අපූරු දඬුවම
ඔන්න එක ගමක පුංචි යාළුවෙක් හිටියා. එයාගේ නම තමයි සුපුන්. හැබැයි සුපුන් තාම පුංචියි. ඒ වුණාට ටිකක් විතර දඟයි. සුපුන්ගේ අම්මටයි තාත්තටයි හිටියේ සුපුන් විතරක් නිසා එයාලා සුපුන්ට හරි ආදරෙ යි. ඒනිසා ම පුංචි සුපුන් මව්පියන්ට වැඩිය කීකරු වුණේ නෑ. කියන දෙයක් ඇහුවෙත් නෑ. මේ ගැන සුපුන්ගේ අම්මයි තාත්තයි හිටියේ ගොඩක් දුකෙන්. එයාලා නිතරම සුපුන්ට අවවාද කළා. ඒත් පුංචි සුපුන්ව නම් වෙනස් කරන්න බැරි වුණා.
සුපුන්ගේ ගෙදර තිබුණේ හරිම ලස්සන තැනක. ගේ වටේටම පාට පාට මල් පිපිලා. හරිම ලස්සනයි. අඹ ගස්වල ගෙඩි හැදිලා ඉදිලා කහම කහ පාට යි. සමනල්ලු රෑන් පිටින් මල් පැණි බොන්න මල් වත්තට එනවා. ඒ විතරක් නෙවෙයි කුරුල්ලෝ, ලේන්නු දවස පුරාම අඹ කන්න එනවා. බලන් ඉන්න හරි ආසයි.
හැබැයි එහෙම එන සත්තුන්ට සුපුන්ගෙන් බේරෙන්න හැකි වුණේ නෑ. සමනල්ලු අල්ලගෙන එයාලව බෝතල්වලට දාලා හිර කරනවා. කුරුල්ලන්ට ගල් ගහනවා. මේ නිසා සත්තු හැමෝම සුපුන්ට හරි බය යි. එයා එනකොට හැංගෙනවා. එයාට කවුරුත් කැමැති නෑ. ඔන්න දවසක් පුංචි සමනල් පැංචෙක් සුපුන්ගේ වත්තට ආවා. මේ පුංචි සමනල පැංචා හරිම ලස්සනයි. පාට පාට අත්තටු තියෙනවා. එයා රෝස මලක් වටේ කැරකි කැරකි මල්පැණි බොනවා. මේක දැකපු සුපුන් හොරෙන් හොරෙන් රෝස පඳුර දිහාට ආවා. ටික වේලාවක් හැංගිලා බලන් හිටපු සුපුන් එකපාරටම පැනලා පුංචි සමනල් පැංචාව අල්ලා ගත්තා.
“අනේ … මට යන්න දෙන්න. මම හරි අහිංසකයි”. සමනල් පැටියා අඬ අඬා කිව්වා.
ඒත් සුපුන් එයාව අතෑරියෙ නෑ. තවත් හයියෙන් අල්ලගෙන අත්තටු දෙකම කඩලා දැම්මා.
“අනේ අම්මේ මට ගොඩක් රිදෙනවා. ඌයි අම්මෝ….” සමනල් පැටියා කෑ ගහනවා.
ඒක දැකපු සුපුන්ට හරි සතුටු යි. එයා හයියෙන් හිනා වුණා.
“ඔයා මොකටද මගේ වත්තට මල්පැණි බොන්න ආවේ? මේ මල් අයිති මටයි”. සුපුන් තරහෙන් කිව්වා.
” අනේ මට බඩගිනි ඒ නිසා තමයි මං මල්පැණි හොයාගෙන ඔයාගේ වත්තට ආවේ. මට කරදර කරන්න එපා”. සමනලයා අඬ අඬා කිව්වා.
මේ සමනල් පැටියා අඬන සද්දෙ ඇහිලා සුරංගනාවක් ඒ දිහාට ආවා. සමනල් පැටියා අඬනවා දැකලා එයාට හරිම දුක යි.
“අනේ ඇයි සමනල් පැටියෝ ඔයා මේ අඬන්නේ” සුරංගනාවි ඇහුවා.
“අනේ සුරංගනාවි මට උදව් කරන්න. මාව මේ කරදරෙන් නිදහස් කරලා දෙන්න”. සමනල් පැටියා අඬ අඬා කිව්වා.
