Home » Blog » හෙට ලෝකයට ගැළපෙන දරු පරපුරක් බිහි කිරීම අපේ යුතුකමයි

හෙට ලෝකයට ගැළපෙන දරු පරපුරක් බිහි කිරීම අපේ යුතුකමයි

by lakehouse
0 comments

දෙපානම බප/ජය/ ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය

ඩිලානි රුක්මල් කුමාරසිංහ

දරුවන්ගේ මනස තැනිය යුත්තේ හෙට ලෝකයට ගැළපෙන ආකාරයටයි. එසේ නොමැති වුවහොත් ඔවුන් සමාජ ගතවීමේදී ප්‍රශ්නයක් ඇති වේ. මේ නිසා ගුරුවරු මෙන්ම මව්පියන් ද ළමයින්ගේ මනස අවබෝධකරගෙන හෙට ං ලෝකයට ගැළපෙන ආකාරයට ඔවුන්ගේ මනස නිර්මාණය කළ යුතුයි. දරුවාට නිසි මඟ නොපෙනෙන අතර, මව්පියන් මෙන්ම ගුරුවරුන් ද ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මේ පිළිබඳ දෙපානම ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ඩිලානි රුක්මල් කුමාරසිංහ මහත්මිය මෙලෙස කරුණු දැක්වූවා ය.

අපේ පාසල ප්‍රාථමික පාසලක්. අපේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ කුඩා ළමයින්. කුඩා දරුවන් සමඟ අප වැඩ කටයුතු කිරීමේදී ඉතා පරිස්සමින් සහ ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතුයි. අපේ පාසලේ ළමයින් සුළු පිරිසක් ඉන්නේ. ඒත් අපේ පාසල අවුරුදු සියයකටත් වඩා පැරැණියි. අඛණ්ඩව දූ දරු පිරිසකට අධ්‍යාපනයෙන් මඟ පෙන්වමින් අපේ පාසල ඉදිරියට පැමිණියා. දරුවකු අධ්‍යාපනයෙන් පෝෂිත කෙනකු මෙන්ම මිනිස් ගුණ දම්වලින් පෝෂිත කෙනකු විය යුතුයි.

එසේ නොමැති වුවහොත් එම දරුවා වැඩිහිටියකු වීමේදී සමාජයට සිදු වන්නේ අයහපතකි. මේ නිසා අපි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී ඉතා පරිස්සමෙන් මෙන්ම අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. කුඩා පැළෑටියක් ඉතා ආදරයෙන් බලාගන්නවා වගේම දරුවකුත් ඉතා ආදරයෙන් බලාගන්න ඕනේ. සෑම මොහොතකම දරුවන් ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. කුඩා දරුවන් සෑම විටම වැඩිහිටියන්ගෙන් ඉල්ලන්නේ ආදරයයි. ගුරුවරුන්ගෙන් විශේෂයෙන්. විවිධ සමාජ මට්ටම්වල දරුවන් පාසලට පැමිණෙනවා. ඒ නිසා අපි පරිස්සමෙන් කටයුතු කරන්න අවශ්‍යයි.”

” අධ්‍යාපනයෙන් පරිපූර්ණ දරුවකු නිර්මාණය කරන්න අවශ්‍යයි. වර්තමාන අධ්‍යාපනය තාක්ෂණය සමඟයි ගමන් කරන්නේ. ඒ කියන්නේ අද තියෙන්නේ සුහුරු පන්ති කාමර. එහිදී ගුරුවරයා දරුවාට උගන්වන්න දැනුම්වත් භාවයකින් යුතු විය යුතුයි. ඒ වගේම ගුරුවරයාගේ ආකල්පත් බලපානවා. මේ නිසා වර්තමානයට ගැළපෙන අයුරින් ගුරුවරයාත් හැඩගැසිය යුතුයි. වර්තමාන අධ්‍යාපනයේදී අප කළ යුතු වන්නේ හෙටට ගැළපෙන මොඩියුලයක් තැනීමයි. මේ නිසා පරිසරය වැනි විෂයයන් මේ වන විටත් ප්‍රායෝගික වෙලා. දරුවන් ප්‍රායෝගිකව පරිසරය අත්විඳීමෙන් තමයි පරිසරය ඉගෙනගත යුතු වන්නේ. මව්පියන් වුවත්, මේ තත්ත්වය තේරුම් අරගෙන නැහැ. උදාහරණ ලෙස අප පරිසරයේ තියෙන පේර ගහක් ගැන හිතන්න. ඒ ගස ළඟට ගිහිල්ලා පේර ගහක් කියන්නේ කුමක්ද? එහි කොළ මොනවගේ ද? ගසේ ප්‍රමාණය මොනවගේ ද කියන එක අප ඉගෙන ගත යුතුයි. මේ සියල්ල අත්දැකීමෙන්ම ලබා ගත යුතුයි. මම ක්‍රියාකාරකම්වලින් අපේ පාසලේ දරුවන්ට අත්දැකීම් ලබා දුන්නා. උදාහරණයක් ලෙස ගිය අවුරුද්දේ පොසොන් පෝයට දරුවන් සහභාගි කරගෙන කොස් දන්සැලක් දුන්නා. ඒකට දරුවන් වගේම අම්මලා, තාත්තලාත් සහභාගි වුණා. දරුවන්ට ගෙදර වැඩක් නිසි ලෙස කරන ආකාරය අපි එහිදී ඉගැන්නුවා. තමන්ගේ වැඩ කරන්න හැකියාව ඇති පෞරුෂත්වයක් ඇති දරුවකු හැඩ ගස්වන්න අවශ්‍යයි. අද අවශ්‍ය වන්නේ එවැනි සමාජයක්. කාර්යය බහුල බව නිසා ළමයින්ට කළහැකි වැඩ තමන් වෙනුවෙන් කරගන්න පුරුදු පුහුණු කරන්න අවශ්‍යයි. දිනන ලෝකය සමඟ ඉදිරියට යෑමට නම් එවැනි වැඩ පිළිවෙළක් අප සැකසිය යුතුයි. කුඩා මනසක් අවදි කරන එකත්, ඔවුන්ගේ ආදරය දිනාගන්න එකත් ලේසි පහසු නැහැ.”

අනාගතයේ නැණවත් මෙන්ම ගුණවත් ළමා පරපුරක් බිහිකිරීමට ඇය ගන්නා උත්සාහය සාර්ථක වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department