මී මැසි යාළුවාත් සමඟ සිඟිති බොහෝ වෙලාවක් කතා කරමින් සිටියේ ය.
“මී මැසි යාළුවේ, කියන්න බලන්න ඔයාගේ පවුලේ කතාව. ” “මට ලොකු පිරිසක් ඉන්නවා. මගේ ජනපදය හරිම ලස්සනයි. හැමෝම එකා වගේ වැඩ කරනවා. අපේ රැජන විතරයි පාඩුවේ ඉන්නේ. අනෙක් හැමෝම වැඩ. වැඩකාර මී මැස්සෝ හරි හරියට වැඩ. ඒ කියන්නේ අපේ මී මැසි ජනපදයේ වැඩකාර මී මැස්සියෝ ගොඩක් ඉන්නවා. ඒ හැම කෙනකුම සතුටින් වැඩ කරන්නේ. ඒ අයගේ කාර්යය තමයි තමන්ගේ ජනපදයට සේවය කිරීම. වැඩකාර මැස්සියන් උදෙන් අවදි වෙනවා. එහෙම අවදිවෙලා රංචුව පිටින්ම මල් පැණි සොයන්න යනවා. වැස්ස කාලයට මල් පැණි සොයා ගන්න හරිම අමාරුයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ගස්වල මල් පොඩි වෙලා බිමට බර වෙලා තිබීම. ඒත් ඉතින් ඒ අය කොහොම හරි පැණි ටිකක් සොයා ගන්න උත්සාහ දරනවා. ඒ වගේම පුංචි සිඟිතිට තවත් කතාවක් කියන්න තියෙනවා. අපේ මී වද ජනපදයට වැසි කාලයට බොහොම කරදරයි. ඒ කියන්නේ අපේ මී වදය බැඳලා තියෙන තැනට වතුර එන්නවා. මොකද දන්නවාද අපි අපේ මී වදය බඳින්නේ නොපෙනෙන තැනක. ඒ වගේම ඉඩ තියෙන තැනක. සමහර අවස්ථාවලදී අපේ අය හොඳට හිතලා මී වදය බැන්දත් ඇති වන ස්වාභාවික විපත් නම් වළක්වා ගන්න බොහොම අමාරුයි.”
” ඒ ඇයි?” සිඟිති එකපාරටම මී මැසි යාළුවාගෙන් එහෙම ඇහුවා. “කොච්චර සොයලා බලලා වැඩක් කළත් කරදර වෙන වෙලාව කියන්න බැහැ සිඟිති. අපේ සත්ත්ව ලෝකයේ විතරක් නෙවෙයි නේ. මිනිස් ලෝකයේ මිනිස්සුන්ටත් නවත්වන්න බැරි කරදර කොච්චර තියෙනවාද? සිඟිති තාම පොඩි දරුවකු හින්දා ඕවා
ඒ තරම්ම තේරෙන්නේ නැහැ.” සිඟිති කිසිවක් නොකිව්වේ ය. ටික වේලාවක් නිශ්ශබ්දව ඉඳලා මී මැසි යාළුවාට මෙහෙම කිව්වේ ය. ” මට මතකයි අපේ අක්කා මෙහෙම කිව්වා. ලන්ඩනයේ රාජකීය භූගෝලීය සමාජය විසින් පැවැත් වූ සංවාදයකදී අර්ත් වොච් ජාත්‍යන්තර ආයතනය කියලා තියෙනවා ලෝකයේ ඉතා වැදගත් ජීවියා මී මැස්සා කියලා. ඒ වගේම එහි සිටි විද්‍යාඥයෙක් කියලා තියෙනවා මී මැස්සා කියන්නේ වඳ වී ගෙන යෑමට බලපාලා තියෙන ජීවියෙක් කියලා. ඒ වගේම මී මැසි ගහනයෙන් සියයට අනූවක්ම මේ වන විටත් වඳ වෙලා තියෙනවා කියලාත් අපේ අක්කා කිව්වා. වනාන්තර විනාශයත් මේකට හේතුවක් කියලා අපේ අක්කාත් අයියාත් කතා වුණා. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙ ටීචර් කිව්වාලු. අපේ පන්තියේ ටීචර්ගෙනුත් මේ ගැන අහලා බලන්න ඕනේ මී මැසි පැංචෝ.” සිඟිති කිව්වේ ය.” ආ… ඒක හොඳයි කියලා තමයි මමත් හිතන්නේ.”
