Home » Blog » ජෛව විවිධත්වයෙන් පොහොසත් සිංහරාජය

ජෛව විවිධත්වයෙන් පොහොසත් සිංහරාජය

by lakehouse
0 comments

ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන මෙම නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය රත්නපුරය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබේ. හෙක්ටයාර 11,187ක විශාලත්වයකින් යුත් සිංහරාජය අපේ රටේ ජෛව විවිධත්වය පෝෂණය කිරීමට විශාල දායකත්වයක් සපයනවා. වනාන්තරය දකුණු දිශාවෙන් ගිං ගඟ සහ මහදොළ ද, උතුරු දිශාවෙන් නාපොල දොළ සහ කොස්ගුලන ගඟෙන් ද මායිම් වී තිබේ. 1988 වසරේ දී මෙහි ඇති ජාතික වැදගත්කම ගැන සලකා බලා ජාතික උරුමයක් ලෙසින් නම් කරනු ලැබීය. එයින් වසරකට පසුව එනම් 1989 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. ගත සිත සනසාලන ලොකු කුඩා ජීවීන් රැසකට සෙත සදන සොබාදම් මාතාවගේ විස්මිත දායාදයක් වූ මෙම සුන්දර පරිසර පද්ධතිය සුරැකීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක් බව පුංචි ඔබත් මතකයේ තබා ගන්න.

සිංහරාජයේ ශාක පද්ධතිය

සිංහරාජයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර 5කින් යුක්ත යි. සිංහරාජය නිවර්තන වැසි වනාන්තරයක් ලෙස වසර පුරාම හරිත වර්ණයෙන් දිදුලමින් ජෛව විවිධත්වය පෝෂණය කිරීමටත්, එය ආරක්ෂා කිරීමටත් විශාල මෙහෙයක් ඉටු කරයි. එබැවින් සිංහරාජයේ ශාකවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්ක ශාක විශේෂ 926ක් අතරින් 495ක් සිංහරාජයෙන් වාර්තා වීම විශේෂත්වයකි. හඳුනානොගත් ශාක විශේෂ ගණන ද අති මහත් ය. වැසි වනාන්තරවල ශාකවල විශේෂිත වූ ලක්ෂණ සිංහරාජයේ ශාකවලින් ද දැක ගත හැකි ය. ගස්වල ළපටි දලු ඉතා වර්ණවත් වීම, ශාක ස්ථරීභවනයක් පෙන්වීම, ශාක පත්‍ර අග සිහින් වීම සහ දික් වීම, ශාක හිටගෙන මැරීමේ ක්‍රියාවලිය (එනම් වනයට අවම හානියක් සිදුවන අයුරින් කෙමෙන් මිය යන කොටස් පහළට කඩා වැටීම), ලෑලි මුල් සහ කරු මුල් පිහිටීම ආදිය එම ලක්ෂණ වේ.

සිංහරාජයේ ශාක සංචිතය සැලකීමේදී ලොකු කුඩා ගස්වලට අමතරව වැල් වර්ග, මීවන ශාක හෙවත් පර්ණාංග ශාක, පාසි සහ අපිශාක ආදිය බහුල වශයෙන් ව්‍යාප්තව ඇත.

‍සිංහරාජයේ ශාක පද්ධතියේ ප්‍රධාන ස්තර 5

1. නෙරු ස්තරය – විශාලත්වයෙන් ඉතා වැඩි මීටර් 45ට වඩා උසකින් යුත් ශාක නෙරු ස්තරයට අයත් වේ. අතු නොබෙදුණු ඍජු කඳන් සහිත ශාක ඉතා ඉහළට වැඩී සූර්යාලෝකය ඉතා හොඳීන් ලබා ගැනීමට කටයුතු කරයි. මෙම ශාක එකිනෙකට දුරස් ව්‍යාප්තියක් පෙන්වයි.

හොර, බූ හොර, නැදුන් විශේෂ, දොරණ

2. වියන් ස්තරය – මීටර් 30 – 45 දක්වා උසින් යුත් ශාක විශේෂ වියන් ස්තරයට අයත් වේ. මෙම ශාක තරමක් දුරස්ථව පරතරයක් ඇතිව වැඩෙන අතර, මෙම දුරස්ථභාවය හේතුකොටගෙන සූර්යාලෝකය ද පහසුවෙන් ලැබේ. මෙම ශාකයන්හි වට ප්‍රමාණය තරමක් වැඩි ය. තුරු වියන් ඉතා ළඟින් පිහිටා තිබීම හේතු කොටගෙන වියනක් සේ සැදී පවතින අතර, මෙම ශාක හොඳීන් වැඩේ.

