ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් උරුමයක වගතුග පිටුව තුළින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක තොරතුරු කියලා දෙන්නයි මේ සූදානම.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇඹිලිපිටිය සූරියකන්ද මහා මාර්ගයේ දහ හතරවැනි සැතපුම් කණුව ආසන්නයේ පිහිටි අක්කර විස්සක පමණ භූමි භාගයකට හිමිකම් කියනු ලබන මඩුවන්වෙල වලව්ව ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් වලව් අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී.
මෙම වලව්ව පවුරු තුනක් ඇතුළතින් ඉදිකර ඇති අතර, සම්පූර්ණ කළු ගලින් නිර්මිත ගල් පවුරකින් වට කර ඇත. ප්‍රවේශ වන ස්ථානයේ ලියවැලින් හැඩ කරන ලද මකර තොරණක හැඩය ගත් ගල් ආරුක්කුවකි. එය “ගල් උළුවස්ස” නමින් හඳුන්වා ඇත. එම තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකක් හා පුන්කලස් තුනක් තිබී ඇති බව කියැවේ. එහි ඇතුළු පවුරෙහි “පහන් පවුර” නමින් හඳුන්වන ලද පහන් කුටි රාශියකි.
ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිමැවුමක් වශයෙන් සැලකිය හැකි මඩුවන්වෙල වලව්ව අලංකාරය අතින් ද ඉදිරියෙන් සිටියි. එය අඩි තුනක් පමණ උස කළුගල් වේදිකාවක් මත ඉදිකර තිබේ. වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි. ඒවායේ පියගැට පෙළ පාමුල සඳකඩ පහන් තුනක් දක්නට හැකි අතර, ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන්නේ මහා බංගලාව නමින් හැඳීන්වෙන ප්‍රධාන ආලින්දයට ය. එහි දක්නට ලැබෙන ප්‍රධානම දෙය නම් සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් ලියවැල් හා කුඩා තොරණක් සහිත රාමුවකින් යුත් මඩුවන්වල දිසාවේගේ ඡායාරූපය යි. එම ඡායාරූපයට පසෙකින් ඔහුගේ දෙවැනි බිරිය වූ කලවානේ කුමරියගේ ඡායාරූපය ද ඇත. එම ඡායාරූප ද්විත්වයට අමතරව කළු ගලින් කරන ලද පැන්තාලියක්, පුටුවක්, කැසිකිළි ගලක්, ගව හිසක් හා නාන කාමරයක නටබුන් ද දක්නට ලැබෙයි.
මහා බංගලාව අසලින් පුංචි බංගලාව නමින් හැඳීන්වෙන කොටසක් ඉදිකර ඇත. එහි ඇති උළුවහු කඳක් අඩි තුනක් පළල අඟල් දෙක හමාරක ඝනකම් ඇති ලීයෙන් සාදා ඇති අතර, බොරදම් සහිත ය. එම කොටස රැස්වීම් ශාලාව වශයෙන් භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහි මැද මිදුල හා අමුත්තන් සඳහා පලිඟු කැඩපතක් සවි කර තිබූ ස්ථානයක් ද දක්නට හැකි අතර, මැද මිදුලේ ඉස්තෝප්පු බිම පිඟන් කටු අල්ලා අලංකාර කර ඇත. එහි ඇති කැටයම් මහනුවර යුගයට නෑකම් කියන අතර, වලව්වේ මෙම ප්‍රධාන ස්ථානවලට අමතරව අමුත්තන් පිළිගැනීමේ ශාලාව විශේෂිත ය. නිල් වීදුරු කවුළු, පිඟන් කටු ඇල්ලූ බිම, රන් පවුම් හා මැණික් එබ්බවූ ලාංඡන, මකර රූප, අලි රූප, නෙළුම් මල් අදටත් මෙම වලව්ව අලංකාර කරනු ලැබේ.
