ලක්දිව ඉතිහාසයේ පළමු විධිමත් රාජධානි ලෙස සැලකෙන්නේ අනුරාධපුරයයි. ඊට පෙර විජය, උපතිස්ස රජ, පණ්ඩුවාසුදේව රජු සහ අභය රජ යන රජවරුන් යටතේ ක්‍රිස්තු පූර්ව 543 සිට ක්‍රිස්තු පූර්ව 377 දක්වා තම්බපණ්ණි රාජධානිය සහ උපතිස්ස රාජධානිය යටතේ ලක්දිව පාලනය විය. ක්‍රිස්තු පූර්ව 377 වර්ෂයේ ආරම්භ වූ අනුරාධපුර රාජධානිය අවසන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1017දී ය.
එයින් අනතුරුව පිළිවෙළින් පොලොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ සීතාවක, මහනුවර යන රාජධානි පැවතුණි. මෙවර මිහිර පෝස්ටරය සකස් වන්නේ ලක්දිව පැරැණි රාජධානිවල තොරතුරු ඇසුරිනි.
අනුරාධපුරය රාජධානිය
අනුරාධපුර රාජධානිය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 377දී ය. එහි පළමු රජතුමා ලෙස සැලකෙන්නේ පණ්ඩුකාභය රජතුමා ය. අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨ රජවරුන් අතර දේවානම්පියතිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා, වළගම්බා රජතුමා, ධාතුසේන රජතුමා, මහසෙන් රජතුමා, වසභ රජතුමා යන රජවරුන්ට ප්‍රධාන තැනක් හිමි වෙයි. ලක්දිවට බුදුදහම දායාද වන්නේ අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී ය. මෙම යුගයේ වෙහෙර විහාර රාශියක් නිර්මාණය විය. ඒ අතර රුවන්මැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය, ලෝවාමහාපාය, අවුකන ප්‍රතිමාව, සමාධි පිළිමය ආදියට ප්‍රධාන තැනක් හිමි වෙයි. කලා වැව, මින්නේරි වැව, බසවක්කුලම වැව, තිසා වැව ආදී විශාල වාරි කර්මාන්ත රාශියක්ම මෙම යුගයේ ඉදි කෙරුණි. ක්‍රිස්තු වර්ෂ 1017දී සිදු වූ දකුණු ඉන්දීය ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර රාජධානිය බිඳ වැටුණු අතර, අනුරාධපුර යුගයේ අවසන් රජු ලෙස පස්වැනි මිහිඳු රජු ඉතිහාසයට එක් වී ඇත.
පොලොන්නරු රාජධානිය
අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසුව ලක්දිව දෙවැනි රාජධානිය ලෙස පොලොන්නරු රාජධානිය බිහි විය. පොලොන්නරු රාජධානියේ පළමු රජතුමා ලෙස පළමුවැනි විජයබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වන්නේ එවකට ලක්දිව පාලනය කළ දකුණු ඉන්දීය චෝල පාලකයන් හා යුද වැදී ඔවුන්ව ලක්දිවෙන් පලවා හැරීමෙන් පසුව ය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1055දී පොලොන්නරුව රාජධානිය ආරම්භ විය. පළමුවැනි පරාක්‍රමබාහු රජු, නිශ්ශංකමල්ල රජු පොලොන්නරු රාජධානිය කරගෙන ලක්දිව පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරුන් ලෙස පෙන්වා දිය හැකි ය. පොලොන්නරු රාජධානි සමයේ ඉදි කෙරුණු වෙහෙර විහාර අතර ගල් විහාරය, සත්මහල් ප්‍රාසාදය, තිවංක පිළිම ගෙය, ලංකාතිලක පිළිම ගෙය ආදියට ප්‍රධාන තැනක් හිමි වෙයි. පරාක්‍රම සමුද්‍රය පොලොන්නරු රාජධානි සමයේ බිහි වූ විශේෂ වාරි කර්මාන්තයකි. ක්‍රිස්තු වර්ෂ 1215දී කාලිංග මාඝ නම් ඉන්දීය ආක්‍රමණිකයා පොලොන්නරු රාජධානිය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව පොලොන්නරු රාජධානිය බිඳ වැටුණි. පොලොන්නරු රාජධානියේ අවසන් පාලකයා ලෙස සැලකෙන්නේ පරාක්‍රම පණ්ඩු රජතුමායි.