” මේ සිඟිති මීයක් කියන්නේ තවත් එක රාජ්‍යයක්. නිකම්ම නිකම් රාජ්‍යයක් නෙවෙයි ඒකාධිපති රාජ්‍යයක්. දන්නවාද අපේ රැජන අනෙක් අය කන බොන දේවල්වත් කන්නේ බොන්නේ නැහැ. එයා ඉන්නේ ආරක්ෂිතව සෑදුව කුටියක. ඒ කුටිය සෑම අතින්ම ආරක්ෂා සහිතයි. රැජන කන බොන දේවල්වලට කියන්නේ රාජභෝජන කියලා. එයාගේ ප්‍රධාන කාර්යය වන්නේ බිත්තර දාලා පැටව් බෝ කරන එක. මේ වගේ ඇති වන පැටව් වැඩි වෙද්දී අලුත් රැජනක් බිහි වෙනවා. මෙහිදී රැජන තෝරා ගන්නේ කුඩා අවධියේදී. ඒ කියන්නේ අපේ මී මැස්සන් එකතු වෙලා පිළවෙක් තෝරා ගන්නවා. ඒ පිළවාට රාජ භෝජන දෙනවා. පිළව රැජන වූ විට මී වදයේ අපේ කට්ටිය දෙකට බෙදිලා සටන් කරනවා. ඒකෙන් පරාද වෙන අය වදයෙන් පලා ගිහිල්ලා වෙනත් තැනක් සොයාගන්නවා. ඒ අවස්ථාවේ පලා යන මී මැසි කට්ටියට මහන්සියක් ඇති වෙනවා. ඒ අය අතරමඟ නැවතිලා අත්තක වහලා විවේක ගන්නවා. ඒ අවස්ථාවේදී ඒ කට්ටියට කියන්නේ ගමන් මැහි කියලයි.”
” පිරිමි මී මැසි මාමලා ගැන සිඟිති දන්නවා ද? නැහැ නේ ද? ඉන්න මම කියන්නම්. පිරිමි මී මැසි මාමලාගේ ඉස්සරහ රොන් ගෙන යන්න අඬු දෙකක් නැහැ. මී මැසි නැන්දලාට රොන් ගෙන යන්න අඬු දෙකක් තියෙනවා. මී මැසි මාමාලා හරිම හරි කම්මැළියි. ඒ අය වදයට වෙලා ඔහේ ඉන්නවා. ඒ අයටත් පැණි ගෙන එන්නේ මී මැසි නැන්දලා. ඒ අය තමයි අනෙක් අයත් ජීවත් කරන්න පැණි ගෙන එන්නේ. ඒ අය උදෙන්ම තමයි ඒ අයගේ වැඩ පටන් ගන්නේ. මී වදයේ මී මැසි නෑදෑයන් පුංචි කුටීර හදලා පිළවා පැටව් සුරකිනවා. එහිදී මල් පැණිවලින් ඉතිරි වන ඉටි පුංචි කුටීර බිත්තිවල අලවලා වදය පරිස්සම් කරනවා. කොහොම වුණත්, සිඟිති අපේ ජනපදයේ කතාව ඉතා අපූරුයි.”
සිඟිති දෑස් දල්වා මී මැසි යාළුවා දෙස බලාගෙන සිටියේ ය. එකපාරටම මී මැසි යාළුවා පියාඹා ඈතට ගියේ ය.
රූපාන්ති බුලත්සිංහල