ආදරණීය දුවේ පුතේ, අද අප ඔබට කියන්න සූදානම් වන්නේ ඌව වෙල්ලස්ස කැරැල්ලේ වීරයා පිළිබඳයි. ඉතින් දුවේ පුතේ කියවලා බලන්නකෝ…
ඒ කාලයේ අපේ රටේ හිටියේ බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයායි. ඒ කාලයේදී රට ගැන නොයෙක් නොයෙක් සාකච්ඡා පැවැත්වුණා.මේ අතරතුරේ වර්ෂ 1817 අගෝස්තු 13 වැනිදා බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා සමඟ සිංහල නායකයන් සාකච්ඡා කළා. මේ සාකච්ඡාවෙන් පසු කැප්පෙටිපොළ නැවත දළදා මාලිගාවට පැමිණියා. ඒ අවස්ථාවේදී පියගැටපෙළෙහි යන කුහුඹු රැළක් දෙස බලාගෙන සිට කවුදෝ කෙනකු කියූ කවියක් කැප්පෙටිපොළගේ හිතේ හොඳීන් තැන්පත් වුණා.
” අනේ කුහුඹුවනේ – තොපට රජෙක් ඉන්නේ
මොනවාද කරන්නේ- අපේ කරුමේ අපට වන්නේ
රජකු ලැබුණෝතින්- එදා කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම්- සාදු නාද ගිගුම් දෙන්නම්”
1817 නොවැම්බර් මස 1 වැනිදා ඌවත් වෙල්ලස්සත්, කැප්පෙටිපොළ මහ දිසාවේ යටතට පත්කළ බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා තව ද යුද හමුදාවත් අවි ආයුධ භාර දුන්නේ වෙල්ලස්සේ වෙඩි හඬ නවතන ලෙස ඉල්ලමිනුයි. මෙය වෙල්ලස්ස ගිනිගෙන දැවෙන යුද පිටියක් කරමින් සිංහල හේවායන් සිය අයිතීන් යළි දිනා ගැනීමට සටන් වැද සිටින කාලයක්. මේ කාලයේ කොහුඹුරේ රාල, කැප්පෙටිපොළ දිසාවේතුමා මුණගැසී රට ජාතිය සම්බන්ධ වැදගත් කාරණා කතාකර ගැනීමට තීරණය කළා. මෙහිදී සිය ජාතියට සිදුවීමට යන ව්‍යසනය අවබෝධ කරගත් කැප්පෙටිපොළ ඉංග්‍රීසීන් ලබා දුන් සියලු තාන්න මාන්න සියල්ලම නැවත ඉංග්රීසීන්ටම ලබා දී ලංකාව බේරා ගැනීමේ සටනට එක් වුණා. මේ අතරතුර කැප්පෙටිපොළ සමඟ වූ 17 දෙනකු ජාති ද්‍රෝහීන් ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. මේ කිසිවක් නොතැකූ කැප්පෙටිපොළ ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළා. මේ කාලයේදී කැප්පෙටිපොළ රෝගාතුර වුණා. එහෙත් සටන ඒ ආකාරයෙන්ම ජනතාව මෙහෙය වූවා. කෙසේ වුවත්, ජාතියක් වෙනුවෙන් මෙතරම් සේවයක් කරමින් මහනුවර මුදා ගැනීමේ සටනේ නිරතවීමට කැප්පෙටිපොළට හැකි වුණා. ඩොයිලි චරපුරුෂයන් යොදවමින් කැප්පෙටිපොළ කොහි සිටින්නේද යන්න පිළිබඳ තොරතුරු විමසුවා. 1818 නොවැම්බර් 13 වැනිදා කැප්පෙටිපොළ සිරභාරයට ගත්තා. යුද්ධාධිකරණය ඔහු වැරැදිකරුවකු ලෙස ඔප්පු කළ නිසා 1818 නොවැම්බර් 26 වැනිදා කැප්පෙටිපොළ වධකයන්ගේ අසිපත් පහරින් මරුමුවට පත් වුණා.
නදී