ලෝක ජනතාවගේ අවධානය දැඩි ලෙස සෝවියට් රුසියාවට යොමුකර ගනිමින් 1957 ඔක්තෝබර් 04 වැනි දින ස්පුට්නික් 1 සාර්ථක ලෙස අභ්‍යවකාශ ගතකර ගැනීමට ඔවුහු සමත් වූහ. එම චන්ද්‍රිකාව මඟින් විසුරුවා හරින ලද “බීප් බීප් “හඬ ගුවන්විදුලියෙන් ශ්‍රවණය කිරීමෙන් පසු එයට දැඩි විස්මිත නැඹුරුවකින් ඇදී ගියේ ය. පසුව පාසල් සිසුවකුගේ චරිතයට මෙය බෙහෙවින් බලපෑවේ ය. වසර 10 ක් වූ මෙම සිසුවා පාසලේ ඉගෙනීමේ කටයුතුවලට පරිබාහිරව අභ්‍යවකාශ තරණය පිළිබඳ තොරතුරු ඉගෙනීමට තදබල ඇල්මක් ඇති කරගන්නා ලදි. ස්වයං ඉගෙනීමෙහි යෙදුණු මෙම ශිෂ්‍යයා පාසල් යන අවධියේ සිටම, ඉන්පසු විද්‍යාව විෂය සම්බන්ධ පුවත්පත් සහ සඟරාවල පළවූ ලිපි කියවීමට බෙහෙවින් රුචිකත්වයක් දැක්විය. එපමණක් නොව ඒ හා සමාන වූ ලිපි ලියමින් නැවත නැවතත් ඒවා කියවමින් ඒවා සංස්කරණය කරගනිමින්, ලිපි ලිවීම පිළිබඳ ප්‍රගුණ තත්ත්වයක් ලබා ගැනීමට ඔහු සමත් විය. එපමණකින් නොනැවතුණු එම ශිෂ්‍යයා ඉංග්‍රීසි පුවත්පත්වල පළවූ ලිපි සිංහලට පරිවර්තනය කරගැනීමට ද දැඩි උනන්දුවක් දැක්වූයේ ය.
අනතුරුව ශ්‍රී ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අමෙරිකානු ප්රවෘත්ති යන පුවත්පතට ඔහු කෙටි ලිපියක් ලියුවේ ය. ප්‍රථම වරට ඔහු ලියන ලද එම ලිපිය පුවත්පතක පළවීම නිසා ඔහු අපමණ සතුටක් විඳීමට සමත් විය. මෙයින් ප්රබෝධයට පත්වූ මෙම ශිෂ්‍යයා පසු කලෙක ලෝක ප්‍රකට විද්‍යා ලේඛයකු සහ ගත්කරුවකු වූ සර් ආතර් සී. ක්ලාක් මහතා 1967 දී හමුවී තාරකා විද්‍යා විෂය පිළිබඳ දැඩි ලෙස ඇළුම් කරන බව ප්‍රකාශ කළේ ය. එම විෂය ඉගෙනීමට සහාය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කිරීම නිසා ඒ ගැන පැහැදුණු ඒ මහතා මෙම තරුණ ශිෂ්‍යයාට ගුරු හරුකම් ලබා දෙමින් අදාළ විෂය පිළිබඳ දැනුම වර්ධනය කරගැනීමට උදව් කරනු ලැබීය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම තරුණ ශිෂ්‍යයා මෙයට වසර 55කට පෙර එනම් 1969 ජූලි මස දී ඇපලෝ 11 සඳ මත පා තැබීමට අමෙරිකානුවන් සමත්වීම සම්බන්ධයෙන් හඳට ගිය අපූරු ගමන පිළිබඳ වටිනා විද්‍යා කෘතියක් රචනාකර ප්‍රකාශයට පත් කළේ ය. එම පොතේ පිටපත් 3ක් සඳමත පා තැබූ නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්රින් යන එම දෙදෙනා වෙත තිළිණ කරයැවීමට, මෙම තරුණයා කටයුතු කළේ ය. එසේම විද්‍යා විෂය සම්බන්ධව ප්‍රකාශයට පත්වූ ” විදු නැණ” විද්‍යා පුවත්පතේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වී විද්‍යා විෂය ඉගෙනගන්නා සිසුන් වෙනුවෙන් වැදගත් මෙහෙවරක් කිරීමට අවස්ථාවක් උදාකර ගත්තේ ය. 1971 දී විද්‍යා සාහිත්‍ය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලබා ගැනීමට ද ඔහු සමත්විය. විද්‍යා පොත් රාශියක් රචනා කිරීමටත් තාරකා විද්‍යාඥයකු ලෙස, සම්මානිත ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥයකු බවට ආදර්ශයක් දීමට ද ඔහු සමත් වූයේ ය. පාසල් දරුවන්ට පාසල් ඉගෙනීමට පරිබාහිරව ස්වයං ඉගෙනීමෙන් සිය දක්ෂතා වර්ධනය කරගැනීමට හැකියාවන් තිබෙන බව ආදර්ශයට දෙමින් වියතකු බවට පත්වූයේ ය. 2001 වර්ෂයේ දී අභ්‍යවකාශ වීර කාව්‍යය” නමින් නිෂ්පාදනයකර තිබූ චිත්‍රපටයක සංවාදයකට ආතර් සී. ක්ලාක් මහතාගෙන් ඔහුට ආරාධනාවක් ලැබුණේ ය.
මෙම තරුණයා කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රටට දැයට ආදර්ශවත් ශිෂ්‍යයකු වූ අනුර සී. පෙරේරා මහතායි. 2023 ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ අනුස්මරණ දිනයේදී විද්‍යා විෂය පිළිබඳ විද්‍යා ප්‍රඥා සම්මානය ලබා ගැනීමට ද ඔහු වාසනාවන්ත වූයේ ය.
දූ දරුවන්ට විද්‍යා විෂය තරණයට මඟ පාදමින් සිටින එතුමා 77 වැනි වසරට පා තබන මොහොතේදී මුද්දර මාලාවක් එළි දැක්වීමට යෙදුණි. මුද්දර මාලාවේ අන්තර්ගතය ලෙස සිකුරු ග්‍රහයා අලළා සිදු කළ ග්රන්ථයක් සිකුරු සංක්‍රාන්තිය අලළා එළිදැක් වීම, ආතර් සී. ක්ලාක් මහතාට විද්‍යා ග්රන්ථයක් පිළිගැන්වීම, ශ්‍රී ලංකාවේ පළමු අතත්‍ය අභ්‍යවකාශ නගරය වන විමාන එළිදැක්වීම,කොස්මොස් එම් ක්‍රියේටර් සඟරාවේ පර්යේෂණ මට්ටමේ එළිදැක්වීම යන අවස්ථාව නිරූපණයකර තිබිණි. 77 වැනි වසරට පා තබමින් උපන්දිනය සැමරූ ඒ මහතාට නීරෝගිමත් වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා යි ප්‍රාර්ථනා කරන අතර, තව තවත් දැයේ දූ දරුවන් වෙනුවෙන් අගනා අධ්‍යාපන සේවය ඉදිරියට කරගෙන යෑමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමු.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය