Home » Blog » නායකයාගේ හැසිරීම කණ්ඩායමට වැදගත් වෙනවා

නායකයාගේ හැසිරීම කණ්ඩායමට වැදගත් වෙනවා

දිවුලපිටිය කෙහෙල්ඇල්ල රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ

by lakehouse
0 comments

ප්‍රධාන ශිෂ්‍ය නායකයා – මනුත් මින්තරු පිටිගල

ප්‍රධාන ශිෂ්‍ය නායිකාව – තුසඳී මෙතුෂා

නායකයකුගේ හැසිරීම ඉතා වැදගත්. ඒ හැසිරීම දෙස බලා තමන්ගේ කණ්ඩායම ගමන් කළ යුතු දිසාව තීරණය කිරීම සාමාන්‍ය සිරිතයි. බොහෝ විට කණ්ඩායමට පමණක් දොස් කීම තේරුමක් නැත. මේ නිසා සෑම විටම කණ්ඩායමට සිය අරමුණ පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා දීමට නායකයා හෝ නායිකාව පියවර ගත යුතුයි. බොහෝ නායකයෝ මේ සඳහා අපොහොසත් වෙති. ඔවුන්ට සිය කණ්ඩායම පිළිබඳ හැදෑරීමක් නැත. වර්තමානයේ සෑම කණ්ඩායමකටම අවශ්‍ය වන්නේ සිය කණ්ඩායම පිළිබඳ හදාරන නායකයෙකි. එවැනි නායකයන් බිහිවීමට පාසල වඩාත් හොඳ තෝතැන්නක් වන බව වර්තමානයේ පාසල්වල පවත්වන නායකත්ව වැඩමුළුවලින් මනාව පැහැදිලි වේ. මේ පිළිබඳ මනාව පැහැදිලි කිරීම සඳහා පසුගියදා කෙහෙල්ඇල්ල රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඔවුන් ලද අත්දැකීම් පිළිබඳ අපට පැවසූහ.

මගේ නම මින්තරු. මම නායකත්වය දරන්න ගොඩක් කැමැතියි. ගෙදරදිත් අපේ අම්මා තාත්තා පොඩි පොඩි වැඩ කරන්න දීලා නායකත්වය පිළිබඳ මට හුරුවක් ලබලා දුන්නා. ඒක මට ගොඩක් වටිනවා. ඒ හුරුව නිසාම මම පාසලේ කිසිදු පැකිළීමකින් තොරව වැඩ කටයුතු කළා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර ලැබීම පිළිබඳ මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කියන්නේ හැමෝටම ලැබෙන තනතුරක් නෙවෙයි. ඒ තනතුර ලැබෙන්නේ බොහෝ දෙනා අතරින් තෝරා ගත් කෙනකුටයි. ඒ නිසා ඒ ගැන මට ආඩම්බරයක් තියෙනවා. මම නායකත්වයට සුදුසු කෙනෙක් කියලා මටම දැනෙන්න පටන්ගත්තේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මාව තෝරා පත්කර ගත්ත දවසෙයි. එදා මගේ අම්මාත් තාත්තාත් ගොඩක් සතුටු වුණා. අම්මායි තාත්තායි මට එදා දුන්න උපදෙස තමයි තමා කරන කාර්යය ඉතා හොඳීන් උපරිමයෙන්ම කරන්න කියන එක. මම උදේ පාන්දරින්ම පාසලට එනවා. එහෙම ඇවිල්ලා මම කරන්නේ අනෙක් අයට මම බෙදලා දුන්න වැඩ කරනවා ද කියලා නිරීක්ෂණය කිරීමයි. බොහෝ දෙනෙක් මම බෙදලා දුන්න වැඩ නිසි ලෙස කරනවා. ඇතැම් අවස්ථාවල අතපසු කරන අයත් ඉන්නවා. ඒ වෙලාවේදී මම ඒ අයට ඒ ගැන ඉතා කරුණාවෙන් කියලා දෙනවා. එතකොට ඒ අය මට හොඳීන් ඇහුම්කන් දෙනවා. නායකයා කියන්නේ තමන්ගේ කණ්ඩායමත් සමඟ එකමුතුව වැඩ කරන්නෙක්. මම සෑම අවස්ථාවකම මගේ කණ්ඩායමත් සමඟ එකමුතුව වැඩ කරන්න උත්සාහ කරනවා. මගේ පාසලේ විදුහල්පතිනිය මෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන් භාර ගුරුතුමිය දේවිකා මිස්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. පාසලේ විශේෂ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඇයගෙන් අපට ලැබෙන උපදෙස් බොහොම වටිනවා.”

” මම ගණිතය සහ විද්‍යාව විෂයයන් දෙකට ගොඩක් කැමැතියි. කවදා හරි අනාගතයේදී වෛද්‍යවරයෙක් වීමට තමයි මම අපේක්ෂා කරන්නේ. එයින් මම බලාපොරොත්තු වන්නේ මගේ රටට සේවයක් කිරීමටයි. වෛද්‍ය වෘත්තිය කියන්නේ අපේ රටට හොඳ සේවයක් කරන්න පුළුවන් වෘත්තියක්. එනිසා තමයි මම වෛද්‍ය වෘත්තිය තෝරාගන්න තීරණය කළේ.”

” මගේ නම මෙතුෂා. මට ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර ලැබුණේ මේ අවුරුද්දේ. ඇත්තටම එදා මට ලොකු සතුටක් ඇති වුණා. මම වගේම මගේ අම්මා, තාත්තා දෙන්නත් ගොඩක් සතුටු වුණා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කියන්නේ හැම කෙනකුටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. තෝරා ගත් කෙනකුට ලැබෙන අවස්ථාවක්. බොහෝ ශිෂ්‍යාවන් අතරින් මට ඒ තනතුර ලැබීම පිළිබඳ මම ගොඩක් සතුටු වෙනවා. මම උදෙන්ම පාසලට එනවා. ඒ ඇවිත් රැස්වීම සූදානම් කරන්න ප්‍රධාන ශිෂ්‍ය නායකයාට උදව් වෙනවා. අපේ පාසලේ සෑම දිනකම උදෑසන රැස්වීම පැවැත්වෙනවා. එනිසා ඒ වෙනුවෙන් කටයුතු සූදානම් කිරීම අප හැමදෙනාගේම වගකීමයි. ශිෂ්‍ය නායක නායිකා කණ්ඩායමේ සෑම කෙනකුටම කුමන හෝ වගකීමක් තියෙනවා. එකිනෙකා තමන්ට ලැබෙන වගකීම ඒ ආකාරයෙන්ම කැපවීමෙන් කිරීම සතුටට කරුණක්. අප හැම දෙනාම කටයුතු කිරීමේදී මේ අපේ පාසලයි යන මතකය අපේ සිතේ තබා ගත යුතුයි. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් පාසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරිම මගේ වගකීමක් ලෙසයි මම සලකන්නේ.මම හිතන්නේ හැම දෙයක්ම කුඩා කාලයේ සිට පුරුදු පුහුණු වූ විට වැඩිහිටියකු වුණාම ඒ දෙය පවත්වාගෙන යන්න පුළුවන් කියලා. මම කවදා හරි ගුරුවරියක් වෙන්න කැමැතියි. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස මම ලබන මේ පුහුණුව එදාටත් වැදගත් වේවි කියලයි මම හිතන්නේ.”

ඔවුන්ගේ අනාගතයේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවාය යැයි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department