Home » Blog » අපේ රටේ උණුදිය උල්පත්

අපේ රටේ උණුදිය උල්පත්

by lakehouse
0 comment

පුංචි දුවේ පුතේ, ඔයාලා උණුදිය උල්පත් එහෙමත් නැතිනම් උණුදිය ළිං ගැන අහලා ඇති නේද ? ගොඩක් දෙනෙක් ඒවා බලන්නත් ගිහින් ඇතිනේ. අද අපි මිහිර පෝස්ටරයෙන් අපේ රටේ උණුදිය උල්පත් කිහිපයක් ගැන සොයා බලමු නේද?

උණුදිය උල්පත් ඇතිවන්නේ කෙසේද?

පොළොව මතුපිට ආසන්නයේ ඇති මැග්මා හෝ මැග්මා නිසා දැඩිව උණුසුම් වන පාෂාණ අතරින් ගමන් ගන්නා භූගත ජලය, රත්වීම නිසා ඝනත්වය අඩු වීමෙන් උණුදිය ලෙස ඉහලට පැමිනෙන බව සොයා ගෙන ඇත. උණුදිය උල්පත්වලින් පැමිණෙන ජලය බොහෝවිට භාෂ්මික වන අතර, ආම්ලික උණුදිය උල්පත් කිහිපයක් ද වේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5ක ප්‍රධානතම උණුදිය උල්පත් 10ක් පමණ වර්තමානයේදී සොයාගෙන ඇත.

අම්පාර, අනුරාධපුරය , ත්‍රිකුණාමලය , පොලොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල මෙම උණුදිය උල්පත් පිහිටා තිබේ.

නෙළුම් වැව උණුදිය උල්පත්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙම උණුදිය උල්පත් පිහිටා ඇති අතර, එයින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් පමණ වේ. වැව මැද්දේ දූපතක පිහිටි මෙම උණුදිය උල්පත් අඩි 100ක් ගැඹුරට කොන්ක්‍රීට් නළ යොදා ළිඳක් ලෙස සාදා ඇති අතර, මෙහි උණුදිය කිලෝමීටර් 2ක් පමණ ගැඹුරක සිට පැමිණෙන බවට මතයක් පවතී. එසේම මෙහි තත්පරයට ලීටරයක් වතුර උනන බවත් කියවේ. මෙම උණුදිය උල්පතේ සල්ෆර් ලවණ ඉතා ගුණදායක බව කියවෙන අතර, එයට චර්ම රෝග, වාත රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ද පවතින බවට මතයක් ඇත.

මුතුගල්වල උණුදිය උල්පත්

මෙය අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය – මහියංගණය මාර්ගය ආසන්නයේ මාදුරු ඔය ජාතික වමෝද්‍යානයෙහි පිහිටා ඇත. ගල්කුඹුර උණුදිය උල්පත් ලෙස හඳුන්වන්නේ ද මෙම උණුදිය උල්පත් ය.

කපුරැල්ල උණුදිය උල්පත්

අම්පාර දිස්ත්‍රික්කයේ චෙන්කලඩි – පදියතලාව මාර්ගයේ මහඔය 69 හන්දියෙන් මෙම කපුරැල්ල උණුදිය උල්පත් වෙත ගමන් කළ හැකි ය. ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතුරින් වැඩිම උෂ්ණත්වය පවතින්නේ මෙහි වන අතර, එය සෙල්සියස් අංශක 55-56 අතර වේ.

මහඔය උණුදිය උල්පත්

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරයේ සිට කිලෝමීටර් 2ක් පමණ ඇතුළට වන්නට පිහිටා ඇත. මෙය උණුදිය ළිං 7කින් පමණ යුක්ත වන අතර, වෙනස් උෂ්ණත්වවලින් යුක්ත ය. මෙහි වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 55ක් පමණ වේ.

ජයන්ති වැව උණුදිය උල්පත්

අම්පාර දිස්ත්‍රික්කයේ කිවුලේගම-පල්ලන් ඔය මාර්ගයේ ජයන්ති වැව ආසන්නයේ මෙය පිහිටා ඇත. සියඹලාණ්ඩුව – අම්පාර මාර්ගයේ වඩිනාගල හරහා මෙම ජයන්ති වැව උණුදිය උල්පත් වෙත පිවිසිය හැකි ය. මෙයින් පිටවන ජලයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.1ක් පමණ වේ.

වහව උණුදිය උල්පත්

අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රදේශයේ පිහිටා ඇත. මෙහි උණුදිය උල්පත් 18ක් පමණ තැනින් තැන පිහිටා ඇත. මෙයින් පිටවන ජලයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක

42 – 45 අතර පවතී. මෙය ප්‍රයෝජනයට ගැනීම සඳහා නළ පද්ධතියක් යොදා ගෙන ඇත.

