට ලෝක ජනතාවට දායාද කරන්නට වූහ.
පැවිදි දිවියේ සිටියදී රෝගාතුර වී එම තත්ත්වය උත්සන්න වී උන්වහන්සේ 69 වියේදී 1933 අප්‍රේල් 29 ඉන්දියාවේ ඉසිපතන මූලගන්ධකුටියේ දී අපවත් වී වදාළහ. ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට බුද්ධ ශාසනය වෙනුවෙන් ඉතා විශාල මෙහෙවරක් කළ උන්වහන්සේගේ දිවි ගමන මෙසේ නිමා විය.
ජනතාවගේ සිත් තුළ සදාකල් ලැගුම් ගනිමින් අනගාරික ධර්මපාලතුමා යන නාමය ගනිමින් ලෝක සත්ත්වයාගේ යහපත උදෙසා කටයුතු කළ එතුමාගේ නාමය අමරණීය ය.
ජගත් අබේකෝන්