ආදරණීය දුවේ පුතේ, මේ සතියේදී උදාවෙන වෙසක් පොහොයෙදී පුංචි ඔබත් දාන, සීල, භාවනා වැනි උතුම් පින්කම්වල නිරත වෙනවා ඇති නේද? ඉතින් දුවේ පුතේ, ඔයාලා දන්නවානේ වැඩිහිටියන්ට සැලකීමත් කෙතරම් වටිනවා ද කියලා? එනිසා අද අප ඔබට වැඩිහිටියකු තෝරා ගැනීමට යහළුවන් තිදෙනකු කළ කතාවක් පිළිබඳවයි කියන්න සූදානම් වන්නේ.
ඔන්න එකමත් එක කැලෑවක හිටියා යාළුවන් තුන්දෙනෙක්. කවුද දන්නවා ද මේ යාළුවන් තිදෙනා කියලා. මේ තුන්දෙනා තමයි වඳුරයි, අලියායි, වටුවයි. මේ යාළුවන් තුන්දෙනා හිටියේ නුග ගසක් අසලයි. ඉතින් එකිනෙකා දුක සැප බෙදා ගෙන හරිම සතුටින් කාලය ගත කෙරුවා. මෙහෙම ඉන්න කොට මේ තිදෙනාට දවසක් මෙහෙම හිතුණා. ” අපි දැන් හඳුනාගෙන හුඟ කලක් ගත වෙලා තියෙනවා. ඒත් ඉතින් අප තිදෙනා අතරින් වයසින් වැඩි කවුද කියලා තවම කවුරුත් දන්නේ නැහැනේ කියලා. ”
වඳුරා මෙහෙම කිව්වා. ” බලන්න ශක්තිවන්ත බව අතරින් අලියා විශාලයි. ඒ හින්දා ඕනෑම වැඩක් කරන්න පුළුවන්. ඒත් ඉතින් අපි කොහොමද දන්නේ අලියා යාළුවා අපට වඩා වැඩිමහල් ද? කියලා. මේ බලන්න මම දිහා මට පුළුවන් ගසින් ගසට පැනලා කොළ දලු නෙළන්න. එහෙම කියලා මම වැඩිමල් කියලා අපට හිතන්න බැහැ නේද? මේ ඉන්නේ ශරීරයේ ප්‍රමාණයෙන් අපේ පුංචිම යහළුවා වටුවා. හැබැයි එයාට පියාඹන්න පුළුවන්. මේ හැම දක්ෂතාවක්ම අපි හැමෝටම කරන්න පුළුවන් වුණාට, අපි කොහොමද දන්නේ කවුද වැඩිමහල්ලා කියලා.”
වඳුරා එහෙම කිව්වා.
”එහෙනම් අපි කොහොමද මේ වැඩිමහල්ලා තෝරා ගන්නේ?” අලියා කිව්වා.
” අපි එහෙනම් මෙහෙම කරමු . මේ නුග ගස ගැන වැඩිපුර දන්නේ කවුද? කියන එක අපි සොයලා බලමු” වඳුරා යෝජනා කළා. වඳුරාගේ යෝජනාවට හැමෝම එකතු වුණා. ඒ අනුව නුග ගස ගැන කෙතරම් කාලයක ඉඳලා දන්නවා ද? යන්න පිළිබඳව එකිනෙකා කියන්න ගත්තා.
ඉස්සෙල්ලාම වඳුරා තමන් නුග ගස ගැන දන්න තොරතුරු කියන්න පටන් ගත්තා.” මම මේ නුග ගස ගැන දන්නේ බොහොම ඉස්සර කාලෙ ඉඳලා. මම මේ නුග ගස දන්නේ කුඩා පැළයක් වෙලා තියෙන කොට. ඒ පැළය කුඩා කාලයේ මම ගස්වල පැන පැන යන ගමන් මෙතැනින් බහිනවා. බැහැලා බිම ඉඳගෙන මේ නුග පැළයේ දලු කනවා. නුග පැළයේ පුංචි දලු හරිම රසයි.” වඳුරා තමන් නුග පැළය ගැන දන්නා තොරතුරු කිව්වා. ඊට පස්සේ අලියා තමන්ගේ කතාව පටන් ගත්තා. ”මටත් මේ නුග පැළය පිළිබඳ මතකයක් තියෙනවා. ඒ කාලෙ මමත් පොඩි අලි පැටියෙක්. මම අපේ අලි රංචුවේ අය සමඟ දලු කොළ කමින් එහෙ මෙහෙ ඇවිදිනවා. එතකොට මේ නුග පැළය ළඟටත් එනවා.”
