Home » Blog » පරිසරය සරසන සමනල්ලු

පරිසරය සරසන සමනල්ලු

by lakehouse
0 comment

පුංචි දුවලා පුතාලා පාට පාට සමනලුන්ට හරිම ආදරෙයි නේද? එයාලත් පුංචි ඔයාලා වගේම හරිම අහිංසකයි. අද අපි පෝස්ටරයෙන් ගෙවත්තේදී දක්නට ලැබෙන සමනල වර්ග කිහිපයක් ගැන විස්තර ටිකක් බලමු නේද? ශ්‍රී ලංකාවේ සමනල් විශේෂ 245ක් පමණ ජීවත් වන අතර, එයින් විශේෂ 23ක් ශ්‍රී ලංකාවටම ආවේණික සමනල්ලු වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 9%කි.

සියොත්පියා (Troides darsius)

ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා ලෙස විරුදාවලී ලත් සියොත්පියා Sri Lankan Birdwings ලෙස හඳුන්වයි. සියොත්වැන්නා ලෙස ද හඳුන්වන මෙම සමනලයා ජීවන චක්‍රයේ කිසිම විටෙක පළිබෝධකයකු නොවීම, ශ්‍රී ලංකාව පුරා හොඳින් ව්‍යාප්තිය සිදුවීම හා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වීම යන කරුණු මත ජාතික සමනලයා ලෙස නම්කර ඇත. ගැහැනු සමනලයාට වඩා තරමක් කුඩා පිරිමි සමනලයාට තද කළු පැහැති ඉදිරි පියාපත් යුගලක් තිබෙන අතර, පසුපස පියාපත් යුගලය මත රන්වන් පැහැති කැපී පෙනෙන පැල්ලම් දෙකක් දක්නට ලැබේ. පිරිමි සමනලයාට වඩා ආකර්ෂණීය පෙනුමක් සතු ගැහැනු සමනලයා ප්‍රමාණයෙන් ද විශාල ය. කළු පැහැති ඉදිරි පියාපත් යුගලක් හා පසුපස පියාපත්වල ක්‍රමයෙන් මැකී යන ලෙසට නිර්මාණය වූ රන්වන් පැහැති පැල්ලම් දක්නට ලැබේ. එසේම ශරීරයේ දෙපසින් ද කහ පැහැති ලප දක්නට ලැබේ. පහතරට තෙත් කලාපයේ බහුලව ව්‍යාප්ත වී ඇති මෙම සමනල විශේෂය රත්මල්, ඉද්ද, වද වැනි මල් සඳහා ආකර්ෂණය වන අතර, සාමාන්‍ය ගෙවතුවල ද බහුලව දක්නට ලැබේ. තවත් විශේෂ කරුණක් වන්නේ මෙම සමනලයා බිත්තර දැමීම සඳහා ‘සස්සද’ නම් ඖෂධීය ගුණයෙන් යුතු ශාකය පමණක් තෝරා ගැනීමයි.

හෙළ සෙව්වන්දියා (Pachliopta jophon)

Ceylon Rose ලෙස හඳුන්වන මෙම සමනලයා ද ශ්‍රී ලංකාවට ආවේණික සමනල් විශේෂයකි. වේගවත් පියාසර රටාවක් පෙන්වන අතර, දිය කඩිති සහ මඩ සහිත තැන්වල ගැවසෙයි. පියාපත් සාපේක්ෂව විශාල වන අතර, ඒවා අලංකාර වර්ණයෙන් යුක්ත ය.

ඉන්ද්‍රීය කාකයා (Euploea core asela)

Common Indian Crow  ලෙස හැඳීන්වෙන මෙම සමනලයා ඉතාමත් සුලබව දැකිය හැකි අතර, දුඹුරු පැහැයෙන් යුක්ත සමනලයන් ප්‍රමුඛව දක්නට ලැබේ. සෙමින් පියාසර කරමින් සුළඟේ පාවී යෑමට උත්සාහ කරන මෙම සමනලයා කලබල වූ විට පමණක් වේගයෙන් පියාසරකර නැවත සුපුරුදු රටාවට හුරුවේ. ධාරක ශාක රාශියක් මොවුන්ට ඇති අතර, එම නිසා ව්‍යාප්තිය ද

වැඩි ය. එම ශාක වන්නේ නිතුල්ල, මහ නුග, ජපන් අරලිය සහ කනේරු ආදියයි. කෝෂය අලංකාර දිලිසෙන බවින් යුතු ය.

