අද්දර ගෙදර කඩේ මුදලාලි සීයාට වැඩ වැඩි දවසට ඕනෑ කෙනකුට ඕනෑම දෙයක් රැගෙන යා හැකි ය. උදව්වට හෝ කිසිවකුත් ගන්නේ නැත.
හැරී කඩේ පෙනෙන මානයට ආවෙමු. විමලේ කඩේ බංකුව උඩ වාඩි වී පාර බලා සිටියි.
“උඹට මං හොඳ වැඩක් කරන්නම්. මේ වැඩ කොලම අහවර උනාම”
“හරි මුදලාලි මාමා මං යන්නේ නෑ.”
“ඒක තමයි අත් දෙක ගැට දාලා ඔහොම ඉන්න දුන්නෙ. අනෙක උඹේ අප්පොච්ච හරි හොඳ එකා. ආං ඒක මතක තියා ගං.”
අප දුටු විමලේ අත කරකවා එකක් ලිහාගෙන අනෙක් අත ද පන්නා ගෙන අප දෙසට දුවගෙන ආවේය.
“ඔහෙ හිටූ. ඔහෙ හිට” අද්දර ගෙදර සීයා කඩ මිදුල පසු කර දුව විත් බලා සිටියේය.
“කරන වැඩක් අහු නොවෙන්න කරන්න එපායැ බං. මොකද වුණේ…..?”
“මයෙ අතේ තිබුණ තල කැරලි තුන හතර දැකලා තමයි මාව අල්ල ගත්තෙ”
“මං කිව්ව මේවට මුදල් ගෙව්වා කියලා. කොහෙද මිනිහ ගණන් ගත්තෙ නෑ. මාව අල්ලලා ගැට ගැහුවෙ අර එළියෙ කණුවෙ. ආයෙ මිනිහට හොරා යැයි කියලා තමයි කඩ බංකුව ළඟ කණුවෙ ගැටලූවෙ. මං හිතුව මගේ අඩුව දැනිලා ඔයාල එයි කියලා”
“මදෑ ඔයින් ගියා” අපි ආපසු හැරී බැලීමු.
සීයා පෙනෙන්නටවත් නැත. “ගල් ඇන්දෙ ගෙදර විලියම් අයියා තමයි ගැටේ බුරුල් කේන්න උදව්ව කෙරුවෙ”
“කවුරුවත් දැක්කෙ නැද්ද?”
“නෑ……….නෑ…..මට ගැටේ ලිහා ගන්න පහසු වුණේ ඒකයි.” විමලේ කීවේ ය.
“අද නම් ආයෙ වෙනත් වැඩක් කරන්න පුළුහන් කමක් නෑ. ඒ නිසා අපි ගෙවල්වලට යමු. ආයෙ හෙටනම් කරුණෙත් එනවනේ.” මම කීමි.
පාසල් වේලාව නිම වූ වහාම අපි ගෙවල්වලට ආවෙමු.
“අම්මේ…….අද නම් පන්සලේ වැඩට සහභාගි වෙන්න යන්න ඕන. අද මොනාද කන්න තියෙන්නෙ” මම ඇසීමි.
“සෝලි නොදා තියෙන යමක් කන එකනේ ඇත්තෙ” ආත්තම්මා කීවාය.
“කෝ කරුණෙ එහෙම? මිනිහට මොකදෝ අබග්ගයක් වුණාලු නේද?”
“අනේ ඕව මං දන්න එකක් නෑ. තව පොඩ්ඩෙන් කරුණෙත් එයි”
“ආයෙ ඒව මොනවත් කියන් නෑ. ඔක්කොම වහංගු කරනවා. ඕං දවසකටවත් හොඳ මුනුපුරාල”
අනෙක් අයත් අපේ ගේ ළඟට එකතු වූහ.
“කෝ……..කංචු?”
“ඔය ආ පයින්ම පන්සලට ගියෙ”
ආත්තම්මා අප්පච්චීට කියනු ඇසුණි.
අපි ලහි ලහියේ ගෙන් පිට වුවද කිසිම පිහියක්, උදැල්ලක්, අලවංගුවක් නොගතිමු.
ඈත තියාම අපි එනවා බලා සිටි ලොකු හාමුදුරුවෝ ආදරයෙන් අප හැම දෙනම පිළිගත්හ.
“දරුවනේ කාලද ආවෙ..? “එහෙමයි” හාමුදුරුවනේ.
“එහෙනම් දෙන්නෙක් එන්න මෙහාට උන්වහන්සේ මටත් කරුණෙටත් කතා කළහ.
“ඔය දෙන්න ඔතන ඉඳලා අර අතන දෙහි ගහ ළඟට වැඩිය ගැඹුරක් නැතිව කපා ගෙන එන්න. අනෙක් දෙන්නා ඔය පන්සලට එන පාරෙ ඉඳලා උඩට කපන් එන්න. ලොකු ගැඹුරකට ඕන නෑ” ලොකු හාමුදුරුවෝ අපට සීමා මායිම් ලකුණූ කොට දුන්හ.