” ඉතින් කියන්න අලි යාළුවේ, ඔයාගේ කතාව, ඊට පස්සේ මොකද වුණේ?” වඳුරා ඇසුවා.
” මම මේ නුග ගහ උඩින් පැනලා යනවා. එතකොට මේ නුග ගසේ දලු මගේ බඩේ ගෑවෙනවා.” ඒ කියන්නේ මේ නුග පැළය ඒ දවස්වල ටිකක් ලොකුයි නේද? ” අලියා ඇසූ ප්‍රශ්නයට අනෙක් සියලු දෙනාම තමන්ගේ ඔළුව වැනුවා. ” එතකොට අපේ පුංචි වටු යාළුවා කොහොමද? මේ නුග ගස ගැන දන්නේ. මම හිතන්නේ ඒ වගේ ලස්සන අත්දැකීමක් අපේ වටු යාළුවාටත් ඇති නේද?” වඳුරා කිවුවා. ” ආ… ඔව් මටත් එවැනිම ලස්සන අත්දැකීමක් මට තියෙනවා. ඉතින් මම ඒ කතාව ඔයාලා දෙන්නාට කියන්නම්කෝ..”
වඳුරායි , අලියායි දෙන්නාම වටුවාගේ කතාවට ඇහුම්කන් දෙන්න සූදානම් වුණා. ඉතින් යාළුවනේ අහන්නකෝ… මමත් එතකොට පුංචි වටු කුරුල්ලෙක්. අපේ රංචුවේ කට්ටිය එක්ක ඈත අහසේ පියාඹනවා. එහෙම පියාඹාගෙන යනකොට මම දැක්කා විශාල නුග ගසක ගෙඩි පිරිලා තියෙනවා. ඉතින් මට ආසා හිතුණා. එකෙන් ගෙඩි කන්න. ඊට පස්සේ මම ඒ නුග ගසෙන් ගෙඩි කෑවා.”
”ඊට පස්සේ මම මේ ස්ථානයට ආවා. එහෙම ඇවිල්ලා මෙතන වසුරු දැම්මා.” වඳුරාත් අලියාත් පුදුමෙන් බලාගෙන සිටියා. ” ආ… මේ ඉන්නේ අපේ වැඩිමහල්ම යාළුවා.” අලියාත්, වඳුරාත් එක හඬින් කෑගැසුවා. ඉතින් ඔන්න මේ යාළුවෝ තුන්දෙනා වැඩිමහල් යාළුවා තෝරා ගත්තා. ”ඊළඟ වැඩිමහල් කවුද? ” වටුවා ඇසුවා. ”ඊළඟට වැඩිමහල් මම වඳුරා කිව්වා. ඇයි මම නේ බිම ඉඳගෙන නුග ගසේ දලු කෑවේ.” වඳුරා කිව්වා. ” එහෙනම් මම තමයි අපි හැමෝම අතරින් බාලයා. අලියා කිව්වා.
” ඔන්න එහෙනම් අද ඉඳලා අපේ වැඩිමහල්ලා විදිහට වටුවා පිළිගෙන අපට එයාට ගෞරව කරන්න පුළුවන්.” අලියා කිව්වා.
” ඔව් ඔව් එතකොට අපට අපේ වැඩිමහල්ලාගෙන් කැලේ ගැන තොරතුරු දැන ගන්න පුළුවන්, අවවාද අනුශාසනා ලබා ගන්න පුළුවන්. කොච්චර හොඳද? ඒක” අලියාත්, වඳුරාත් කිව්වා.
දැන් ඉතින් දුවලා පුතාලාට තේරෙනවා නේද? වැඩිහිටියකුගේ අවවාද කොච්චර වටිනවා ද? කියලා, ඒකනේ වඳුරාත්, අලියාත්, වටුවාත් තමන්ගෙන් වැඩිමහල්ලා කවුද කියලා දැන ගත්තේ. ඒ නිසා දුවලා පුතාලාත් වැඩිහිටියන් දෙන අවවාද හොඳීන් පිළිගන්න ඕනේ. එතකොට තමයි අනාගතය යහපත් වෙන්නේ.
(පන්සියපනස් ජාතක කතා පොතේ සඳහන් තිත්තිර ජාතක කතාව ඇසුරෙන්)
රූපාන්ති බුලත්සිංහල