දිරිසියා (Byblia ilithyia)

Joker  ලෙස හැඳින්වෙන මේ සමනලයා තැඹිලි පැහැති වර්ණයෙන් යුක්ත වන අතර, මොවුන්ටම විශේෂ වූ පියාසර රටාවක් පෙන්නුම් කරයි. කලබල වූ විට වේගයෙන් පියාඹන දිරිසියාගේ පියාපත් විවෘතව ඇති විට මිනිස් සිනහ මුහුණක හැඩය ගනී. වැල් කහඹිලියා ධාරක ශාකය වෙයි.

නැව්රිසියා (Ariadne ariadne minorata)

Angled castor  ලෙස හැඳින්වෙන මෙම සමනලයා තැඹිලි වර්ණයෙන් යුතු වන අතර, රිද්මයානුකූලව පියාසර කරයි. කලබල වූ විට ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන මෙම සමනලයාගේ ධාරක ශාකය වන්නේ වැල් කහඹිලියා ශාකයයි. මෙම සමනලයාගේ කෝෂය වියළි පත්‍රයකට සමාන ය.

මහසිව්වා (Hypolimnas bolina)

Great eggfly ලෙස හැඳින්වෙන මෙම සමනලයාගේ පියාපත් විවෘතව ඇතිවිට පිරිමි සමනලයාගේ පූර්ව හා අපර පියාපත්වල නිල් පැහැති සලකුණු දැකිය හැකි අතර, ගැහැනු සමනලයාගේ මෙම සලකුණු පූර්ව පියාපතෙහි පමණක් යන්තමින් දක්නට ලැබේ.

පත්‍රවල කෙළවර වසා සිටීමට උත්සාහ කරන අතර, එහි සිට අව්ව තපින ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. පත්‍රය මත සිටින විට පියාපත් වසාගෙන සිටින අතර, තමන් ආරක්ෂිත යැයි හැඟී ගිය පසු ක්‍රමයෙන් පියාපත් විවෘත කරයි. මහසිව්වා වර්ගයේ සමනල්ලු වේගයෙන් පියඹා ගිය ද තැන තැන වසමින් පියඹා යති. එමෙන්ම මේ වර්ගයේ සමනල්ලු තමන් වසන සීමාවේම නිතරම ගැවසෙති.

නීල ගෝමී (Graphium sarpedon luctatius)

Common blue bottle ලෙස හැඳින්වෙන මෙම සමනලයා පෑපිලියොනිඩේ කුලයට අයත් වන අතර, ගැහැනු හා පිරිමි සමනලයන් වර්ණයෙන් සමාන ය. ප්‍රමාණයෙන් ගැහැනු සමනලයා මඳක් විශාල වන අතර, ගඳපාන මල් ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ. තෙත් බිම් ආශ්‍රිතව ව්‍යාප්තිය බහුල නීල ගෝමී සමනලයාගේ ධාරක ශාකය කපුරු ය. හිරු එළිය ඇති විට පියාසර කිරීම වේගවත් වන අතර, විවෘත ප්‍රදේශවල හා ගෙවතුවල දැකිය හැකි ය.

වෙස්ගත්තී (Papilio polytes)

Common mormom  ලෙස හැඳීන්වෙන මෙම සමනලයා පැපිලියොනිඩේ කුලයට අයත් ය. පිරිමි හා ගැහැනු සතුන් වර්ණයෙන් සමාන වන අතර, පියාසර කිරීම වේගවත් ය. තෙත් බිම් ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන අතර, ධාරක ශාකය වන්නේ කරපිංචා ශාකයයි.

