වැහි එන්නට පළමුව විනෝද චාරිකාව ගොස් පැමිණීම සතුටු විය හැකි කරුණක් විය. ඩැනි මාමා පොල් ගස් හතරක ගෙඩි කඩා දැම්මේ උදය කාලයේදී වුවද එය අහුලා දැමීමට මට ඉඩකඩ ලැබුණේ හවස් වරුවේදී ය.
“ඒ……….ඒයි……….කංචු. මොනවද කරන්නෙ? අපි අද ගමනක් යමු ද?” විමලෙත් කරුණෙත්, මා සොයා එමින් ගමන්ම මා දැක ඇසුවෝ ය.
“ඔයාලට තරම් නිදහසක් මට නැහැ නේ. පේනවනේ.”
“ඕක මොකක්ද” කියූ ඔවුන් ද මට උදව්වට ආහ.
“ඔයාට බැරිවෙයිද අපිත් එක්ක යන්න?”
“මං කොහොමද වචනයක් දෙන්නෙ? ගෙදර ගිහින් බලන්න ඕනෙ.”
“එහෙනම් අද යන්න වෙන්නෙ නෑ?” කරුණෙ කියයි.
“යමු! යමු ! ගෙදර ගෙහුං බලමු” අපි තිදෙනා ගෙට රිංගා ගතිමු.
“මොකද බොලා තුන් දෙනා තෙපර බබා මතුරන්නෙ?” අප දුටු ආත්තම්මා ඇසුවා ය.
“මොකෝ කාටවත් ඇබැද්දියක් ද? නැත්නම් අංචියක් ඇද්ද ද?”
“නෑ………..නෑ………..ආත්තම්මෙ. මේ කරුණෙගෙ කළවිටේ බතල නටු වගයක් තියෙනවලු හිටවන්න. ඒකට යන්න කතා කරනවා.”
ආත්තම්මා කිසිත් නොකීවා ය. එය එපා යයි නොකී බව ඉන් සනාථ විය.
“මොකෝ ඉලන්දාරිය යන්නද කල්පනාව? පොල් ටික අහුලලා දැම්ම ද?”
“හ්ම්…….” කීවෙමි.
“එහෙනම් ගෙහුං එන්නකො. තව කවුද යන්නෙ?”
“අපි තුන්දෙනයි. ගල්පොත්තෙගෙදර සිරයි තමා යන්නෙ”
ආත්තම්මාගේ ලද අවසරයෙන් අපි පිට වීමු.
“කොහෙටද ඉස්සරින් යන්නෙ?”
“”ඩොංකා ගස යටට මිස වෙන කොහෙට යන්න ද?”
“ඒක තියෙන්නෙ කොහෙ ද?”
“ඇයි බං දානි මාමගේ කළවිට”
කතාවෙන් කතාවෙන් අපි ඩොංකා ගහ තිබුණ කළවිට ළඟටම ආවෙමු. ඉදුණු ඩොංකා කහ පාටට ගස පුරා පිරී ඇත.
“ඈ බං සිරෝ. අන්න ඩේවි මාමා එහා කුඹුරෙ වැඩ. අපි ගහට යනව බලාන ඉඳීවි.”
“මොනව කියන්න ද? උන්ද හුස්මක් කටක් ගන්න නිනව් නැතිව වැඩ.”
“කවුද දැන් ගහට නගින්නෙ? ඕං මට නම් ගස් යන්න බෑ. දන්නවනේ කවුරුත්” මම කීවෙමි.
“ගහට මං නඟින්නම්. උඹල මං දෙන ගෙඩි ටික අල්ල පල්ල.” සිරා කීවේ වීරයකු ලෙස ය.
“යන්න ඕන ඩොංකා ගහ මුලට. ඒ සැරේ කරුණෙගෙ කළවිටටත් යන්න එපායැ.”
“නැතුව……….?”
“හිටවන්න බතල නැට්ටක් නෑ. ඩොංකයි මට ඕනෙ.” කරුණෙ කීවේ ය.
“අපි කඩන ගෙඩි දාගන්නෙ මොන බඳුනකට ද?”
