Home හෙට ලෝකය හෙට ලෝකය

හෙට ලෝකය

by lakehouse
0 comment

පරිසරයේ සුන්දරත්වය

ගලනා නදියේ
සිසිලස හමුවේ
ගහ කොළ නැළවේ
වටපිට තිබෙනා

ගී කියනා කුරුල්ලන්ට
උදවු කරන මඳ නල හට
කනට මිහිරි සිතට දැනෙන
සිංදු තිබෙයි සෑම විටම

K.H.W. දුලන්සා
9 ශ්‍රේණිය
සුජාතා විද්‍යාලය, මාතර

—————
මම ලේඛකයකු වෙමි

මම පොත් ලියන කුඩා ලේඛකයෙක් වෙමි. මම පෑනෙන් බොහෝ ප්‍රයෝජන ගනිමි. මම පාසල් ළමයින්ට, වැඩිහිටියන්ට ගැළපෙන සේ වෙන වෙනම පොත් ලියමි. මම පාසල් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු දියුණුකර ගැනීමට උදව් කරමි. මම කවදා හෝ දවසක ඉතා දක්ෂ ලේඛකයකු වීමට බලාපොරොත්තු වෙමි. මම මිනිසුන්ට ආදර්ශ දෙන කතා ලියමි.

එච්.ජී.සිතුලි මහීෂා
4 ශ්‍රේණිය,
මප/මා/රත්/බැප්ටිස්ටි විදුහල
රත්තොට

——————–
මතින් තොර සමාජයක්

වැනි වැනි අසිහියෙන් දෙවැට දිගේ
මාමා යන්නෙ නෑ වෙනද වගේ
සිනහව පිරී ඇත කළු නැන්දගෙ මුහුණ අගේ
පහළ ගෙදර නැහැ උස් හඬ වෙනද වගේ

මත්පැන් අලෙවිසල ළඟ පෝලිමේ සිටී
මාමල, සීයල, අයියල දැන් ගෙදර සිටී
මත් වී වැටුණ තැනකට වී නිදා සිටී
අය දැන් ගොඩ මඩ වගාවන් හට පණ දෙමින් සිටී

ඇබ්බැහි වෙලා උන් අය දුම් පානයට
විෂ දුම් එක්කරන්නේ නැහැ දැන් වාතයට
දුම් වැටිවලින් තොර වත්මන් ලෝකයට
පියමැන සිටින වග දැන් හැඟවේය මට

හෙරොයින් අයිස් යන එක එක නාමවලින්
මත් රකුසාය හිටියේ ලොව වෙලාගමින්
වත්මන් සමාජය නැවතී ඇත සියලු මතින්
යන මඟ යන්න පෙළඹී ඇත තොරව මතින්

හොර මැර අපචාර අඩු වී ඇත මත නොමැති නිසා
පෙණහලු පිළිකා නොමැත අක්මාව ද සුවයි
මත නොමැති නිසා
සිල්වත් සමාජයක් බිහිවිය මත නොමැති නිසා
ලොකු වෙනසකින් ලොව සැරසී ඇත මත නොමැති නිසා

ටී.එම්.ටී. ස්වේතා තෙන්නකෝන්
7 ශ්‍රේණිය එෆ්
කු/ මලියදේව බාලිකා විද්‍යාලය
කුරුණෑගල

——————
මගේ ගෙවත්ත

කොළපාටින් බබළන ගස් වැල් පිරුණු මගේ ගෙවත්ත හරිම ලස්සනයි. නොයෙක් මල් පිපී ගෙවත්ත ලස්සන කරයි. සමනලයෝ, මී මැස්සෝ, මල් පැණි බීමට පැමිණෙති. පලතුරු, එළවළු, ඖෂධ, පැළෑටි ගෙවත්තේ තිබේ. මගේ ගෙවත්ත මම ආරක්ෂා කර ගනිමි.

