Home පාසල් පුවත් නිසි වේලාවට සෑම දෙයක්ම ඉටු කිරීම නායකයාගේ වගකීමක්

නිසි වේලාවට සෑම දෙයක්ම ඉටු කිරීම නායකයාගේ වගකීමක්

මහින්ද ප්‍රාථමික විද්‍යාලය - එරියාව ඇහැටුවැව

by lakehouse
0 comment

ප්‍රධාන ශිෂ්‍ය නායකයා – නෙතික නදෙව් වන්නිනායක

ප්‍රධාන ශිෂ්‍ය නායිකාව – නොමේෂා දෙව්මිණි සමරසිංහ

නායකයකු හෝ නායිකාවක කියන්නේ නිසි වේලාවට නිසි කාර්යය ඉටු කරන්නෙක්. වර්තමානයේ බොහෝ නායක නායිකාවන් තමන්ට පැවරුණු කාර්යය නිසි වේලාවට ඉටු කරන්න අසමත් වෙනවා. මේ නිසා සෑම නායකයකුම තමන්ට පැවරුණු කාර්යය නිසි ලෙස නිසි වේලාවට ඉටු කරන්න සමත් විය යුතුයි. තමන්ට පැවරුණු නායකත්ව කාර්යයන් නිසි ලෙස පුරුදු පුහුණු වන නායකයකු සහ නායිකාවක පිළිබඳ කතාවක් කීමටයි මේ සූදානම. ඔවුන් මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවයි.

මගේ නම නෙතික නදෙව් වන්නිනායක. මට ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර ලැබුණ දවසේ ලොකු සතුටක් ඇති වුණා. මම නායකත්වයක් දරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මගේ ඒ ආසාව ඉටු වුණා. මගේ අම්මායි තාත්තායි දෙන්නා ඒ සඳහා මාව උනන්දු කළා. ඒ වගේම ඒ වෙනුවෙන් කරන රාජකාරි පිළිබඳ මට අවබෝධයක් ලබලා දුන්නා. මගේ පාසලේ ගුරුවරුත් එහෙමයි. ඒ අය සෑම විටම මාව අගය කළා. ඒ වගේම වගකීම් පැවරුවා. ඒ නිසා මට වගකීම් දරන්න බයක් දැනුණේ නැහැ. උදෙන්ම ඉස්කෝලෙට එනවා. අනෙක් අයට මම පැවැරුව වැඩ කළා ද කියලා බලනවා. කවුරු හරි වැඩ කරලා නැතිනම් ඒ අය වැඩ කළේ නැත්තේ ඇයි කියලා කරුණාවෙන් විමසා බලනවා. බොහෝ වෙලාවට ආදරයෙන් කරුණාවෙන් කළ යුතු දේ විමසනවා. මම අපේ අනෙක් ශිෂ්‍ය නායක නායිකාවන්ට මෙන්ම පාසලේ අනෙක් ළමයින්ටත් කළ යුතු දේවල් තේරුම් කරනවා. බොහෝ දෙනා තමන්ගේ වගකීම ගැන තේරුම් ගන්නවා. ඒත් සමහරු නම් තේරුම් අරගෙන ඒවා උනන්දුවෙන් කරගෙන යන්නේ නැහැ. මේ අපේ පාසල කියන හැඟීමෙන් තමයි අපි වැඩ කරන්න ඕනේ. එවැනි හැඟීමක් නැතිනම් අපි අපේ පාසල ගැන එවැනි හැඟීමක් ඇති කරගන්න ඕනේ. නැතිනම් අපට පාසල වෙනුවෙන් කළ යුතු කාර්යය කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ.”

‘ශිෂ්‍ය නායකයකුට පාසලේ විනය සම්බන්ධ වගකීමක් තියෙනවා. අපේ පාසලේ විදුහල්පතිතුමා අනිල් ගාමිණී විජේරත්න මහතා මේ හැම දෙයක් ගැන අපව දැනුම්වත් කරනවා. ඒ වගේම පාසලේ ශිෂ්‍ය නායක කණ්ඩායම භාර ගුරු මහතා නුවන් දර්ශන ගුරුතුමාත් අපට සෑම දෙයක් ගැනම හොඳීන් මඟ පෙන්වනවා. ඩී. එම්. එස්. එස්. දිසානායක ගුරු මහත්මියත් අපේ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. ශිෂ්‍ය නායක තනතුරේ වැඩ කටයුතු මෙන්ම පාසලේ අධ්‍යාපනික වැඩ කටයුතුත් මම ඉතා ඕනෑකමින් කරගෙන යනවා. සිංහල, ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයන්වලට මම ගොඩක් කැමැතියි. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයකු වීමයි. ඒ සිහිනය ඉටු කරගැනීම මගේ අපේක්ෂාවයි.”

” මගේ නම නොමේෂා දෙව්මිණි සමරසිංහ. මම මේ අවුරුද්දේ තමයි ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරට තේරී පත් වුණේ. මම මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කරගන්නේ නැතිව ශිෂ්‍ය නායක තනතුරේ වැඩ කටයුතු කරගෙන යනවා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කියන්නේ අනෙක් අයට නිරන්තරයෙන්ම ආදර්ශයක් ලැබෙන අයුරින් වැඩ කටයුතු කරන කෙනෙක්. එනිසා මම ඒ ගැන නිරතුරුවම සැලකිලිමත් වෙනවා. උදේ පාන්දරින් පාසලට පැමිණෙනවා. එහෙම ඇවිත් මම අනෙක් අයට පැවරූ වැඩ නිසි ලෙස ඉටු කරනවා ද කියලා හොඳීන් සොයා බලනවා. පාසලේ පන්තියක ගුරුවරයකු හෝ ගුරුවරියක නැති වෙලාවට ඒ පන්තිය ගැන හොඳීන් සොයා බලා ඒ අයට තනිවම කරගෙන යා හැකි පාඩමක් පවරනවා. ගුරුවරයකු හෝ ගුරුවරියක නැති වේලාවට ළමයින් නිකරුණේ කෑ ගහනවා. ඒ තත්ත්වයෙන් ඒ අය වළක්වලා පාඩමක යෙදවීම අපේ රාජකාරියක් කියලා තමයි මම හිතන්නේ. මම කුඩා පන්තිවලදී පන්ති නායක තනතුරු දරලා තියෙනවා. එයින් මට නායකත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අනෙක් අය සමඟ සහයෝගයෙන් වැඩ කරන ආකාරය පිළිබඳ ප්‍රයෝගික අත්දැකීමක් ලබා ගැනීමටත් මට හැකියාව ලැබුණා. මම සෑම විෂයයක්ම ඉතා ඕනෑකමෙන් හදාරනවා. මම සෑම දෙයක්ම කරන්නේ කාලසටහනකට අනුවයි. ඒ නිසා මගේ අතින් වැඩ අතපසු වන ප්‍රමාණය අඩුයි. අනාගතයේදී වෛද්‍යවරියක් වීම මගේ බලාපොරොත්තුවයි. ඒ බලාපොරොත්තුව ඉටු කරගැනීමට ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු කරනවා.”

ඔවුන්ගේ අනාගතයේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා යැයි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department