“අර පැලේ තියෙන රෙදි කඩක් ගනිමු. කම්බි ලේන්සුවකුත් වැලේ දාල තියෙන්නෙ”
“අපෝ…….ඒක කළු මාමගෙ. ඕකට වග කියන්න මට බෑ.” මම කීවෙමි.
“අපි ගන්නම් සිරෝ උඹ කඩපන්. හැබැයි ඉතින් කරමුලට තදවෙන්නෙ ඔයාම තමා”
සිරා ගසට නැග අතු සෙලෙව්වේය. වැටෙන ගෙඩි සී සී කඩ ගියේ ය. මේ අතර එක අත්තකට පය තියද්දී එයත් කඩාගෙන සිරා බිම වැටුණි. හොඳ වෙලාවට මඩ කරන ලද කුඹුරට ඔහු වැටීම නිසා තුවාල අඩු ය. ඇඟ පුරා සීරී ඇතත් අතක් පයක් ඇමැට්ටි වී නැත. කමත අයිනේ බෝවිටියා පඳුරු බිඳගෙන සිරා මඩ කරන ලද කුඹුරට වැටීම නිසා අපට සිනා නොවී සිටීමට බැරි විය. සිරාගේ ඇඟ පුරා ඔළුවේ මුහුණේ ද මඩ ය. හඳුනා ගැනීමට වත් නොහැකි ය.
අපි සිරාව පිටවානට ගෙන ගොස් සෝදා තුවාල බැලුව ද ලොකු තුවාලයක් නොවීම සතුටකි.
“ඇති ඇති ඩොංකා එපා අපි යමු” අපි ආපසු ගෙවල් බලා ආවෙමු.
“අද නම් ගඟේ ලදිය එනවා. වතුරත් බොර පැහැ ගැහිලා. කවුරුත් ගඟේ දඟලන්න යනව එහෙම නෙවෙයි.” අප්පච්චී පාන්දරම නම නොකියා නියෝගය දුන්නේ මට ය.
“අපට ලොකු වැහි දාරාවක් ආවෙත් නෑ” අම්මා කීවා ය.
“එහෙම වුණාට දරුවෝ ගඟ ඉහළ වැහැල ඇති. දැන් නඩේ ආවම තමයි මෙහෙන් ඉඩිත්තු වෙලා යන්නෙ” ආත්තම්මා ද කතාවට හවුල් වූවා ය.
වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මහ වැහි වලාවක් ඇද හැලෙන්නට විය.
“ගඟේ දඟලනව තියා ඉස්කෝලෙවත් යන්න බැරිවෙයි මයෙ හිතේ.” කියන අම්මා “කංචු, කංචු” කියා මට කතා කළා ය.
“පුතේ අද ආප්ප ටික කඩවලට දාන්නත් බැරිවේවි වගෙයි.”
මං දාල එන්නම් අම්මා. මහහේන කඩේටයි, ලෑලි කඩේටයි, දූවෙ කඩේටයි මං අරං යන්නම් අම්මේ” මම කීවෙමි.
“මේ අකුණු පුපුරද්දී මං කොහොමද උඹව අරින්නෙ?
“අප්පච්චි නැත්නම් මං දාල එන්නම්”
“අනේ මං දන්නෙ නෑ. පරෙස්සමට පලයං පුතේ.
“යන ගමනක් වැස්ස ටිකක් තුරල් කෙරුවම යනව. අර ගෝනියක් අරගෙන ගෝනි බොක්කක් හදල දා ගනින් මයෙ පුතා. ” ආත්තම්මාගේ සහනදායි පිළිතුර මට මහ සවියක් විය.
අප්පච්චී ද මැල්ල මාමා සමඟ ගෙට ගොඩ වූයේ ගල්පීල්ල ඉසව්වේ පැළ තවානට හානි වී ඇතිදැයි සොයන්නට ගිය ගමන් ය.
ක්රමයෙන් වැස්ස මඳක් අඩුවිය. මම ගෝනි බොක්කත් දාගෙන ආප්ප පෙට්ටියත් රැගෙන මිදුලට බැස්සෙමි.
