එකමත් එක කාලයකදී ඉතා දුකෙන් සිටි අළු පැහැති කුඩා ග්‍රහලෝකයක් තිබුණා. සියලුදෙනාට අවශ්‍ය සියලුම නව නිපැයුම් සහ අභ්‍යවකාශ යානා, නැව් ආදී සියලු දේ එහි තිබුණත් එහි ජීවත් වන මිනිසුන් එම ග්‍රහලෝකය ගැන සොයා බැලුවේ නැහැ. ඔවුන් එම ග්‍රහලෝකයේ බොහෝ ප්‍රදේශ කුණු කසළවලින් , ශබ්ද දූෂණයෙන් සහ වායු දූෂණයෙන් කෙතරම් අපවිත්‍රකර තිබුණාද කියනවා නම් , ශාක හෝ සතුන් කිසිවක්ම එහි ඉතිරි වූයේ නැහැ.
එක් දිනක් කුඩා පිරිමි ළමයෙක් මෙම ග්‍රහලෝකය මත ඇවිදිමින් සිටියා. ඔහු සෙමින් සෙමින් වටපිට බලමින් ඇවිදගියා. ඔහු ගුහාවක් පසු කරමින් යද්දී එහි ඇතුළත කුඩා රතු මලක් පිපී තිබෙනවා දුටුවා. එම රතු මල බෙහෙවින් රෝගාතුර වී සිටි අතර, එය මිය යෑමට ආසන්නවයි පැවතුණේ. ඒ නිසා පිරිමි ළමයා මුල්, පස් සහ සියල්ල සමඟ මල පරිස්සමින් හාරා ගලවා ගත්තා. ඊට පස්සේ ඔහු ඒ මල රැක බලාගන්න පුළුවන් තැනක් සොයන්න පටන් ගත්තා. ඔහු ග්‍රහලෝකය පුරා සොයා බැලුවත් මලට ජීවත් විය හැකි තැනක් නැති තරමට හැම තැනම අපවිත්‍ර වී තිබුණා. ඉන්පසු ඔහු හිස ඔසවා ඉහළ අහස දෙස බැලුවා. එවිට ඔහු සඳ දුටුවා. සමහර විට ශාකයට සඳ මත නොනැසී පැවතිය හැකි බව පිරිමි ළමයාට සිතුණා.
ඉතින් කුඩා පිරිමි ළමයා ඔහුගේ ගගනගාමී ඇඳුම ඇඳගෙන අභ්‍යවකාශ යානයකට නැග්ගා. ඔහු කුඩා රතු මල පිටුපසින් තබාගෙන අභ්‍යවකාශ යානයේ නැඟී සඳට ගියා.
ඔහු සඳ මත මල පැළ කළා. ඉන්පසු ඔහු දිනපතා මලේ සැපදුක් විමසීමට පෘථිවි ග්‍රහලෝකයේ සිට සඳ වෙත ගමන් කළා.
පිරිමි ළමයා රතු මල රැකබලා ගැනීමට දිනපතා එහි පැමිණීමත් පෘථිවියේ තිබූ සියලු දූෂණ සහ කැළි කසළවලින් ඈත් වී සිටීමත් යන හේතු නිසා මල සතුටින් නිදහසේ වැඩෙන්නට පටන් ගත්තා. සඳ මතදී මල ඉතා හොඳීන් රැකබලා ගත් අතර, එය ඉක්මනින් ප්‍රරෝහණය වී, එම වර්ගයේ තවත් ශාක පැළෑටි බිහි කළා. ඉන්පසු ඒවායෙත් රතු මල් පිපුණා. ඒ මල් මඟින් තවත් මල් ඉපදුණා. මේ විදිහට මල්වල බීජ මඟින් තවත් ශාක වර්ග රැසක් සෑදුණා. ඒවා සියල්ලේම ලස්සන මල් පිපුණා. වැඩි කාලයක් ගත වීමට පෙර මුළු සඳම සම්පූර්ණයෙන්ම මල්වලින් වැසී ගියා.
ඒ නිසාම තමයි පුංචි පිරිමි ළමයාගේ මල් පිපෙන සෑම මොහොතකම මිනිත්තු කිහිපයක් සඳ අනතුරු ඇඟවීමේ ආලෝකයක් මෙන් මෘදු රතු පැහැයක් ගන්නේ. සමහර විට එය අපට පවසන්නේ ඔබ, ඔබේ ග්‍රහලෝකය ගැන සොයා බැලුවේ නැත්නම්, සඳ මත පමණක් මල් හට ගත හැකි දවසක් පැමිණීමට ද ඉඩ ඇති බවයි.
පෘථිවිය නමැති අපගේ ග්‍රහලෝකයට වායු දූෂණය, පරිසර දූෂණය නිසා කෙතරම් හානියක් වී ඇතිදැයි යන්නත් අනාගතයේදී එම තත්ත්වය කෙතරම් දරුණු වනු ඇතිදැයි කියා සිතීමට ස්පාඤ්ඤ ජාතික ලේඛක edro Pablo Sacristan විසින් රචිත red moon නමැති මෙම කෙටි කතාව අපව පොලඹවනවා.
මේ කතන්දරය කිය වූ පුංචි ඔයාලත් අපේ මේ පෘථිවි ග්‍රහලෝකය ආදරයෙන් සුරැකීමට තව තවත් සිතට ගනීවි කියලා මං හිතනවා.
හර්ෂණී ගමගේ