ඩී.ජී. රශ්මිණි කවිද්‍යා
3 ශ්‍රේණිය,
මප/රත්/ බැප්ටිස්ට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, රත්තොට

——————

අම්මා

දස මසක් කුස දරලා
මෙලොවට මා බිහි කරලා
අත පය හරි හැටි හදලා
මා වැඩූ මගේ අම්මා

ලෙඩ වූ විට දෙනෙත අයා
නිදි මර මර උකුලෙ තියා
රස ආහාර දෙමින් උයා
වෙහෙසෙන මගේ අම්මා

දරු සුරතලයෙන් නෑවී
ඇඟ ලෙය කිරි කර දේවී ගුණයෙන් මහ මෙර සේවී
උතුම් කෙනෙකි අම්මා

දිල්නා සියත්මි
7 ශ්‍රේණිය ඒ
බියගම මධ්‍ය මහා විද්‍යාලය
දෙල්ගොඩ

——————–
මගේ අම්මා

මගේ අම්මාගේ නම ඉනෝකා. මගේ අම්මා ඉතා කඩිසර, දක්ෂ, යහපත් හා කාරුණික තැනැත්තියකි. ඇය සෑමවිටම සතුටින් සිටිනු දැකීම, මගේ ලොකුම සතුටයි. මම, මගේ අම්මාට පණ මෙන් ආදරය කරමි.

දෙනුවන් සඳක බණ්ඩාර
3 ශ්‍රේණිය
මප/මා/රත්තොට ආදර්ශ ප්‍රාථමික විදුහල
රත්තොට

—————
පොලිතින් රකුසෙකි අප සැම වනසන

පොලිතීන් යනු, ඛනිජතෙල් පිරිපහදුවෙන් පසු ඉවත් කරන ප්‍රාථමික පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය ආශි‍්‍රත නිෂ්පාදනයකි. එය ඉතා සාර්ථක හා පහසු ඇසුරුම් මාධ්‍යයකි. මිනිසා පොලිතීන් භාවිතයට කෙතරම් සමීප වී ඇත්ද යත්, භාවිතය අවම කිරීමට මිස සම්පූර්ණයෙන් නතර කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇත. පොලිතීන් මඟින් පරිසරයට හානි සිදුවන්නේ ඒවා බැහැර කිරීමේදී ය. පොලිතීන් මුළුමනින්ම දිරා යෑමට වසර 200ක් පමණ කල්ගත වන්නේ යැයි විද්‍යාඥයන් ගණනය කර ඇත. සියලුදෙනා අතින් අඛණ්ඩව පොලිතීන් පරිසරයට බැහැරවීම සිදුවන විට එයින් ඇතිවන හානිය නම් ගණනය කළ නොහැකි ය.

පොලිතීන්වලින් සිදුවන හානි ලෙස, පස දූෂණය වීම, ජලය දූෂණය වීම, කසළ ආහාරයට ගැනීමට එන අලින්, ගවයන්, මුවන්, කපුටන් ආදී සතුන් විවිධ රෝගාබාධවලට ලක්වී මිය යෑම, කානු පද්ධති අවහිර වීම නිසා මැසි මදුරුවන් බෝ වී විවිධ අපහසුතා ඇතිවීම යනාදී කරුණු දැක්විය හැකි ය. මෙම සියලු හේතු නිසා පාරිසරික සමබරතාව බිඳී යයි.
පොලිතීන් වෙනුවට භාවිත කළ හැකි විකල්පවලින් කිහිපයක් ලෙස, පන් වර්ගවලින් තනාගන්නා මලු, කඩදාසි දවටන. රෙදිමලු, නෙලුම්, කැන්ද, දියහබරල, කෙසෙල් ආදී ශාක පත්‍රවලින් සහ පොල්, තල් ආදී ශාක පත්‍රවලින් තනාගන්නා මලු යනාදිය දැක්විය හැකි ය. මෙම විකල්ප ක්‍රම අනුගමනය කළහොත් මිනිසා හා පරිසරය පොලිතීන් රකුසාගෙන් බේරා ගැනීමට අපට හැකිවේ.

භාවිතය අවම කිරීම හෙවත් වරක් භාවිත කළ පොලිතීන් මලු නැවත භාවිතය මඟින් ද පරිසරයට මුදා හැරෙන පොලිතීන් ප්‍රමාණය සීමා කළ හැකි ය. එහෙත් ඉන් සිදුවන දීර්ඝකාලීන අපහසුතා සහ හානි ගණනය කළ නොහැකි ය. අප සියලු දෙනාගේම පැවැත්ම තීරණය වන්නේ පරිසරය සුරැකුනහොත් පමණි. අන් කිසිදු සතකු පරිසරය විනාශ නොකරන නිසා පරිසරය සුරැකීමේ වගකීම මුළුමනින්ම ඇත්තේ මිනිසාට පමණි. පොලිතීන් යනු, මිතුරු වෙසින් එන සතුරෙකි. එය අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් කරගෙන ඇත්තේ ද අපම ය. එය අනවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස බැහැර කළයුත්තේ ද අපම ය. එබැවින් මිහිමව සනසන සැබෑ දරුවන් ලෙස අපි සියලුදෙනා පොලිතීන් භාවිතයෙන් ඈත් වෙමු. නොදිරන පොලිතීන් භාවිත නොකරන ඔබගේ නාමය නොදිරන්නේ ය.