ඇටඹ, බෙරලියනා, වල් දෙල්, රුක් අත්තන, වන මී නවද (ඉඩධපඥච ඵබඪනභතචපඪඵ) මෙහි තිබේ. සිංහරාජයේදී යෝධ නවද ශාකය ද දැකගත හැකි ය. උසින් අඩි 140ක් ද, වට ප්‍රමාණය අඩි 25ක් පමණ ද වන අතර, වියන් ස්තරයේ හමුවන විශේෂ ශාකයකි.

3. උප වියන් ස්තරය – මීටර් 15 – 30ක් පමණ උසට වැඩෙන ශාකවලින් උප වියන් ස්තරය සෑදෙයි. මෙම ශාකයන්හි මුදුන් එකිනෙකට ස්පර්ශ වී ඒවා අතර පරතරයක් ඇති නොවන ලෙස පිහිටන අතර, එමඟින් සූර්යාලෝකය පොළොවට වැටීම බොහෝ දුරට අඩු කරයි.

කටු මොද, කිතුල්, තිත්ත වෙරළු, දවට, වල් කුරුඳු, දිය නා, අළු බෝ

4. යටි වියන් ස්තරය – මීටර් 5– 15ක් පමණ උසට වැඩෙන ශාක යටි වියන් සතරය ලෙස හඳුන්වනු ලැබේ. මෙම ස්තරයට ලැබෙන සූර්යාලෝකය, බිම් ස්තරය හැර අනෙක් ස්තරයන්ට සාපේක්ෂව අඩු මට්ටමක පවතී.

මඩොල්, දත් කැටිය, බට, වල් බෝඹු, පින්න, කළු කෑර, නා ඉඹුල්

5. බිම් ස්තරය – පහතින්ම ඇති ස්තරය එනම් මීටර් 5ට වඩා අඩු ශාකවලින් යුතු ස්තරය යටි වගාව නැතහොත් බිම් සතරය ලෙස හඳුන්වනු ලබයි. මෙම ශාකවලට සූර්යාලෝකය අඩුවෙන්ම ලැබෙන අතර, එයට ඔරොත්තු දෙන ශාක ප්‍රජාවකින් බිම් ස්තරය සෑදී ඇත. මෙහිදී වඩාත් දැකිය හැක්කේ පඳුරු ශාක සහ මීවන විශේෂ ආදියයි. පේර තඹල, පිනි බරු, සමදරා, කටු කෙන්ද, බිනර, පාවට්ටා

සිංහරාජයේ දක්නට ලැබෙන සතුන් වර්ග

සිංහරාජය අවට ගම්වල සිටින ගම්වාසීන් පවසන්නේ අතීතයේදී මෙම වනාන්තරයෙහි අලියන් බහුලව සිටිය බවයි. එහෙත් වර්තමානය වන විට මෙහි සිටින අලි ගහනය විශාල ලෙස අඩු වී තිබේ. එහෙත් ගෝනා, කොළ දිවියා, ඕලු මුවා, වැනි සත්ත්ව විශේෂ රැසක් මෙම වනාන්තරයේදී දැකගත හැකියි. එසේම මෙරටට ආවේණික ක්ෂීරපායී සත්ත්ව විශේෂ‍ 12න් 8ක්ම මෙහිදී දක්නට ලැබේ. පක්ෂි විශේෂ 160ක් පමණ වාසය කරන මෙම වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂී විශේෂ 18ක් පමණ දැකිය හැකියි. හිස අළු දෙමලිච්චා, කැහිබෙල්ලා, සහ පෙතිගෝමර තිරාසිකයා එම පක්ෂි විශේෂ අතරට අයත් වේ.

එසේම මෙහි විශේෂ 45කට අයත් උරගයන් සිටින අතර, එයින් විශේෂ 21ක්ම ශ්‍රී ලංකාවට අවේණික යි. එලෙස මෙරටට ආවේණික උරග වර්ග අතරට කටුසු විශේෂයන් කිහිපයක්, ඉබ්බන් හා හිකනලුන් ද අයත් ය. මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා සහ පුංචි අං කටුස්සා ද සිංහරාජයේදී හමුවේ.

අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50ක් පමණ සිංහරාජයේ වාසය කරති. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශ්‍රිත බිම්වල පස් යට ජීවත් වේ. එසේම ක්ෂීරපායින් 40ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 20ක් සහ සමනල විශේෂ 65ක් පමණ සිංහරාජ වනාන්තරයේදී හමුවේ.

සිංහරාජ වනය ආශ්‍රිත දැකිය හැකි ඖෂධීය ශාක කිහිපයක් – ඉරුරාජ, වනරාජ, කැකුණ, කීණ, වෙනිවැල්, රත්කෑලිය

වැල් වර්ග කිහිපයක් – සිංහරාජයේ ඇති ශාක තරමටම ඒවා සමඟ බැඳුණු වැල් වර්ග ද මෙම වැසි වනාන්තරයේ අගය වැඩි කිරීමට හේතු වේ. සොබාදහමේ අසිරිය වැඩි කිරීමට මේවා නිරන්තරයෙන් දායක වේ.

රස කිඳ, පුස් වැල්, වල් ගම්මිරිස්, බඹර වැල්

ශ්‍රී ලංකාවේ වාර්තා වන වේවැල් විශේෂ 10 අතුරින් විශේෂ 9ක්ම සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබේ. ඇතැම් ඒවා දුර්ලභ සහ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ වේවැල් විශේෂ වේ.

කහ වේවැල්, තුඩ රෑන, කුකුළු වැල්

උඩවැඩියා විශේෂ

සොබාදහමේ අලංකාරය දෙගුණ තෙගුණ කරන උඩවැඩියා ශාක විශේෂ 173ක් පමණ ශ්‍රී ලංකාව තුළ වාර්තාවන අතර, එයින් 80කට ආසන්න සංඛ්‍යාවක් සිංහරාජයේ දක්නට ලැබේ. ඒවාට හිතකර පරිසරයක් සිංහරාජයේ නිරන්තරයෙන් පවතී.

වෙසක් මල්, මහ උඩවැඩියා, නාරිලතා මල්, කුඩා පද්ම

මීවන ශාක විශේෂ

සිංහරාජය ආශ්‍රිතව මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 40කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, එයින් 10ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික වේ.

පාත්‍රා කොකු, මහා හැඩයා, බේදුරු

වාර්ෂික වර්ෂාපතනය

සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන ප්‍රදේශයට මි.මී 3000-6000 අතර වර්ෂාපතනයක් ලැබේ. එසේම එම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 අතර පරාසයක පවතියි. මෙම ප්‍රදේශයට හොඳීන් වර්ෂාව පතිත වන නිසා සුන්දර දිය ඇලි කිහිපයක් නිර්මාණය වී තිබීමත් විශේෂත්වයකි. බ්‍රාහ්මණ ඇල්ල, දූව්ලි ඇල්ල, සහ ඌරා වැටුණු ඇල්ල එම දිය ඇලි කිහිපය අතරට අයත් වේ.

සිංහරාජය රැකගැනීම අප සැමගේම යුතුකමක්

මේ අනුව බලන කල සිංහරාජය ඉතා විශාල ශාක විශේෂ සංඛ්‍යාවකට වාසභූමියක් ලෙසත්, ඉහළ ජාන සංචිතයක් ලෙසත් ඉටු කරන මෙහෙය අති විශාල ය. ඉහළ ශාක විවිධත්වයක් ඇති සිංහරාජයේ ශාක අතර 2007 රතු දත්ත වාර්තාවට අනුව වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ ගණනාවක්ම තිබීම ද අභාග්‍යසම්පන්න කරුණකි. සොබාදහම විසින් දායාද කළ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන පරිසර විනාශය ද බොහෝ කාලයක සිට සිදුවෙමින් පවතියි. සතුන් දඩයම් කිරීම, ඇළ දොළ සහ ගංගාවලින් අනවසරයෙන් වැලි ගොඩ දැමීම, වල්ලාපට්ටා කැපීම, අනවසර ගස් කැපීම්, කැලෑ එළි කිරීම් ආදී විවිධ ක්‍රම ඔස්සේ සිදුවෙමින් පවතින පරිසර හානිය මඟින් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව තිබෙන දුර්ලභ ශාකවලට මෙන්ම එහි සිටින දුර්ලභ සතුන්ට ද විශාල වශයෙන් හානි සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එම නිසා මෙම පරිසර පද්ධතිය රැකගැනීම අප සැමගේම යුතුකමක් බව පුංචි ඔබත් සිහියේ තබාගන්න.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department