Home » Blog » කිටී දිනපොතට රහස් කියූ ඈන් ෆ්‍රෑන්ක්

කිටී දිනපොතට රහස් කියූ ඈන් ෆ්‍රෑන්ක්

by lakehouse
0 comments

අක්කෙ ඔයා දිනපොත් ලියලා තියෙනවද?”

එදා ඉස්කෝලේ ඇරිලා ඇවිත් දිනිති, එයාගේ අක්කා මලිතිගෙන් ඇසුවා.

“ඔව් නංගි ලියලා තියෙනවා.”

“අපේ පන්තියේ සිංහල ටීචර් අද අපට කිව්වා දිනපොතක් ලියන්න පුරුදු වෙන්න කියලා.”

“ඉතින් හොඳයිනේ. අපි අප්පච්චිට කියලා ලස්සන ඩයරි දෙකක් ගෙන්නගෙන ඒකෙ ලියන්න පටන් ගනිමු.

ඔයා කිටී දිනපොත අහලා තියෙනවද?”

මලිති ඇහුවා.

“නෑ. ඒ මොකක්ද?” දිනිති ඇසුවා.

“ඒ තමයි ඈන් ෆ්‍රෑන්ක් ලියූ දිනපොත”

“ඈන් ෆ්‍රෑන්ක් ඒ කවුද? ” දිනිති පුදුමයෙන් ඇසුවා.

“ඈන් ෆ්‍රෑන්ක් කියන්නේ දිනපොතක් නිසා ලෝක ප්‍රසිද්ධ වුණ ගැහැනු ළමයෙක් . ඉන්නකෝ මං ඔයාට එයා ගැන තොරතුරු ටිකක් කියලා දෙන්න. ආ ඒ විතරක් නෙවෙයි මං දැක්කා අම්මගෙ පොත් රාක්කයේ ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත තියෙනවා. අපි ඒකත් හෙමිහිට කියවමු”

මිහිර කියවන පුංචි ඔයාලාත් සමහර විට දිනපොත් භාවිත කරනවා ඇති. එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් දිනපොතක ලියා තබනවා ඇති. අද කියන්න හදන්නේ ඒ වගේ තමන්ගේ සිතුවිලි දිනපොතක් එක්ක බෙදාහදා ගත් ඉතිහාසගත වූ අපූරු දැරියක් ගැනයි. ඔන්න කියවලා බලන්නකෝ මලිතියි දිනිතියි ඈන් ෆ්‍රෑන්ක් ගැන සොයාගත් තොරතුරු ටිකක්.

ඇගේ නම ඇනලීස් මාරි ෆ්‍රෑන්ක්. කුවුරුත් ඇයට ආදරයට කිව්වේ ඈන් කියලයි. යුදෙව් ජාතික දැරියක් වූ ඇය උපන්නේ 1929 ජූනි 12 දින ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදීයි. ඈන්ගේ තාත්තාගේ නම ඔටෝ ෆ්‍රෑන්ක්. අම්මගේ නම එඩිත් ෆ්‍රෑන්ක්. ඈන්ට එකම එක අක්කා කෙනෙක් සිටියා. ඇයගේ නම මාගෝ ෆ්‍රෑන්ක්. ඈන්ගේ තාත්තා සේවය කළේ බැංකුවකයි.