දඹදෙණිය රාජධානිය
පොලොන්නරු රාජධානිය බිඳවැටීමෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 1232 වර්ෂයේදී තුන්වැනි විජයබාහු රජතුමා විසින් දඹදෙණිය රාජධානිය කරගෙන ලක්දිව පාලනය ආරම්භ කළේය. දඹදෙණිය විජයසුන්දරාරාමය ඉදිකිරීම, බෞද්ධ පොත්පත් රැසක් රචනා කිරීම වැනි කාර්යයන් රැසක් තුන්වැනි විජයබාහු රාජ්‍ය සමයේදී සිදු ව ඇත. දඹදෙණි යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන්නේ තුන්වැනි විජයබාහු රජුගෙන් පසුව රාජ්‍යත්වය ලැබූ තුන්වැනි විජයබාහු රජුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමායි. ලක්දිව පළමු මහා කාව්‍යය ලෙස සැලකෙන කව්සිළුමිණ රචනා කරන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන උපාධි නාමයෙන් පිදුම් ලත් එතුමා ය. එසේම පොලොන්නරු රාජධානිය බිඳ දමා ලක්දිව පාලනය කරමින් සිටි කාලිංග මාඝ පලවා හරින්නේ ද දෙවැනි පරාක්‍රබාහු රජතුමා ය. දඹදෙණි රාජධානි යුගයේදී ලක්දිව සිංහල සාහිත්‍යයේ පිබිදීමක් ඇති විය. මෙම යුගයේ සිදත් සඟරාව, සමන්ත කූට වර්ණනාව, විසුද්ධි මාර්ග සන්නස වැනි කෘතීන් රාශියක් රචනා වී ඇත. එසේම දඹදෙණි රාජධානි සමයට අයත් දළදා මාලිගා ගොඩනැඟිල්ලක, වටදාගෙය ඇතුළු පෞරාණික ගොඩනැඟිලි කිහිපයකම නටබුන් අදට ද දැක ගත හැකි ය. වසර 71ක් වැනි කෙටි කාලයක් පැවති දඹදෙණි රාජධානිය ක්‍රිස්තු වර්ෂ 1293දී අවසන් විය.
යාපහුව රාජධානිය
ලක්දිව සිව්වැනි රාජධානිය වන්නේ යාපහුව රාජධානියයි. යාපහුව රාජධානියේ පළමු රජතුමා ලෙස සැලකෙන්නේ පළමුවැනි බුවනෙකබාහු රජතුමා ය. පළමුවෙන්ම දඹදෙණියේ රජ වූ එතුමා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට බියෙන් ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය රැගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. ඊට පෙර යුගයේ සුබ නම් අමාත්‍යවරයෙක් යාපහුව රාජධානිය පිහිටි කඳු සහිත පරිසරයේ වාසය කළ නිසා මෙම පව්ව සුබ පබ්බත නමින් ද හඳුන්වයි. “සුන්දර පබ්බත,” “අයෝ පබ්බත” යන නම්වලින් ද යාපහුව හඳුන්වයි. වසර 12ක් වැනි කෙටි කාලයක් පැවැති යාපහුව රාජධානියේ නටබුන් අදට ද දැක ගත හැකි ය.
කුරුණෑගල රාජධානිය
කුරුණෑගල රාජධානිය ලක්දිව පස්වැනි රාජධානිය ලෙස සැලකෙයි. කුරුණෑගල රාජධානිය පාලනය කර ඇත්තේ රජවරුන් සිව්දෙනකු විසින් පමණි. ඒ අතරින් වැදගත්ම පාලකයා ලෙස සැලකෙන්නේ සිව්වැනි පරාක්‍රමබාහු රජතුමා ය. කුරුණෑගල දළදා මාලිගාවක් ඉදිකරවීම, ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය කිරීම, සිංහල බෝධි වංශය, අනාගත වංශය වැනි ග්‍රන්ථ රචනා කිරීම, මහනුවර අස්ගිරි සේනාසනය ආරම්භ කිරීම වැනි සේවා රැසක් එතුමා සිදුකර තිබේ. සිව්වැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව පිළිවෙළින් 3 වැනි බුවනෙකබාහු සහ සිව්වැනි විජයබාහු යන රජවරුන් කුරුණෑගල රාජධානිය කරගෙන ලක්දිව පාලනය කළ අතර, සිව්වැනි විජයබාහු රජුගේ අභාවයෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 1341දී කුරුණෑගල රාජධානිය බිඳ වැටුණි.