ගෝමරන්කඩවල උණුදිය උල්පත්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙම උණුදිය උල්පත් පිහිටා ඇත. ත්‍රිකුණාමලය – හොරොව්පතාන මාර්ගයේ කින්නියා පන්කුලම පසුකර කම්ඹකෝට්ටේ ඔස්සේ ගමන් කිරීමෙන් මෙම උණුදිය උල්පත් වෙත ළඟා විය හැකි ය. මෙය උණුදිය උල්පත් 2කින් සමන්විත වන අතර, ගෝමරන්කඩවල උණුදිය උල්පත් හෝ රන්කිහිරිය උල්පොත උණුදිය උල්පත් ලෙස ද මෙය හඳුන්වනු ලබයි. මෙය රන්ගිරි උල්පොත විහාරය ආසන්නයේ පිහිටා ඇති අතර, එයින් පිටවන ජලයෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් පමණ වේ.

මදුනාගල උණුදිය උල්පත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මදුනාගල ප්‍රදේශයේ මෙම උණුදිය උල්පත් පිහිටා ඇත. මදුනාගල උණුදිය ළිං හෝ මහා පැලැස්ස උණුදිය ළිං ලෙස ද මෙය හැඳීන්වේ. මෙම උල්පත මඟින් පිටකරන ජලයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 – 46 අතර ප්‍රමාණයක් වේ. ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරවලට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ මෙම උණුදිය ළිං පිහිටා ඇත. ඇඹිලිපිටියේ සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ කිලෝමීටර් 9ක් පමණ සූරියවැව දෙසට පැමිණි විට හමුවන විහාරගල හතරමං හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 4ක් ගිය විට මෙම ස්ථානය හමුවේ. ඉඥඥඪදඨ ඛ්ඥරතධද නමැති ග්‍රන්ථය ලියූ ආචාර්ය අ. ඹ්. බ්‍රෝහියර් පවසන පරිදි එවකට අලි ඇතුන් අවසන් හුස්ම හෙළීම සඳහා මෙතැනට පැමිණ තිබේ. මෙම ජලයෙහි ක්ලෝරින්, මැග්නීසියම්, හුනු හා සල්ෆේට් අඩංගු වේ. මෙලෙස ලවණ ගණනාවක් අඩංගු බැවින් මෙම ජලය ඖෂධීය ගුණයෙන් පිරිපුන් ය.

මෙම උණුදිය උල්පත් වටකර ජල ටැංකි 5ක් ඉදිකර ඇති අතර, ඒවායේ උෂ්ණත්වය එකිනෙකට වෙනස් වේ. උෂ්ණත්වය වැඩිම ජල ටැංකියේ උණුසුම අධික නිසා දිය බුබුළු මතුවනු දැකිය හැකි ය. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩුවන ආකාරයට සකසා තිබේ.

කන්නියා උණුදිය උල්පත්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙම උණුදිය උල්පත් පිහිටා ඇති අතර, එයින් මුදාහරින ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වේ. මෙය උණුදිය ළිං 7කින් පමණ සමන්විත ය. අතීතයේදී මෙම ස්ථානයෙහි පැරැණි බෞද්ධ විහාරයක් පැවති බවට සාධක හමුවී ඇති අතර, එහි නටබුන් අදටත් දැකගත හැකි ය. මෙම උණුදිය උල්පත් එම බෞද්ධ ආරාමයේම කොටසක් බවත් එකල එහි වාසයකළ භික්ෂූන් වහන්සේලා මෙම ළිං පරිහරණය කළ බවත් සඳහන් වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙය වෙල්ලගම් වෙහෙර බෞද්ධ ආරාමයේම කොටසක් ලෙස සැලකේ. මෙහි උණුදිය උල්පත් හතෙන්ම නෑම එහි පැමිණෙන බොහෝ දෙනාගේ සිරිත වේ. කන්නියා උණුදිය උල්පත් හා රාවණා රජු සම්බන්ධ ජනප්‍රවාදයක් ද පවතී. රාවණා රජුගේ මවට කුෂ්ඨ රෝගයක් වැලඳුණු අතර, එයට පිළියම් සොයා වෙහෙසුණු රාවණා රජුට සිහිනෙන් මෙම ස්ථානය පෙනී ඇත. එතැනට පැමිණි රාවණා රජු මෙම ස්ථානය සොයා ගත් අතර, එහි ළිඳක් සාදා එම උණුදියෙන් මව නාවන ලදි. ඇගේ කුෂ්ඨ රෝගය ඉක්මනින් සුව වී ඇති අතර, රාවණා රජු මෙහි දේවාලයක් ද ඉදිකර ඇත. එතැන් පටන් මෙම ස්ථානය පූජනීයත්වයට පත් විය.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department