මාගෝ අක්කා අහිංසක නිහඬ දැරියක් වූ අතර, ඈන් දඟකාර සහ මිත්‍රශීලි දැරියක් වුණා. ඈන් අම්මයි තාත්තයි අක්කයි එක්ක ප්‍රීතිමත් ළමා වියක් ගෙවමින් ඉන්න අතරේදී දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වෙනවා. ඒ වන විට ජර්මනියේ පාලකයා බවට පත් වී සිටියේ හිට්ලර්. ඒකාධිපති පාලකයකු වූ හිට්ලර් යුදෙව්වන්ව ප්‍රිය කරන්නේ නැහැ. ඔහු යුදෙව් ජාතිකයන්ට හිරිහැර කරන්න පටන් ගන්නවා. මෙම හිරිහැර වැඩි වන විට ෆ්‍රෑන්ක් පවුල නෙදර්ලන්තයට පලා ගොස් ඇම්ස්ටර්ඩෑම් නුවර රහස් ඇනෙක්සියක සැඟවී ජීවත් වෙනවා. මෙම දුෂ්කර කාලයේදී ඇතිවන පාළුව, දුක , සතුට ආදී විවිධ සිතුවිලි බෙදා හදා ගන්නට ඈන්ට අපූරු යාළුවෙක් මුණගැසෙනවා. ඒ තමයි 1942 ජූනි 12 දින ඈන්ගේ 13 වැනි උපන්දිනයට ඇයට මව්පියන්ගෙන් ඇයට ලැබෙන විශේෂ තෑග්ග. ඒක රතු පැහැයට හුරු කොටු කොටු මෝස්තරයක් වැටුණු අලංකාර පිටකවරයක් සහිත දිනපොතක්. ඈන් මෙයට කිටී යැයි නම් තබනවා. ඇය මුලින්ම මෙහි සටහනක් තබන්නේ 1942 ජූනි 14 දිනයි. එදා සිට ඈන් ඇයගේ සිතුවිලි එහි සටහන් කරනවා. මේ අතරේදී රේඩියෝවෙන් දිනක් ඈන්ට ඇහෙනවා මෙම කාල සීමාවේදී ලියන දිනපොත් ඉතා වැදගත් බවත් කෙදිනක හෝ හොඳම දිනපොත් මුද්‍රණය පවා කරන බවත් කියැවෙන පණිවිඩයක්. මේ නිසා ඈන් තව තවත් උනන්දුවෙන් කීටී දිනපොත නිර්මාණාත්මකව රචනා කරනවා. ඇය විටෙක නිළියක වීමටත් තවත් විටෙක ලේඛිකාවක වීමටත් සිහින මවනවා. 1944 දී ෆ්‍රෑන්ක් පවුල හිට්ලර්ගේ නාසි හමුදාවට හසු වෙනවා. ඔවුන්ව පෝලන්තයේ අවුෂ්විට්ස් සිර කඳවුර වෙත ගෙන යනවා. 1945 මාර්තු මාසයේදී පමණ නාසි කඳවුරකදී උණ සන්නිපාතය වැල¼දී මාගෝ මිය යන අතර, ඉන් ටික කලකට පසු දරුණු ලෙස රෝගාතුර වන ඈන් ද මිය යනවා. ෆ්‍රෑන්ක් පවුලෙන් ඉතිරි වන්නේ ඈන්ගේ පියා පමණයි. යුද්ධය නිමා වූ පසු ඔහු නැවත ඇම්ස්ටර්ඩෑම් වෙත යනවා. එහි දී ඔවුන් සමඟ රහස් ඇනෙක්සියේ විසූ මීප් ගීස් විසින් ආරක්ෂා කර තබන ලද ඈන්ගේ කිටී‍ දිනපොත ඈන්ගේ පියාට ලබා දෙනවා . ලන්දේසි භාෂාවෙන් ලියවී තිබුණු පළමු පිටපත ඈන්ගේ පියාගේ අවසරය මත සංස්කරණය කර පොතක් වශයෙන් 1947 දී මුද්‍රණය කරනවා. 1952 දී ඊඩඥ ච්ඪචපර ධට ච කධභදඨ ට්ඪපත යන නමින් එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරනවා. වයස අවුරුදු 15 දී මිය ගිය මේ අහිංසක දැරියගේ සතුට , දුක සියලු සිතුවිලි සටහන් වූ දිනපොත ක්‍රමයෙන් ලොව ප්‍රකට වන්නට පටන් ගන්නවා. ඉන් පසු මෙම දිනපොත ලොව පුරා විවිධ භාෂා 70කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබෙනවා. ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත

යෞවනියකගේ දිනපොත නමින් ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද විසින් ද යුවතියකගේ දිනපොත නමින් තොම්සන් ඒ. වැන්දබෝනා විසින් ද සිංහල භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. මෙම පරිවර්තන කෘති දෙකම ඉතා රසවත්. ඈන්ගේ දිනපොතේ මුල් අත්පිටපත නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි පිහිටි ඈන් ෆ්‍රෑන්ක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 2009 දී ඈන්ගේ දිනපොත ලෝක ලේඛනයේ යුනෙස්කෝ මතකයට ද (ලෝක වැදගත්කමක් සහ කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් ඇති වාර්තාමය උරුමයන් ලැයිස්තුගත කර තබන්නකි) එකතු කර තිබෙනවා. ඈන්ගේ දිනපොතෙහි කතාව චිත්‍රපටවලට , වේදිකා නාට්‍යවලට සහ සංගීතමය මුද්‍රා නාට්‍යවලට ද නැඟී තිබෙනවා. ඈන්ගේ උපන්දිනය යෙදෙන ජූනි 12 දිනය ඈන් ෆ්‍රෑන්ක් දිනය ලෙස ද නම්කර තිබෙනවා.

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department