චීන සංස්කෘතියෙහි විශේෂ ස්ථානයක් හිමි වන තවත් සංස්කෘතිකාංගයක් තමයි දුවේ පුතේ චීන පහන් කූඩු කියලා කියන්නේ. පහන් කූඩු ශ්‍රී ලාංකික අපටත් බොහොම සමීප කලාවක් බව දූලා පුතාලා හොඳීන්ම දන්නා කාරණයක්නේ. ඉතින් වටිනා මෙන්ම විසිතුරු කලා අංගයක් වන චීන පහන් කූඩු නිර්මාණය පිළිබඳයි අද අපි පුංචි ඔබට තොරතුරු කියන්නට සූදානම් වෙන්නේ.
චීන පහන් කූඩුවලට ඉතා දිගු ඉතිහාසයක් තිබෙන අතරම, එය පුරාණ චීනයේ නැඟෙනහිර හන් රාජවංශය (ක්‍රි.ව. 25 සිට 220 දක්වා) තරම් වූ ඈත අතීතය දක්වා දිව යනවා. එල්ලන පහන් කූඩු (Hanging Lanterns), පියාඹන පහන් කූඩු (Flying Lanterns) සහ පාවෙන පහන් කූඩු (Floating Lanterns) ලෙසින් මේ සාම්ප්‍රදායික චීන පහන් කූඩු ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා දක්වන්නට පුළුවන්. චීන ජාතිකයන් එල්ලන පහන් කූඩු මූලික වශයෙන්ම යොදාගනු ලබන්නේ සැරසිලි කටයුතු වෙනුවෙනුයි. චීන අලුත් අවුරුදු උත්සවය(Chinese New Year), පහන් කූඩු උත්සවය (Lantern Festival) ආදී සාම්ප්‍රදායික චීන උත්සවවල, විවාහ මංගල උත්සවවල පමණක් නෙවෙයි විහාරස්ථාන, වෙළෙඳසැල්, අවන්හල්, පොදු ස්ථානවල වගේම වීදිවල වීදි ලාම්පු ලෙසින් පවා මේවා දැකගත හැකියි. පියාඹන පහන් කූඩු සරත් ඍතුවේ මැද භාගයේදී පවත්වන උත්සව (Mid-Autumn Festival) රාත්‍රියේ දී චාරිත්‍රානුකූලව චීන ජනයා තම පවුලේ සතුට හා සමාදානය පතා යාඥා කිරීම වෙනුවෙන් අහසට මුදා හරිනු ලබනවා. එසේම ඔවුන් පාවෙන පහන් කූඩු, මකර බෝට්ටු උත්සව (Dragon Boat Festival) දිනයේ රාත්‍රියේ දී චාරිත්‍රයක් වශයෙන් ගංගාවල පා කර හරිනු ලබන්නේ දුක් කරදරවලින් තොර දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමිනුයි.
චීන ජාතිකයන්ට අනුව මේ පහන් කූඩුවල වර්ණවලින් විවිධ අදහස් නියෝජනය වෙනවා. රතු පැහැයෙන් ධනය, කීර්තිය සහ සමෘද්ධියත්, කහ පැහැයෙන් වාසනාව, සන්සුන්බව සහ මධ්‍යස්ථභාවයත්, කොළ පැහැයෙන් නිරෝගීබව, සමෘද්ධිය සහ සමගියත් නිරූපණය කෙරෙන බව තමයි ඔවුන්ගේ විශ්වාසය. මේ පහන් කූඩු අද වන විට විවිධාකාර හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් නිර්මාණය වෙනවා. ඒ අතර පහත දැක්වෙන හැඩයන් ඉතාමත්ම සුලබයි.
* වටකුරු හැඩැති පහන් කූඩු
* මාලිගා, මණ්ඩප සහ කුලුනු හැඩැති පහන් කූඩු
* මල් සහ මල් කූඩ හැඩැති පහන් කූඩු
* මිනිස් රූප හැඩැති පහන් කූඩු
* සත්ත්ව රූප හැඩැති පහන් කූඩු
* ශාක හැඩැති පහන් කූඩු
* කාටූන් රූප හැඩැති පහන් කූඩු
චීන පහන් කූඩු නිර්මාණයට උණ බම්බු, දැව, වේවැල්, පිදුරු, සත්ත්ව අං, ලෝහ, සේද, කඩදාසි යනාදී විවිධ අමුද්‍රව්‍ය යොදා ගනු ලබනවා. පහන් කූඩුවල සුන්දර බව මනාව ඔප් නැංවෙන්නේ චීන සිතුවම් කලාව, කඩදාසි කැපීමේ කලාව, එම්බ්‍රොයිඩර් මැහුම් කලාව, මෙන්ම ආලෝකකරණ කාර්යයේ ද පරිපූර්ණ සුසංයෝජනය තුළිනුයි. මේ චීන පහන් කූඩු
සැකිල්ල, පහන් කූඩු බඳ සහ ආලෝක ප්‍රභවය යන මූලික කොටස් තුනෙන් යුක්ත වෙනවා.
1. සැකිල්ල සාදා ගැනිම.
2. පහන් කූඩු බඳ සකසා ගෙන කඩදාසි හෝ සේද භාවිතයෙන් එය අලංකාරව අලවා ගැනීම.
3. ඉටිපන්දම් හෝ ලාම්පු මඟින් කූඩුව ආලෝකකරණය කිරීම.
යන මූලික පියවර තුන ඔස්සේ මේ චීන පහන් කූඩු නිර්මාණය කරගන්නට පුළුවනි. වර්තමානයේ දී සාම්ප්‍රදායික චීන පහන් කූඩු කලාව නව තාක්ෂණය (විශේෂයෙන්ම 3ච් තාක්ෂණය) හා මුසුවී ඉතා දැවැන්ත නිර්මාණ බිහි කිරීමට සමත්ව තිබීම ද තවත් විශේෂත්වයක්.
නිෂාරා අමරකෝන්
කැලණිය විශ්වවිද්‍යාලය