ගම්පොළ රාජධානිය
ක්‍රිස්තු වර්ෂ 1345 සිට ක්‍රිස්තු වර්ෂ 1406 දක්වා පැවැති ගම්පොළ රාජධානිය ලක්දිව හයවැනි රාජධානියයි. පස්වැනි පරාක්‍රමබාහු රජු, සිව්වැනි බුවනෙකබාහු රජු, තුන්වැනි වික්‍රමබාහු රජු සහ පස්වැනි බුවනෙකබාහු රජු ගම්පොළ යුගයේ පාලකයන් අතර ප්‍රධාන වෙති. මෙරට පළමු සන්දේශ කාව්‍ය ලෙස සැලකෙන මයුර සංදේශ ලියා ඇත්තේ මෙම යුගයේදී ය. ඇම්බැක්කේ දේවාලය, ගඩලාදෙණි විහාරය, ලංකාතිලක විහාරය ඉදිකර ඇත්තේ ගම්පොළ රාජධානි සමයේදී ය.
කෝට්ටේ රාජධානිය
කෝට්ටේ රාජධානිය ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 1415දී ය. කෝට්ටේ රාජධානියේ පළමු පාලකයා වන්නේ හයවැනි පරාක්‍රමබාහු රජතුමා ය. ලක්දිව සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ මෙම යුගයයි. සය වැනි පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ සිට ලක්දිව පාලනය භාර ගන්නා විට රටේ බලවත් ප්‍රාදේශීය පාලන කිහිපයක්ම පැවතුණි. යාපනයේ සිට ආර්ය චක්‍රවර්තී නම් පාලක පරපුරක් මෙන්ම ජෝතිය නම් පුද්ගලයෙක් උඩරට පාලනය කරමින් සිටි අතර, ඔවුන්ගේ බලය බිඳ දමමින් මුළු ලක්දිවම එක්සේසත් කරන්නට සයවැනි පරාක්‍රමබාහු රජුට
හැකි විය. වෑත්තෑවේ හිමි, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වීදාගම මෛත්‍රීය හිමි කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍යය නංවාලීමට කටයුතු කළ අතර, මෙකල සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය, පරෙවි සංදේශය, කෝකිල සංදේශය, හංස සංදේශය යන පංච මහා සංදේශ කාව්‍ය ලියැවුණි. එසේම ගුත්තිල කාව්‍ය, ලෝවැඩසඟරාව, බුදුගුණාලංකාරය, කාව්‍යශේඛරය ආදී කෘති රාශියක් මෙම යුගයේ ලියැවී ඇත. 1505 වසරේදී ලක්දිව වෙරළබඩ කලාපය පෘතුගීසින්ගේ ග්‍රහණයට පත් වන්නේ කෝට්ටේ රාජධානි සමයේදී වීම විශේෂත්වයකි. හයවැනි විජයබාහු රාජ්‍ය සමයේදී කෝට්ටේ රාජධානිය කොටස් 3කට බෙදී ගිය අතර, හයවැනි විජයබාහු රජු ඝාතනයකර ඔහුගේ පුතුන් තිදෙනා කෝට්ටේ, සීතාවක, රයිගම ලෙස රාජධානි තුනක් නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. එය ඉතිහාසයේ, විජයබා කොල්ලය නමින් හඳුන්වා ඇත.
මහනුවර රාජධානිය
ලක්දිව රාජාවලියේ අවසන් රාජධානිය ලෙස සැලකෙන්නේ මහනුවර රාජධානියයි. සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ පළමු රජු ලෙස සැලකෙයි. වර්ෂ 1469 බලයට පත් එතුමා කෝට්ටේ රාජධානියේ කොටසක් ලෙස මහනුවර සිට රට පාලනය කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. එහෙත් මහනුවර රාජධානියේ සිට මුළු ලක්දිවම පාලනය කළ රජතුමා ලෙස සැලකෙන්නේ පළමුවැනි විමලධර්මසූරිය රජතුමායි. ලක්දිව වෙරළබඩ කලාපය පෘතුගීසි, ලන්දේසී පාලනයට නතුව පැවති සමයේදී මහනුවර රාජධානිය ස්වාධීන රාජධානියක් ලෙස පැවතුණි. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1796දී ලක්දිවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන් වර්ෂ 1815දී උඩරට ගිවිසුම මඟින් මහනුවර රාජධානියේ බලය ද අත්පත් කර ගැනීමෙන් පසුව මහනුවර රාජධානියේ බලය බිඳ වැටුණි. ඒ අනුව මහනුවර රාජධානියේ පමණක් නොව ලක්දිව රාජාවලියේ අවසන් පාලකයා ලෙස ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉතිහාසයට එක් විය.
