“මා වැනි තවත් තුන්දෙනකු සිටියානම් කන්ද උඩරට එක සුද්දෙක්වත් ඉතුරු කරන්නේ නැහැ…!”
මේ අභීත වීර ප්රකාශය සිදු කරන්නේ අපේ රටේ අභිමානය වෙනුවෙන්, ස්වාධීනත්වය වෙනුවෙන් ඉන්ද්රඛීලයක් සේ නැගී සිටි වීර පුරන් අප්පු ය. වීර පුරන් අප්පු ඉංග්රීසින්ට එරෙහිව අසිපත එස වූ අභීත මිනිසෙකි. 1848දී දඹුලු විහාරයේදී කුඩාපොළ හිමියන් විසින් “වලිසිංහ රජු” ලෙසින් ගෞරව නාමයෙන් කිරුළු පැලැන්දුවේ ද පුරන් අප්පුට ය.
ඉංග්රීසි ජාතිකයන් විසින් සිංහල ජාතියට සහ දේශයට එල්ල කළේ අපමණ පීඩාවකි. අසරණ අපේ මිනිසුන් අනේක විධ දුක් දොම්නස් විඳින විට වීර පුරන් අප්පු සිංහල ජාතිය හරහා හමා ගිය සිසිල් සුළඟක් බඳු විය. ගලා ගිය සිසිල් ගඟුලක් බඳු විය. එය ඒ තරම්ම ජාතියට අස්වැසිල්ලක් විය.
ඉංග්රීසි ජාතිකයන් විසින් රට වැසියාගේ ආර්ථික සූරා කෑම සඳහා පැන වූ තුවක්කු බද්ද, ඔරු බද්ද, බලු බද්ද වැනි බදුවලට එරෙහිව පුරන් අප්පු හඬ නැඟී ය. එමෙන්ම පාලකයන් විසින් හඳුන්වාදුන් මුඩුබිම් පනත නිසා අපේ ජනතාවගේ පාරම්පරික ඉඩ කඩම් අහිමි විය. ජනතාව ඉතා අසරණ විය. පුරන් අප්පු ඒ අසරණ ජනතාව එකම කොඩියක් යටට එක්කර නායකත්වය ලබා දී පාලක පංතියට දැවැන්ත අභියෝගයක් එල්ල කළේය.
1848 දී ඉංග්රීසින්ට එරෙහිව නිදහස් සටන මෙහෙය වූයේ පුරන් අප්පු ය. ඒ මාතලෙන් ය. මහතලා සටන ලෙසින් හඳුන්වන්නේ ද එයයි. මාතලේ මැක්ඩොවල් කොටුවට පහර දී පුරන් අප්පු ජය ලැබී ය. ඉන්පසු තම සේනාව සමඟින් ඔහු කන්ද උඩරටට ගියේ ය. කන්ද උඩරට ජනතාව තමන්ගේ රජු ලෙස පුරන් අප්පුව පිළගනු ලැබී ය. එහෙත් සෙසු නායකයන්ගෙන් පුරන් අප්පුට පැහැදිලි සහයෝගයක් ලැබුණේ නැත. එමෙන්ම ඉංග්රීසින් සතු වූ ඉතා නවීන ආයුධ පරයන්නට තරම් ශක්තියක් සිංහලයන්ට තිබුණේ නැත. එනිසා තාක්ෂණය හමුවේ වීර පුරන් අප්පු පරාජය විය.
වීර පුරන් අප්පු ඉපදුණේ 1812 නොවැම්බර් මස 7 දින මොරටුවේදී කවුරුත් නොදන්නා පුංචි බිළිඳකු ලෙසිනි. එහෙත් 1848 අගෝස්තු 8 වැනිදා පුරන් අප්පු ඉංග්රීසින්ගෙන් වෙඩි කා මිය යන්නේ රටම ආදරය කරන ජාතික විරුවකු ලෙසිනි.
ජගත් අබේකෝන්