Home » Blog » දේවානම්පියතිස්ස රජතුමා

දේවානම්පියතිස්ස රජතුමා

by lakehouse
0 comments

 

ආදරණීය දුවේ පුතේ, අප මෙතෙක් කාලයක් රාජාවලියේ රජවරුන් පිළිබඳ කතා පුවත් පුංචි ඔබට කියා දුන්නා. ඉතින් දුවේ පුතේ, අදත් අප ඔබට කියා දීමට සූදානම් වන්නේ එවැනිම කතා පුවතක්. ඒ තමයි දේවානම්පියතිස්ස රජතුමාගේ කතා පුවත. මේ කතා පුවත නම් සමහර දුවලා පුතාලා දන්නවාත් ඇති. ඒ්වගේම තවත් අය නොදන්නවා විය හැකියි. ඒ සෑම දෙනාගේ දැන ගැනීම සඳහා අප එතුමාගේ කතා පුවත මෙවර ඉදිරිපත් කරනවා. දේවානම්පියතිස්ස කියන්නේ මුටසීව රජතුමාගේ සහ ස්වර්ණපාලි දේවියගේ පුතුණුවන්ටයි. එතුමාගේ නාමය අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි. ඒ් කියන්නේ එතුමාගේ රාජ්‍ය කාලයේදී තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුද්ධාගම ගෙන එනු ලැබුවේ. ඉතින් දුවේ පුතේ, ඒ්ක ඉතිහාසගත වූ කතා පුවතක්.

මුටසීව රජුගේ රාජ්‍ය කාලයේ සිටම ඉන්දියාව සමඟ ලංකාව මිතුරු සබඳතා පැවැත්වූවා . ඒ කාලයේ ඉන්දියාවේ රාජ්‍යය කළේ අශෝක අධිරාජයයි. ඉතින් දුවේ පුතේ,
දේවානම් පියතිස්ස රජතුමා රජ වූවා කියලා විශේෂයක් වූයේ නැහැ මේ මිත්‍රත්වය මෙලෙසම පවත්වාගෙන ආවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අශෝක රජු මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට එව්වා. එහි අරමුණක් තිබුණා. ඒ තමයි ලංකාවේත් බුදු සසුන ව්‍යාප්ත කිරීම.
එදා හෙළ දිව කිසිදු ධර්මයක් තිබුණේ නැහැ . සතුන් මරමින් ගිනිදෙවියන්ට පූජා දෙමින් ගහ කොළවලට වන්දනාමාන කරමින් මිනිසුන් අඳුරේම ජීවත් වුණා. මේ කාලයේ රජවරුන්ගේ මෙන්ම මහා ඇමතිවරුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ සතුන් දඩයම් කිරීමයි. මේ කාලයේදී රජ කෙනකු සතුන් දඩයමේ යෑම ද උත්සවයක් ආකාරයට සැමරුවා
ඉතින් දුවේ පුතේ, එදා තිබුණු මේ සතුන් දඩයම් කිරීමේ උත්සවයට තිස්ස රජතුමා ඇතුළු පිරිසත් සහභාගි වුණා. මෙහිදී රජතුමා පිරිසගෙන් වෙන්වී වනාන්තරය ඇතුළට ගියා. මෙහෙම යන විට රජතුමා ඉදිරියෙන් මුවකු දුවන්න පටන් ගත්තා. රජතුමා ද මුවා පසුපස දුවන්න පටන් ගත්තා. එවිට කවුදෝ “තිස්ස තිස්ස ” යනුවෙන් තමන්ගේ නම කියනු රජතුමාට ඇසුණා. රජතුමා නැවතුණා. වටපිට බැලුවා. රජතුමාට දකින්න ලැබුණේ කසා වතින් සැරසී මිහින්තලා ගල මුදුනේ වැඩ සිටින මිහිඳු මහා රහතන් වහන්සේයි. මෙහිදී මිහිඳු හිමියෝ තිස්ස රජතුමාගේ නැණවත් බව පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න කිහිපයක් ඇසුවා. මෙයින් රජතුමා ප්‍රඥාවන්ත බව දැන ගැනීමෙන් පසු චුල්ලහත්ථි
පදෝපම සූත්‍රය දේශනා කළා. මිහිඳු මාහිමියන් කෙරෙහි පැහැදුණු රජතුමා මහමෙව්නා උයන මිහිඳු හිමියන්ට පූජා කළා. මහමෙව්නා උයන පිදීම ලංකා ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව ලෙස හඳුන්වනවා.
රජතුමා බුදුදහමට කරන ලද අනුග්‍රහය නිසා අනුලා දේවිය ඇතුළු පන්සීයක් කාන්තාවන් පැවිදි වීමට තීරණය කළා. එහෙත් මේ වන විට ලංකාවේ මෙහෙණි සස්න නොතිබුණු නිසා මිහිඳු හිමියන්ගේ නැඟණිය සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කළා. ඇය පැමිණෙන විට ශ්‍රී මහබෝධි ශාඛාව ද රැගෙන පැමිණියා.

නදී

(තවත් රාජ්‍ය සමයක පුවතක් ලබන සතියෙන්)


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department