Home » Blog » අන්ද්‍රෙයිගේ පොප්ලර් ගස

අන්ද්‍රෙයිගේ පොප්ලර් ගස

by lakehouse
0 comments

 

අන්ද්‍රෙයි ජීවත් වුණේ රුසියාවේ නගරබද ප්‍රදේශයකයි. ඒ සරත් කාලයයි. ඒ කියන්නේ ගිම්හාන ඍතුව ඉවරවෙලා උදාවෙන ඊළඟ ඍතුව. සරත් ඍතුවේ ඉර ජනේලයෙන් එබිලා අන්ද්‍රෙයි දිහා බැලුවා. අන්ද්‍රෙයි ජනේලය ළඟට ගිහින් ඉර මාමාට අත වැනුවා. ඒ ගමන් වීදියේ සිටුවා තිබූ පොප්ලර් ගස් පේළිය දිහාත් බැලුවා. (පොප්ලර් කියන්නේ රුසියාවේ සහ යුරෝපානු රටවල දැකගත හැකි පතනශීලි ශාක විශේෂයක්. මෙම ශාක වර්ග වසරකට වරක් එහි පත්‍ර හලයි. බොහෝ දුරට සීත ඍතුවේදී)) එක් පොප්ලර් ගසක් තිබුණේ හරියටම අන්ද්‍රෙයිගේ ජනේලයට මුහුණලායි.
“ඒක තමයි මගේ පොප්ලර් ගස” අන්ද්‍රෙයි තමන්ටම කියා ගත්තා.
“ඒක තමයි මගේ යාළු පොප්ලර් ගස”
දවසින් දවස ගෙවී ගියා. ඉතා ඉක්මනින් සීත ඍතුව ඒ කියන්නේ හිම වැටෙන සීත කාලය උදා වුණා. සරත් කාලයේදී දුඹුරු පාටට හැරුණු පොප්ලර් ගස්වල කොළ සීත කාලෙදි බිමට හැළෙන්න පටන් ගත්තා. අන්ද්‍රෙයිගේ පොප්ලර් ගසෙත් කොළ බිම හැළෙන්න පටන් ගත්තා. සුදෝ සුදු හිමවලින් වටපිටාව වැසී ගියා.
දැන් හරිම පාළුයි. අඳුරු පාටයි.
“කමක් නෑ වසන්ත කාලය උදා වුණාම මගේ පොප්ලර් ගස ආයෙත් උණුසුම් වේවි. වසන්ත කාලෙදී ඉර එළියෙන් ගසේ ආයෙම කොළම කොළ පාට කොළ මතු වේවි”අන්ද්‍රෙයි සිතුවා.
කාලය ගෙවිලා ගිහින් ඔන්න ආයෙමත් වසන්ත කාලය උදා වුණා.
වීදියේ සිටුවා තිබූ පොප්ලර් ගස්වලත් කොළ පාට දලු මතු වෙන්න පටන් ගත්තා. ඒත් අන්ද්‍රෙයිගේ මිතුරු පොප්ලර් ගසේ මතු වෙලා තිබුණේ එකම එක දල්ලක් විතරයි. ඒක දැකලා අන්ද්‍රෙයිට දුක හිතුණා.
“අර බලන්නකො අම්මේ අර ගහට මොකක්ද වෙලා වගේනේ. අනෙක් පොප්ලර් ගස් ඔක්කොගේම කොළ ගොඩාක් තියෙනවා. ඒත් මගේ ගහේ විතරක් කොළ අඩුයි”
අන්ද්‍රෙයි දුකෙන් කිව්වා.
“ඔයා පොප්ලර් ගහ ටිකක් දුර්වල ගසක් වෙන්න ඇති. තව ටිකක් කල්ගත වෙනකොට ඒ ගහත් ශක්තිමත් වේවි” අම්මා කිව්වා.
අන්ද්‍රෙයි හැමදාම උදේට නොඉවසිල්ලෙන් ජනේලය ළගට ගිහින් පොප්ලර් ගස දිහා බැලුවා. ඒත් තවම නම් ගසේ කොළ අඩුයි.
එක දවසක් නගරයේ ගස් වවන්නන් පිරිසක් වීදියේ යන අතරේදී අන්ද්‍රෙයිගේ නිවෙස අසලටත් ආවා. ඔවුන් පොප්ලර් ගස් සියල්ලම හොඳීන් පරීක්ෂා කළා. ඔවුන් අන්ද්‍රෙයිගේ පොප්ලර් ගසත් පරීක්ෂා කළා.
“මේ ගහ නම් මැරෙන්න යනවා වගෙයි. අපි ඊළඟ සරත් ඍතුවේ දී මේ ගහ වෙනුවට මෙතැන අලුතින් පොප්ලර් ගහක් සිටවමු” ඔවුන් කතා වෙනවා අන්ද්‍රෙයිට ඇසුණා.
ඒක ඇහිලා අන්ද්‍රෙයිගේ ඇස්වලට කඳුළු ආවා.
අන්ද්‍රෙයි හනිකට අම්මව හොයාගෙන දිව ගියා.
“අම්මේ මගේ පොප්ලර් ගහ ඉක්මනට මැරේවි කියලා අර මිනිස්සු කතා වෙනවා මට ඇහුණා. එයාලා හදන්නේ ඊළඟ සරත් කාලෙදි මේ ගහ අයින් කරලා වෙන පොප්ලර් ගහක් එතැන හිටවන්නයි”
අන්ද්‍රෙයි කලබලයෙන් කියාගෙන ගියා.
“පුතා කලබල වෙන්න එපා සරත් කාලය උදාවෙන්න තව කල් තියෙනවා. සමහරවිට ඒ අතරේදී ඔයාගේ පොප්ලර් ගහ ශක්තිමත් වේවි. අපි එයාට උදව් කරමු ඒකට”
අම්මා, අන්ද්‍රෙයිව උනන්දු කරමින් කිව්වා.