“කොහෙද පුතේ. ආප්ප අරන් යනවද? මාත් මේ ගොඩ වුණේ ආප්ප හත අටක් ඇරගෙන යන්න” මැල්ල මාමා කීවේ ය.
“තව තම්බපුව තියෙනව මල්ලි ගෙයි” අම්මා කියද්දි මම මිදුලට පැන ගතිමි.
“මේව මේ ගොඩ වැහි. ගඟ ඉහළ හොඳටෝම දීල වගෙයි. සිරිපොද විතරක් තිබුණ අපට දැන් නොවැ වැස්සෙ. ගඟ ගලාගෙන එනවා මං උදේ දැක්කා.”
“ඒත් මේ දරුව පිටත් කොළාට මගේ නම් මනාපයක් නෑ…..”
“කැමැත්තෙන් ඇරිය නෙවෙයි අනේ.. තැම්බූ ආප්ප ටිකට වෙන දේකුත් එපාය. නැතිනම් මහන්සියෙ පොරෝජනේකුත් නැහැනේ.”
“පුතේ පරෙසමට පලයං. සපත්තු කාණුව ළඟ හෙම නවතිනව නෙවෙයි.” මා පාරට එන්නට පළමුවට අප්පච්චී කියනවා ඇසුණි.
“ආ……කංචු ආප්ප ගෙනාවද පුතා? ආප්ප හොයාගෙන කිහිප දෙනෙක්ම ආවා.” ගුණේ මුදලාලි කීවේය. “අද වැහි දවස නේ.” කියමින් ඔහු වෙනදාට වඩා ආප්ප ගත්තේ ය.
මා ගෙනා ආප්ප ටික දී එමින් ගමන් කරුණෙ හමුවීමට ඔහුගේ නිවස ළඟට යද්දී බල්ලා කඩා පැන්නේය. ඒ ශබ්දයට කරුණේ දිව අවුත් බල්ලා කූඩුවට දමා මා සමඟ ගෙට ගියේ ය.
වැස්ස නතර වුවද ගඟ ඉහළ වැසි නිසා දෝ ගඟේ වතුර මට්ටම ක්රමයෙන් වැඩි වී ඇත. කරුණෙත් සමඟ මම ගෙදර ආවෙමි.
“ආ…..යාළුවත් හම්බුවෙලා තියෙන්නෙ.” අප දුටු ආත්තම්මා කීවා ය.
සපත්තු පාලම ළඟින් එන්න හරි අමාරුයි. වතුර පාර හොඳටම සැරයි.” කරුණේ වතුරේ ගුණාගුණ කීවේ ය.
“අද ගංවතුරක ලකුණු තියෙන බව මම උදේ ගඟට ගොහින් ආපු වෙලාවෙමයි කිව්වෙ. උදෙත් වැල්ලෙන් බාගයක් විතර වැලි කඩාගෙන පා වෙනවා. දැන්නම් වැල්ලක් ඇත්තෙම නෑ.”
“වහින්නෙ නැත්නම් අපි දෙන්නට නම් ඕව ගණන් නෑ ඉතින්. වැටුණොත් පීනලා එන්න පුළුවන් තව කෙනෙක් අරගෙන හරි පීනන්න පුළුවන් නෙව” කරුණේ තම පුළුවන් කාරකම ගැන කියයි.
අම්මාට කනා ගහල ගියත් ආත්තම්මාත් අප්පච්චිත් නිසා අපට ගංවතුරේ ඕනෑ හැටියට නටන්නට ඉඩ ලැබෙන්නේ නැත.
අලුත් වචන
ගෝනි බොක්ක – ගෝනියේ මුල්ලක් නවා සාදා ගනී
ලදිය එනවා – ගංවතුර ගලාගෙන එන විට පෙණ කැටි මෙන් වියළි වැලි පාවීම
ඉඩිත්තු වෙලා – කලබල වෙලා
නඩේ – කණ්ඩායම
තුරල් කෙරුවම – මඳක් අඩුවීම
රත්නා කහඳගමගේ