එම නිසා පුංචි අපිත් පොලිතීන්වල අනතුරුදායක බව අන් අයටත් කියාදී අප ද පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන් නවතා දමා ඒ වෙනුවට විකල්ප ක්‍රම භාවිත කිරීමට අද සිටම හුරු වෙමු.

කේ.ඒ. මිනුල මින්සර
8 ශ්‍රේණිය
හ//ගැටමාන්න විජය ජාතික පාසල
ගැටමාන්න

——————
මම සමනලයෙක් වෙමි

මම ලස්සන සමනලයෙක් වෙමි. මට පියාපත් තිබේ. මගේ පියාපත් රතු, සුදු, කළු, සහ නිල් යන පැහැයෙන් අලංකාර වී ඇත. මාව පාට පාට මල් පිරුණු තැන්වල දැකිය හැකි ය. මම ලස්සන මල්වලට හරි ආසයි. මගේ ආහාරය මල් පැණි ය. මට පාද තිබුණත් මා ඇවිදින්නේ නැත. මට පියාසර කළ හැකිය. මම රංචු වශයෙන් හෝ තනි තනිව පියාඹමි. මම ඉතා අහිංසක කෘමි සතෙක් වෙමි. මගේ ජීවිතයේ මුල් කාලය දළඹුවකු ලෙස ජීවත් වී පසුව සමනලයකු වන්නෙමි. මට හැමෝම ආදරෙයි. මම පරිසරයට ආදරෙයි.

මොහොමඩ් ඉනාම්
සහිරා විදුහල,
ගම්පොළ

——————–
නායකත්වයේ වගකීම

නායකයකුට නිවැරැදි දැක්මක් තිබිය යුතු ය. වර්තමානයේ සිටින නායකයන් තමන්ගේ වගකීම් පැහැර හැරීම, උඩඟුවීම වැනි අයහපත් ගුණාංගවලින් පිරී ඇත. අන්‍යයන්ට උපදෙස් ලබාදීම පමණක් නොව තමන් ද ඒ උපදෙස් පිළිපැදිය යුතු ය. නායකයකුගේ වගකීම වනුයේ යහපත් අදහස්, ආකල්ප, අත්දැකීම් අන්‍යයන්ට බෙදා දීම සහ සමාජගත කිරීමයි.
නායකයකු බිහිකිරීම අපහසු දෙයකි. ඒ සඳහා ගුරුවරුන්ගේ, වෙනත් පුද්ගලයන්ගේ සහ මව්පියන්ගේ නොමඳ දායකත්වය ලබා දිය යුතු ය.
නායකයන් යනු විශාල වූ වගකීමක් දැරිය යුතු පුද්ගලයෙකි. ඒ සඳහා මනා හික්මීමක්, ඉවසීමක්, අධිෂ්ඨානයක් සහ ඉලක්කයක් නායකයකු තුළ තිබිය යුතු ය.
නිවැරැදි මොහොතේ, නිවැරැදි ස්ථානයේදී තමන්ගේ දුරදක්නා නුවණ භාවිතකර අන්‍යයන්ට උදව් උපකාර කිරීම නායකයකු තුළ තිබිය යුතු යහපත් ගුණාංග හා වගකීම් වේ.

සඳුන් ඉමන්ත දෙවනගල
7 වැනි ශ්‍රේණිය,
කෑ /ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය
කෑගල්ල

———————
රාත්‍රී අහස

රෑ අහසේ තරු පිරිලා. හඳ ලස්සනට පායලා. කළුවරක් ඇත්තේ ම නැහැ. අහස මල් වට්ටියක් වගේ. තරු නිවි නිවී දිලෙනවා. මට අහස දිහාම බලන් ඉන්න ආසයි. හඳහාමි රන් තැටියක් වගේ.

පී.ඕෂධී ප්‍රවීනා
3 ශ්‍රේණිය කඩුපුල්
මප/මා/ රත්තොට ආදර්ශ ප්‍රාථමික විදුහල
රත්තොට


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department