ඉතින් අන්ද්‍රෙයි පහුවදා ඉඳන් පොප්ලර් යාළුවාට උදව් කරන්න පටන් ගත්තා. උදෑසන අවදි වුණ ගමන්ම අන්ද්‍රෙයි ඒ පොප්ලර් ගසට වතුර දැම්මා. හැම හැන්දෑවකම අම්මත් එක්ක එකතුවෙලා ගස වටේට පස් බුරුල් කළා. ඊටපස්සේ හැම උදෑසනකම අන්ද්‍රෙයි ඇහැරුණු ගමන්ම ජනේලයෙන් එබිලා පොප්ලර් ගස දෙස බලන්න පුරුදු වුණා. පොප්ලර් ගසේ වෙනසක් සිදු වෙලාද කියලා තමයි එයා ඒ බැලුවේ. මේ විදියට ටික දවසක් ගෙවිලා ගියා. අන්ද්‍රෙයි දිගටම පොප්ලර් ගසට සාත්තු කළා.
එක දවසක් පුරුදු විදියට අන්ද්‍රෙයි උදෙන්ම ඇහැරිලා ජනේලයෙන් එබිලා බැලුවා.
අන්ද්‍රෙයිට හරිම සතුටුයි.
“හරී හරී මගේ පොප්ලර් ගසට නැවත ශක්තිය ලැබිලා” අන්ද්‍රෙයි මහ හයියෙන් කෑගහලා කිව්වා.
ඇත්තටම පොප්ලර් ගසේ අලුත් දලු මතු වෙලා තිබුණා. ඒක දැකලා අන්ද්‍රෙයිගේ අම්මටත් හරිම සතුටුයි. දවසින් දවස ගෙවී ගියා. පොප්ලර් ගස ලස්සන කොළවලින් පිරුණා.
සරත් කාලයත් උදා වුණා. අන්ද්‍රෙයි සෙල්ලම් කරමින් සිටිද්දී ට්‍රක් රථයක් ඇවිත් එතැන නැවැත්වූවා.
එහි මුල් සහිත ගැලවූ ගස් සහ ඉස්කෝප්ප තිබුණා. එක් කම්කරුවෙක් ට්‍රක් රථයෙන් බිමට බැහැලා අන්ද්‍රෙයිගේ පොප්ලර් ගස ළඟට ආවා. ඔහු, ඒ ගස හොඳීන් පරීක්ෂා කළා.
ඉන්පසු ඔහු එම රථයේ සිටි අනෙක් අයට කෑගසා මෙහෙම කිව්වා.
“ කාට හරි වැරදීමක් වෙලා. මෙතැන නැහැ මැරුණු ගස්. මෙතැන තියෙන ගස් ඔක්කොම නිරෝගීයි. ශක්තිමත්. අපි යමු“ එසේ පැවසූ ඔහු ට්‍රක් රථයට නැඟලා යන්න ගියා. ඊට පස්සේ අන්ද්‍රෙයි එයාගේ පොප්ලර් ගස ළඟට ගියා. අන්ද්‍රෙයි පොප්ලර් ගසෙහි කොළයක් අත ගාමින් ගස දිහා ආදරයෙන් බලමින් සිනාවුණා. ගසේ අතු සෙලවුණේ හරියට අන්ද්‍රෙයිට සතුටින් ස්තූතිවන්තව අත වනනවා වගෙයි.

මේ කතන්දරය කියවූ පුංචි ඔයාලාත් අන්ද්‍රෙයි වගේම අපට හුස්ම දෙන ගස්වලට ආදරය දක්වනවා නේද?

රුසියානු ළමා කතාවක් ඇසුරෙන්

 

 

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department