සීතාවක රාජධානිය
1521 වසරේ විජයබා කොල්ලයෙන් නිර්මාණය වන සීතාවක රාජධානියේ පළමුවැනි රජතුමා වන්නේ මායාදුන්නේ රජතුමා ය. අනතුරුව පළමුවැනි රාජසිංහ රජු සීතාවක බලයට පත් විය. මොවුන් දෙදෙනාම දක්ෂ රණ ශූරයන් බව පැවසේ. මෙකල වරින් වර සීතාවක රාජධානියට පෘතුගීසි ආක්‍රමණ එල්ල වුවත් ඒ සියල්ල මොවුන්ගේ රණ ශූරත්වය සහ යුද ශක්තිය යටතේ පාලනය කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. සීතාවක පාලකයන් විසින් පෘතුගීසි බලය බිඳලූ එක් අවස්ථාවකට නිදසුනක් ලෙස මුල්ලේරියා සටන දැක්විය හැකිය. එහිදී සීතාවක හමුදා මුල්ලේරියා වෙල
පෘතුගීසී ලෙයින් රත් පැහැ ගැන්වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. සීතාවක රාජසිංහ රජු තම අග්‍ර පුරෝහිත තනතුරට අරිට්ඨ කී වෙණ්ඩු නම් දකුණු ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙක් පත්කර ගත් බවත් අනතුරුව එතුමා හින්දු ආගම වැලඳ ගත් බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. සීතාවක බැරැණ්ඩි කෝවිලේ ඉදිකිරීම් ඇරැඹෙන්නේ ඒ අනුව ය. ක්‍රිස්තු වර්ෂ 1593දී පෙතන්ගොඩ උයනේදී විෂ උණ කටුවක් ඇනී සීතාවක රාජසිංහ රජු මරණයට පත් වීමත් සමඟ සීතාවක රාජධානියේ පරිහානිය ආරම්භ වී තිබේ.
රයිගම් රාජධානිය
1521 වසරේ විජයබා කොල්ලයෙන් පසුව රයිගම් බණ්ඩාර රජතුමා විසින් රයිගම් රාජධානිය කරගෙන ලක්දිව පාලනය කළේය. එහෙත් රයිගම් රාජධානියේ ඉතිහාසය පළමු පරාක්‍රමබාහු රාජ්‍ය සමය දක්වා දිව යයි. එම යුගයේ අලකේශ්වර නම් නිලධාරියෙක් රයිගම් ප්‍රදේශය පාලනය කිරීමට යෙදවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ අනුව වසර දෙසීයකට අධික කාලයක් අලකේශ්වර පරපුර විසින් මෙම ප්‍රදේශය පාලනයකර තිබේ. විජයබා කොල්ලයෙන් පසුව වර්ෂ 1521 සිට 1539 දක්වා රයිගම් රාජධානිය රයිගම් බණ්ඩාර විසින් පාලනය කළ අතර, අනතුරුව එය සීතාවක රාජධානියේ කොටසක් බවට පත් විය.
සීගිරිය රාජධානිය
සීගිරිය රාජධානිය කරගෙන ලක්දිව පාලනය කළ එකම පාලකයා වන්නේ සීගිරි කාශ්‍යප රජතුමායි. සිය පියා වූ අනුරාධපුර රාජධානිය පාලනය කළ ධාතුසේන රජතුමා මරණයට පත් කර සිය සොහොයුරු මුගලන් කුමරුගෙන් ආරක්ෂා වීමට කාශ්‍යප රජු සීගිරිය නම් දුර්ගය සිය රාජධානිය ලෙස තෝරා ගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ අනුව කාශ්‍යප රජු සීගිරිය නම් පර්වතය රාජධානියක් ලෙස නිර්මාණය කරමින් වසර 18ක් ලක්දිව පාලනයකර තිබේ.