Home පාසල් පුවත් නායකයාට අනාගත දැක්මක් අවශ්‍යයි

නායකයාට අනාගත දැක්මක් අවශ්‍යයි

by lakehouse
0 comment

කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ – 

ප්‍රධාන ශිෂ්‍ය නායිකාව රුක්ශි හිමාශිනි බණ්ඩාර
ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලසිත මහේෂ් බෙලිගම්මන

මගේ නම රුක්ශි නිමාශිනී බණ්ඩාර. මම ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විෂයය කරගෙන යනවා. මට ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර ලැබුණු අවස්ථාවේ මම ගොඩක් සතුටු වුණා. ඒ කියන්නේ මට පාසල වෙනුවෙන් කිසියම් කාර්යයක් කරන්න හැකියාව ලැබුණා කියලා මගේ හිතට දැනුණා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කියන්නේ ලොකු වගකීමක්. ඒ වගකීම අප මැනවින් ඉටු කරනවා. මම හිතන්නේ අපට ඒ වගකීම ඉටු කරන විට එය මනා කල්පනාකාරීව ඉටු කරන්න අවශ්‍යයි කියලා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැතිව සෑම දෙයක්ම හොඳීන් කරන්න අවශ්‍යයි. බොහෝ අය තමන්ට වගකීමක් ලැබුණු පමණින් ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඒ ගැන එතරම් උනන්දුවක් වෙන්නේ නැහැ. මම නම් හිතන්නේ නායකයකු කියන්නේ හොඳීන් සොයා බලන්නෙක්. මම එය අකුරටම ඉටු කරන්න උත්සාහ කළා. ඒ සඳහා හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. අපි නායකත්වයෙන් ගොඩනඟන්න උත්සාහ කරන්නේ ආත්ම විශ්වාසයයි. ආත්ම විශ්වාසය කියන්නේ ප්‍රබල දෙයක්. පාසල් කාලයේදී හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න අවශ්‍යයි. එය අපේ අනාගතයටත් බලපානවා. මම ජීව විද්‍යා අංශයට ගැළපෙන රැකියාවක් කරන්නයි බලාපොරොත්තුව. මගේ රැකියාව කරගෙන යන්නත් මෙයින් ලැබෙන අත්දැකීම් ඉතා වැදගත් වේවි කියලායි මම හිතන්නේ.”

” විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට දෙන සහයෝගය මම ඉතා අගය කරනවා. ඒ අයගේ ගුරුහරුකම් මට මගේ තනතුරට අදාළ කාර්යය කරගෙන යෑමට ඉතා වැදගත්. ඒ වගේම මගේ මව්පියනුත් මම ආදරයෙන් සිහිපත් කරනවා. නායකයකු ලෙස හැසිරිය යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳ මට කියලා දුන්නේ මගේ මව්පියන්. නිවෙසේදී කුඩා දෙයක් කිරීමෙන් ලැබෙන වගකීම නිසාම අපට නායකත්වය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. නායකයකු හෝ නායිකාවක වූ විට වගකීම් සහ අභියෝග පිළිබඳ අපි හොඳීන් තේරුම් ගන්න අවශ්‍යයි. සෑම විටම අපි අපේ වගකීම ඉටු කරන්න අවශ්‍යයි. මම හිතන්නේ අප, අපේ පාසලෙන් ඒ ගැන ඉගෙන ගන්න අවශ්‍යයි.”

” මගේ නම ලසිත මහේෂ් බෙලිගම්මන. මමත් ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ හදාරනවා. ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මට ලොකු සතුටක් දැනෙන්නේ. හැමෝටම මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මට ලැබුණු අවස්ථාව පිළිබඳ ගොඩක් සතුටු වුණා. මේක මගේ ජීවිතේ මට ලැබුණු ලොකු අත්දැකීමක්. පිරිසක් පාලනය කිරීමෙන් පිරිස් කළමනාකරණය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. පරිපාලනය කියන්නේ තවත් විෂයයක්. ඒ විෂයය අපි පොතින් පතින් ඉගෙන ගන්නවා. ඒත් ඊටත් වඩා ප්‍රායෝගිකව අධ්‍යයනය කරන එක ලොකු පිටිවහලක්. පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමෙන් අපට අත්දැකීම් සමුදායක් ලැබෙනවා. ඒ අත්දැකීම් අපේ ජීවිතයට වටිනවා. අපේ පාසලේ ළමයින් සමඟ මෙන්ම සෙසු පාසල්වල දරුවන් සමඟත් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ඉතා වැදගත් කියලා තමයි මම හිතන්නේ.”

” පාසලේ විෂයයන් කරන අතරතුරදීම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දරන එක එතරම්ම ලේසි නැහැ. ඒත් ඒ සියල්ල සැලසුමකට අනුව කළයුතුයි කියන එක අපේ හිතේ තියෙන්න ඕනේ. එසේ තිබුණේ නැතිනම් අපට අපේ වැඩකටයුතු පෙළ ගස්වා ගන්න බැහැ. සාර්ථක අරමුණකට යන නායකයකු ගැටුම්වලදී සැලෙන්නේ නැහැ. සමහර ගැටුම්වලදී අපට පසුබෑමටත් සිදුවෙනවා. සමහර අවස්ථාවලදී අපට මඟහැරීමටත් සිදුවෙනවා. සමහර අවස්ථාවලදී මුහුණ දීමටත් සිදු වෙනවා. මේ සියල්ලට උපේක්ෂාවෙන් මුහුණදීමට අපට හැකියාවක් අවශ්‍යයි. සෑම බාධකයක්ම අපේ අත්දැකීමක්. ඒ නිසා මම බාධක තේරුම් ගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා. මට අවශ්‍ය අනාගතයේදී රටට සේවයක් කිරීමටයි.”

ඔවුන්ගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි

අපි මිහිර වෙතින් ඔබට සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department