“සුපුන් ඇයි ඔයා මේ අහිංසක සමනල් පැටියාට කරදර කරන්නේ? ” සුරංගනාවි සුපුන්ගෙන් ඇහුවා.
“මෙයා මගේ වත්තට හොරෙන් ඇවිත් මල් පැණි බොනවා. ඉතිං මං එයාට දඬුවම් කළා”. සුපුන් කිව්වා.
“අනේ මං හොරකම් කරන්න ආවේ නෑ. බඩගිනි නිසා මල් පැණි ටිකක් බිව්වා විතරයි”. සමනලයා දුකින් කිව්වා.
“ඒකනේ ඉතිං ඇයි නපුරුකම් කරන්නේ. එයා බඩගින්නටනේ මල් පැණි බීලා තියෙන්නේ. එයාට කරදර කරන්න හොඳ නෑ”. සුරංගනාව උපදෙස් දුන්නා.
“අනේ මේ සුරංගනාවි මම කරන්නේ මට ඕන දේ. ඔයා ඒ ගැන කරදර වෙන්න එපා”. සුපුන් තරහින් අහක බලාගෙන කිව්වා.
ඒ කතාව අහලා සුරංගනාවට හරිම දුක යි.
“ඔයා මහ නරක ළමයෙක් එන්න සමනල් පැටියෝ අපි යන්න” එහෙම කියලා සුරංගනාව සමනල් පැටියව සනීප කළා.
සමනල් පැටියා වේගයෙන් ඈතට ඈතට පියාඹාගෙන ගියා. සුපුන්ට හරිම තරහයි. එයා කේන්තියෙන් බලාගෙන හිටියා. මේ සිද්ධිය දිහා ඉර මාමාත් අහසට වෙලා බලාගෙන තමයි හිටියේ. එයා හිතුවා මේ සුපුන්ට පාඩමක් උගන්වන්න ඕනෑ කියලා. එහෙම හිතලා ඉර මාමා සුපුන් වටේට කැකෙන්න පටන් ගත්තා. සුපුන්ට රස්නය දරාගන්න බෑ.
“අනේ මාව බේර ගන්න! මාව පිච්චෙනවා මට ඉන්න බෑ”
සුපුන් වේදනාවෙන් දඟලනවා.
මෙහෙම ටික වෙලාවක් ගෙවිලා ගියා. සුපුන්ව බේර ගන්න කවුරුවත් ආවේ නෑ. ඔන්න ටික වෙලාවකට පස්සේ ඉර මාමාට දුක හිතුණා. එයා සුපුන්ගෙන් ටිකක් ඈතට ගියා. ගිහින් මෙහෙම කිව්වා
“ ඔයා සමනල් පැටියාට කරදර කරද්දි එයා වේදනාවෙන් කෑගහනකොට හිනා වුණා නේද? දැන් බලන්නකෝ ඔයාට රිදෙනකොට ඔයා අඬනවා. ඉතිං අනිත් අයටත් එහෙම තම යි. ඒ නිසා අපි කාටවත් කරදර කරන්න හොඳ නෑ.”
මේ කතාව අහලා සුපුන්ට හරිම ලැජ්ජයි. එයාට එයාගේ වරද තේරුම් ගියා.
“අනේ ඉර මාමේ මට සමාවෙන්න. මම කරපු වරද මට තේරුණා. ආයේ මං කවදාවත් කාටවත් කරදර කරන්නේ නෑ” සුපුන් පොරොන්දු වුණා.
එදා ඉඳලා හැමදාමත් සුපුන් කාටවත් කරදර කළේ නෑ. එයා හොඳ ළමයෙක් වුණා. සමනල්ලු කුරුල්ලෝ හැමදාම එයාගේ වත්තට ඇවිත් එයා එක්ක සෙල්ලම් කරන්න පුරුදු වුණා.
පුංචි අපිත් කවදාවත් අනෙක් අයට කරදරයක් හිරිහැරයක් කරන්න හොඳ නෑ. එහෙම වුණොත් කවුරුත් අපිට ආදරේ නැතිව යනවා. ඒ නිසා අපිත් හැමෝටම උදව් කරමු. හොඳ දරුවෝ වෙමු.
ටී.ඩබ්ලිව් මෙතුලි උමල්ජා
5 වසර
මො/ මල්වත්තාවල ප්‍රාථමික විදුහල
චිත්‍ර චතුරිකා රණසිංහ නැන්දා