Home » Blog » බ්‍රසීලයේ ප්‍රාන්ත පහක් ඔස්සේ ගලා බසිනා Sao Francisco ගඟ

බ්‍රසීලයේ ප්‍රාන්ත පහක් ඔස්සේ ගලා බසිනා Sao Francisco ගඟ

by lakehouse
0 comment

බ්‍රසීලයේ ප්‍රාන්ත පහක් ඔස්සේ ගලා බසිනා Sao Francisco ගඟ

Sao Francisco ගඟ බ්‍රසීලයේ විශාලතම ගංගාවයි. මෙම ගංගාව කිලෝමීටර් 2914ක් පමණ දිගකින් යුක්ත වේ. මෙම ගංගාව සම්පූර්ණයෙන්ම බ්‍රසීලියානු භූමි ප්‍රදේශයේ ගලා යන දිගම ගංගාව වන අතර, දකුණු අමෙරිකාවේ සිව්වැනි දිගම ගංගාවයි. යටත් විජිතකරණයට පෙර ආදිවාසීන් මෙම ගංගාව ඔපරා ලෙස හඳුන්වා ඇත. Sao Francisco ගඟ වර්තමානය වන විට වෙල්හෝ චිකෝ ලෙස හඳුන්වයි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දර ගංගාවක් වන Sao Francisco ගඟ පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

Sao Francisco ගංගාව ප්‍රාන්ත පහක් හරහා ගලා බසියිි. මෙම ගංගාවේ ගමන් මඟ කොටස් හතරකින් යුක්ත වේ. එනම් උස් කොටස,ඉහළ මැද කොටස, පහළ මැද කොටස සහ පාවුලෝ ඇෆොන්සෝ සිට අත්ලාන්තික් සාගරයේ ගංගා මුඛය දක්වා පහත් කොටස වේ. මෙම ගංගාව ගංගා සහ ඇළ දොළ 168කින් ජලය ලබා ගන්නා අතර, එයින් 90ක් දකුණු ඉවුරේ ද 78ක් වම් ඉවුරේ ද වේ. උරුකියා ගඟ, පැරකාටු ගඟ ,ජෙක්විටයි ගඟ, දාස් වෙල්හාස් ගඟ,ග්‍රෑන්ඩ් ගඟ, වර්ඩ් ග්‍රෑන්ඩ් ගඟ ,අබෙටේ ගඟ,corrente ගඟ,Carinhanha ගඟ සහ Paraopeba යන ගංගා මෙම ගංගාවේ ප්‍රධාන අතු ගංගා වේ.

Sao Francisco ගංගා ද්‍රෝණියේ මත්ස්‍ය විශේෂ 200කට අධික ප්‍රමාණයක් ජීවත් වෙති. ගංගා ද්‍රෝණියෙන් මත්ස්‍ය විශේෂවලින් 10%ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර, 13%ක් පමණ ධීවර කර්මාන්තයේදී වැදගත් වේ. Sao Francisco ගංගා ද්‍රෝණියේ, Cynolebias සහ Hypsolebias ගණයේ වාර්ෂික කිලිෆිෂ් විශේෂ 40ක් පමණ දක්නට ලැබේ. Marsupials, මීයෝ සහ Skunks යන ක්ෂීරපායි සත්ත්ව වර්ග මෙහි ජීවත් වෙති. Gato de mata නම් කුඩා වල් බළලා, ටහිටි වඳුරා සහ ආමඩිලෝ, දරුණු සර්ටාවෝ පරිසරයට ඉතා සුදුසු සතුන් වේ. රතු පියාපත් සහිත ටිනමෝ, පරෙවියන්, ගිරවුන්, කහ ෆින්ච් සහ සර්ව ගිජු ලිහිණියා යන කුරුලු විශේෂ මෙහි දැකගත හැකි ය.ද්‍රෝණියේ වියළි ප්‍රදේශවල හමිං බර්ඩ් සහ සබියා වැනි කුඩා පක්ෂීහු ජීවත් වෙති.

ද්‍රෝණියේ ඉහළ, තෙත් කොටසෙහි සෙරාඩෝස් ලෙස හඳුන්වන සැවානා විශේෂ සහ පතනශීලි ගස් වනාන්තරවලින් වැසී තිබේ . කොහොඹ, පතොක්, කෝමාරිකා සහ වැනිලා ශාක ද මෙහි වර්ධනය වේ. රනිල කුලයට අයත් කැටින්ගුයිරා සහ ජුරේමා , යුෆෝර්බියා කුලයට අයත් ශාක ද මෙහි දක්නට ලැබේ. බොම්බාකේසී පවුලට අයත් තල් ගස් වර්ග ද මෙහි දැකගත හැකි ය. කටු සහිත කොළ සහිත ශාක සහ විවිධ පතොක් වර්ග ද මෙහි තිබේ. ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් කෙඳී සඳහා භාවිත කරන කැරෝවා ශාකය ද මෙම පරිසරයේ දක්නට ලැබේ.
පහළ ගංගා ද්‍රෝණිය නිවර්තන අර්ධ කාන්තාරයක් වන අතර, දේශගුණය සාමාන්‍යයෙන් වියළි වේ. මෙම කලාපය සඳහා සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් පමණ වන අතර, අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19ක් පමණ වේ. මෙහි වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 42ක් වේ. මෙම පරිසරයේ සුළං ඇතිවන්නේ ගිනිකොන, ඊසාන සහ නැඟෙනහිර දිශාවන්හි ය. බොහෝ ප්‍රදේශයන්හි වර්ෂාපතනය අඩු වන අතර, නියඟය නිරන්තරයෙන් පවතී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මැද ද්‍රෝණියේ බොහෝ ප්‍රදේශවල මිලිමීටර් 510 සිට මිලිමීටර් 1020 දක්වා වේ. මෙහි වර්ෂාපතනය ගිම්හාන මාසවල (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සිදු වන අතර, වසරේ ඉතිරි කාලය ශීත කාලය හා වියළි කාලය වේ.
ඉහළ-මැද ද්‍රෝණිය කපු, බෝංචි, සහල් සහ බඩඉරිඟු වගා කරන කෘෂිකාර්මික කලාපයකි. මෙම කලාපයේ අන්නාසි, අර්තාපල්, කොමඩු, උක්, කෝපි, එඬරු, කපු තෙල් සහ රම් ද නිෂ්පාදනය කරයි. එහි ප්‍රධාන නාගරික මධ්‍යස්ථානය වන්නේ පිරපොරා, මිනාස් ජෙරයිස් ය.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department