වලව්වේ වහල සඳහා යොදාගෙන ඇත්තේ මහනුවර යුගයේ පෙති උළු ය. මුළුතැන් ගේ කොටසක් හා නඩු ශාලාව පමණක් සිංහල ගැමි උළුවලින් සාදා ඇති අතර, වලව් ඉඩමේ
මැටිවලින් එම උළු සාදන ලදැයි විශ්වාස කෙරේ. මෙම වලව්ව ඉදිකරන ලද මුල් කාලයේ මෙහි කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබී ඇති නමුත් අද වන විට දක්නට හැක්කේ කාමර 43ක් හා මැද මිදුල් හතක් පමණි. ප්‍රධාන මිදුලේ වතුර මල් සහිත ජල තටාකයකි. එසේම මැද මිදුල්වලට හා වලව් වත්තට එකතු වන ජලය මඩුවන්වෙල වැවට වැටෙන සේ මනා ජල වහන පද්ධතියක් ඔවුන් විසින් වලව්ව තුළ ඉදිකර තිබූ බවට සාක්ෂි හමු වේ. සුදු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට භාවිත කරන ලදැයි විශ්වාස කරන බුරුත කාමරය ද මෙම වලව්ව තුළ පිහිටි විශේෂ ස්ථානයකි. එය මුළුමනින්ම බුරුත ලීයෙන් නිමවා ඇත. බුරුත කාමරයේ සොල්දර තට්ටුවට යට කාමරය කපරාරු කර හුනු පිරියම් කොට ශීත කාමරයක් වශයෙන් සකස් කර තිබීම ද තවත් විශේෂත්වයකි.
එම ස්ථානවලට අමතරව නැටුම් පැවැත්වීම උදෙසා ඉදිකරන ලද දික්ගෙයි නැටුම් කාමරය ද, ක්‍රීඩා කටයුතු සඳහා භාවිත කරන ලද බිලියඩ් කාමරය ද, ආයුධ ගබඩාව ද, රට බීම ගබඩාව ද, කලවානේ කුමාරිහාමිගේ සයනාගාරය ද, දිසාවේගේ සයනාගාරය ද විශේෂ ආකාරයට සකස් කරන ලද අංගයෝ ය. ඉන් දිසාවේගේ සයනාගාරය ඉතා අලංකාරව නිර්මාණය කර ඇති අතර, බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා අලංකාර කර තිබීම පුදුම සහගත ය. වලව්වේ රදල පිරිස ආහාර ගත් කෑම කාමරය හා මුළුතැන් ගෙය වලව්ව මැද කොටසේ පිහිටා ඇති අතර, පිටුපස කොටසේ කුමාරිහාමිලා භාවිත කරන ලද නාන කාමර ඉදිකර තිබේ. ඒවාට අමතරව ඉදිකර ඇති ගබඩා කාමර, ධාන්‍ය කාමර ආදිය අදටත් මෙම වලව්ව තුළ දකින්නට හැකි ය. දිසාවේගේ සයනාගාරය දෙපස අලුත් බුදු මැඳුර හා පැරැණි බුදු මැඳුර නමින් හැඳීන්වෙන කාමර දෙකකි. එහි බිම පිඟන් කටු මෝස්තර අල්ලා අලංකාර කර ඇති අතර, වහල මල් කැටයම් යෙදූ සිවිලිමක් ගසා අලංකාර කර ඇත. මෙහි රජ මාලිගයක දක්නට ඇති රහස් කුණ්ඩයක් හා කුරුබිළිය ද දක්නට ලැබෙන අතර, නඩු විමසීම් සඳහා නඩු ශාලාවක් ද වෙයි. බංගලාව අසලින් නඩු ශාලාවට යෑමට කොරිඩෝවක් තිබූ අතර, එහි ප්‍රවේශ දොරටුවට ඉහළින් විශාල මීහරක් අං තට්ටුවක් එල්ලා තිබී ඇත.
ලක්නා නිරෝෂිමාලා