සේලරුවා (Neptis hylas varmona)

Common sailor ලෙස හැඳීන්වෙන මෙම සමනලයා කළු සහ සුදු පැහැයක් ගනී. සේලරුවාගේ ධාරක ශාකය වන්නේ ඇපල ශාකයයි. මොවුහු පත්‍රය කෙළවර එක බිත්තරයක් පමණක් දමති.

නීල ගෝමරා (Tirumala limniace leopardus)

Blue tiger  ලෙස හඳුන්වන මෙම සමනලයා නිල් සහ කළු පැහැයෙන් යුතු සමනලයෙකි. මොවුන්ගේ පියාසර කිරීම වේගවත් නොවන අතර, සුළඟේ පාවී යන ආකාරයක් දක්නට ලැබේ. එමෙන්ම මොවුන්ගේ ධාරක ශාකය කිරි අඟුණ වැල්‍ වන අතර, එහි පත්‍රය යටි පැත්තේ මොවුහු බිත්තර දමති. මොවුහු දිගටි හැඩයේ බිත්තර විශාල ප්‍රමාණයක් එක බැගින් දමති.

ලොවිරිසියා (Cupha erymanthis placida)

Rustic ලෙස හැඳින්වෙන මෙම සමනලුන් තැඹිලි පැහැයක් ගන්නා අතර, වේගයෙන් පියඹා යෑමට මොවුහු කැමැත්තක් දක්වති. මොවුහු අව්ව තැපීමට ප්‍රිය කරති. මොවුහු තමන් වාසය කරන ප්‍රදේශයේ පියඹා යන අතර, නැවත නැවතත් එකම ස්ථානයට පැමිණෙති.

හොඩලිසියා (Parthenos sylvia cyaneus)

Clipper  ලෙස හැඳින්වෙන මෙම සමනලයා නිමිෆාලිඩේ කුලයට අයත් ය. නිල් පැහැති ඉතා අලංකාර සමනලයෙකි. මොවුහු අත්තටු සම්පූර්ණයෙන් ගැසීමක් සිදු නොකර පියාසර කරති. වනාන්තරවල ඉතා ඉහළ පියාසර කරන මෙම සමනලයා කලබල වූ විට ඉතා වේගයෙන් පියඹා යයි.

වියෝලා (Acraea violae)

Tawny coster  ලෙස හැඳීන්වෙන තැඹිලි පැහැයට හුරු සමනලයෙකි. මොවුහු සෙමින් පියඹා යෑමට කැමැත්තක් දක්වති. ගැහැනු සමනලයා පැහැයෙන් අඩු අතර, පත්‍ර යටි පැත්තේ බිත්තර දමයි. පොකුරු වශයෙන් දමන බිත්තර කහ පැහැති ය. ගෝලාකාර ය. වැල්වර්ග ආධාර කරගෙන ළා කහ පැහැති අලංකාර කෝෂ මොවුහු සාදති.

අඳුරු ලප පඳුරු ගුරුවා (Mycalesis mineus polydecta)

Dark-brand bushbrown  ලෙස හැඳින්වෙන දුඹුරු පැහැති මෙම සමනලයා සෙමින් පියාසර කිරීමට ප්‍රිය කරන අතර, වියළි කොළ සහිත ස්ථාන, කුණු වූ පලතුරු මත හා අඳුරු ස්ථානවල ගැවසීමට ප්‍රිය බවක් දක්වයි. ඉතා කුඩා බිත්තර දමන මොවුන්ගේ ආධාර ශාකය වන්නේ ගොන් තණකොළ ය. පසුපස පියාපත්වල පහළ තිත් සලකුණු එක පෙළට දක්නට ලැබේ.

මහදිවිපුල්ලියා (Phalanta phalantha)

Leopard ලෙස හැඳින්වෙන මෙම සමනලයා පියාසැරිය ඉතාමත් වේගයෙන් සිදු කරයි. නැවත නැවත තමන් වෙසෙන ප්‍රදේශයේ එකම ස්ථානයකට පැමිණීම සිදු කරන මොවුහු දිවා කාලයේ තදින් හිරු එළිය වැටී ඇති විට සක්‍රියව පියාසර කරති. ධාරක ශාකයන් වන්නේ උගුරැස්ස හා ලොවි ය. බිත්තරවල රේඛා තිබේ.