පාසලේ වාර පරීක්ෂණය ළඟය. කොයිතරම් මොන දහ වැඩේ කළ ද කරුණෙ පාසලේ පන්තියේ වැඩ අත පසු කර නොගනියි.
කුසුමලතා ඉස්කෝලෙ හාමිනේ පන්තිය භාර ගුරුතුමිය නිසා නිතර වේවැල්පාර කන්නට සිදුවීම අරුමයක් නොවේ. ඇය කරුණේ ලියපු රචනය පන්තියටම ඇසෙන්නට
කියෙව්වා ය. ‘මා ගිය විනෝද චාරිකාවක්’ යන මාතෘකාව යටතේ ලියන ලද එය මට ද සිතා ගත නොහැකි ය. පරිසර වර්ණනාවක්, ආ ගිය ගමන් මඟ වර්ණනාවක්, කිසිදා නොදුටු නො ඇසූ ස්ථාන ගැනත් කරුණේ හරිම ලස්සනට ලියා තිබිණි. ඔහුගේ රචනයට පන්තියේ වැඩිම ලකුණූ ලැබී තිබුණු අතර, දෙවැනි තැන හිමිවූයේ ගැහැනු ළමයකුට ය. මට තුන්වැනි තැන හිමි විය. කෙසේ වුවද කාල වේලාව අවසන් වන තුරු රචනා සියල්ලටම බලා නිම කිරීමට එතුමියට නොහැකි විය.
සීනුව වැදුණු නිසා සිංහල කාල පරිච්ඡේදය නිමා විය. “කරුණෙ මටත් දීපන්කො ඔයාගෙ රචනා පොත. මම ඒක කොපි කරගෙන දෙන්නම්” සෝමේ කරුණගෙන් පොත ඉල්ලුවේ ය.
“පොත නම් දෙන්නම් සෝමේ. හැබැයි ඒකට කොපිය ගහන්න එපා. ඒ වගේ කියවලා බලලා වෙනත් එකක් ලියනවා හොඳයි” කරුණේ කීවේ ය.
“අනේ මට නම් දැන් ඉස්කෝලෙ තිත්ත වෙලා. දවසෙන් වරුවක්ම ඉවරයි ඉස්කෝලෙට. ගස් ඔට්ටුවක්වත් දෙන්න වෙලාව නැහැ නේ.”
“මං නම් ඉස්කෝලේ එන්න අකමැති නෑ. ඒ වුණාට පාඩම් මතක හිටින්නෙ නැහැනේ.” කමල් කීවේය.
“ඕක තමයි අපි ඔක්කෝටම තියෙන ලෙඩේ” මම කීවෙමි.
“අද දෙන වැඩ ටික අදම රෑට හරි කරනවනම් බැරිවෙන්නේ නෑ.” කරුණෙ කියයි.
“ඒක නෙවෙයි. කංචු අපි සල්ලි ලැබෙන වැඩක් කරමු”
“මොකක්ද අනේ ඒ වැලිගොඩ දාන්න යන්න ද? ඔට්ටපාලු ගලවන්න ද? ඔය දෙකම මට නම් බෑ” මම කීමි.
“නෑ……..නෑ…..අනේ ඒක නෙවෙයි”
“ඔයාලට මතක නේ අපේ චොප්පා?”
“කවුද………..චොප්ප……..අර නන්දෙ ද?”
“මිනිහ අපෙන් අයින් වෙලා ලොකු අයත් එක්ක එකතු වුණානේ කොහෙ ඉන්නව ද මොනව කරනව ද දන්නෙම නෑ” මම කීමි.
“මට මිනිහ මුණ ගැහුණා. උගේ නම් පර්ස් එක පිරෙන්න සල්ලි.
මං ඇහුව කොහෙන්ද කියලා. උඹත් එනව නම් කියන්නම්. හැබැයි මේක රහසක්. ඔක්කම්පිටි ගිය සයිමන් මාමා, මූ ගම එවලා කොල්ලො කීපදෙනෙක් එක්කන් එන්න කියලා. මටත් කතා කළා ගරන්න යන්න.
දලං කෑලි, රතුකැට, කලුකට්ටා මේවටත් මුදලාලිලා හොඳට ගෙවනවලු. නන්දෙටත් කලුකට්ට, දලං කැට ලැබුණලු. මිනිහ මැණික් වර්ග අඳුන ගෙන තියෙන්නෙ එහේදි. ඉතින් මට හිතෙනව නන්දෙත් එක්ක ගරන්න යන්න. සල්ලි තියෙනව නම් අපට මොනවද කරන්න බැරි?”
“සෝමෙ ඕවයෙ යන්න එපා. අපට උඹව වටිනවා. ඔය පතල් වළකට දාලා උඹව මරා දැම්මොත්”
“බලමු…බලමු” සෝමේ කීය.
රත්නා කහඳගමගේ