මහ නීලයා (Papilio polymnestor)

Blue mormon ලෙස හැඳීන්වෙන මෙම සමනලයා ලංකාවේ සිටින දෙවැනි විශාලතම සමනලයා වන අතර, ඉතාමත් අලංකාර, දැකුම්කලු සමනලයෙක් ලෙස හඳුන්වයි. නීල පාරින්දයා,නිල් පැපිලියා ලෙසත් හඳුන්වන මෙම සමනල විශේෂය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ උස ප්‍රදේශවල සුලබව දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ බහුලව ව්‍යාප්ත වී සිටින මෙම සමනල විශේෂය සදාහරිත වනාන්තර, අධික වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවල දක්නට ලැබේ. මොවුහු ඇළ දොළ සහිත ප්‍රදේශවල සැරිසැරීමට කැමැත්තක් දක්වන අතර, හිරු එළියට ද ප්‍රිය කරති.

මොවුන්ගේ හිස, උර සහ උදරය කළු පැහැති ය. ගැහැනු සමනලයාගේ ශරීරයේ ඉහළ පියාපත් යුගලයේ මැද ප්‍රදේශය වෙල්වට් පැහැයක් ගන්නා අතර පහළ පියාපත් යුගලය සුදු පැහැයෙන් යුක්ත වන අතර, කළු තිත් විසිරී පවතී. පිරිමි සමනලයා ගැහැනු සමනලයාට වඩා ප්‍රමාණයෙන් කුඩා ය. වර්ණයෙන් දෙදෙනා සමාන වුවත් පිරිමි සමනලයාගේ පහළ පියාපත් යුගලයේ නිල් පසුබිමේ කළු තිත් මෝස්තර දක්නට ලැබේ. වේගවත් ගමන් රටාවක් හිමි මොවුහු ඒක දිශානුගත පියාසැරියක් පෙන්නුම් කර, නිතරම ගමන්මඟ වෙනස් කරමින් පියාසර මාවතේ ඉහළට හා පහළට ගමන් කරති. පැඟිරි වර්ගයට අයත් ශාක, මොවුන්ගේ ධාරක ශාක වන අතර, මල්වල පැණි බීමට ද රුචියක් දක්වයි.

මයුරුහේවා (Junonia iphita pluviatalis)

Chocolate soldier ලෙස හැඳීන්වෙන දුඹුරු පැහැති සමනලයෙකි. අව්ව තැපීමට ප්‍රිය කරන මොවුන්ට වේගයෙන් පියඹා යෑමට හැකියාවක් ඇත. ගැහැනු සමනලයාගේ පසු පැත්තේ සුදු පැහැති සලකුණු දක්නට ලැබේ. ධාරක ශාකය නිල් පුරුක් වේ.

අළුපසයා (Junonia atlites)

Grey pansy  ලෙස හැඳීන්වෙන මෙම සමනලයා අළු පැහැති ය. අව්ව තැපීමට වඩා රුචි මොවුහු කලබල වූ විට වේගයෙන් පියඹා යති. අනෙක් සමනලුන් තමන් සිටින ප්‍රදේශයට පැමිණි විට ඔවුන් හඹාගොස් පලවා හැරීමට අළුපසයෝ උත්සාහ කරති.

සිටානෝ (Euthalia aconthea vasanta)

Baron ලෙස හැඳීන්වෙන මෙම සමනලයා දුඹුරු පැහැති ය. ගැහැනු සමනලයාගේ පූර්ව පියාපත්වල සුදු තීරුවක් පහළට දැකිය හැකි අතර, පිරිමි සමනලයාගේ එවැන්නක් දැකිය නොහැකි ය. ධාරක ශාකය අඹ වන අතර, මොවුහු පලතුරු මත යැපෙති. ඉතා වේගයෙන් පියඹා යෑමට කැමැත්තක් දක්වති.

 

මිහී දීගොඩගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department