”ඒවා බෙහෙත් බඩුනේ. හරි ගණන් වෙළෙඳ පොළේ. මිනිහ ඒවා අඩු ගණනට අරගෙන ගාටනවා. ඉහ උඩ රඳාන තමා රෑට රූටන්නෙ” “දැන් උඹැහෙ හේන් කොරන්නෙ නැද්ද?”
“නැහැ නොවෙන්නම්.
මාත් එක්ක හිටපු උන් දැන් වළ කජ්ජ ගහලා. තනි පංගල මේ මටත් කරන්න හිත් ලන්නෙ නැතුවා. දැන් මයෙ අත පයත් වාරු නැතුවා” අංජු කියයි. “මේකෙ හරි අනුහස් තියෙනවලු නේද අංජු මාමේ?” විමලේ අසයි.
“ඒව පුතේ බොරු කතන්දර දරුවනේ. උඹහෙලා දැන් නාම්බො වෙච්චි. හිතා බලල තේරුම් ගනිල්ලා. “හෙතෙම කීවේය. ”හිතේ විස්වහේ තමයි ඕනෙ.” ”ඒක නම් ඇත්ත තමා.” වීරසේන මාමා උගුරු රැල් බුරුල් ඇරියේ ය. ”දැන් මේ හැම තැනම කසිප්පු තිප්පොළවල් තමා. ඉහළ දොළ දිගටෝම පෙරනවා.”
“ඒව අල්ලන්නෙ නැද්ද?” “නැහැ.” ”එහෙනම් මේ අවතාර ඒවා තමා.” මම කීවේ එදා කරුණෙව බය කරන්න හැදූ අවතාරය සිහි වීමෙනි. “දැනුත් මාමේ ඒ අවතාර තියෙනව ද?”
“අනේ දරුවො හිත දුරුවල මිනිස්සු තමයි ඕවට බය වෙන්නෙ. මදෑ ඕං කතාවෙන් කතාවෙන් ගෙදරටම ආවා”
“අපි ගෙහුං එන්නම් ආත්තම්මෙ. “ඩිංගි ආත්තම්මාට වැඳ අපි එහෙන් සමුගතිමු. අප ගෙදරට එනවිට උදේ හිරිකඩ පින්න හිඳෙමින්. හිරුකිරණ ගලා එමින් තිබිණි.
“ඉතින් දරුවනේ, මට හිතුණා උඹහෙලා දැන් දැන් ඒවියි කියල. ආප්ප හදන්න පිටි මුට්ටිය අරගෙනත් මං කල් පහු කෙරුවෙ. උණු උණුවෙ ආප්ප කන්න හදල දෙන්නම් කියලයි.”
අපි මතක ගෙදරින් ආවේ අප්පච්චි ගෙදර ඒමට පිටත් වන්නටත් කලින් ය. ඒත් අපි ගෙදර එන්නට හෝරාවකටත් පෙරාතුව අප්පච්චී ගෙට ඇවිදින් ය.
“විමලේ අද ඉස්කෝලෙ යන් නැද්ද?” “නෑ කංචු. දැන් වෙලාව පහුවෙලා නේ. ආ…..අනික අද නිවාඩු දවසක් ලු.
මහම්මත් තුමාගෙ උපන් දිනේලුනේ.”
“එහෙමද? එහෙනම් වැඩිපුරත් එක්ක ඩිංගිත්තක් බුදිය ගන්න පුළුවන්. වැඩක් පලක් නොකළත් අර පන්සල් කන්ද නැඟලා හරිම කෙඩෙත්තුයි.” මම කීවෙමි.
“හරි! හරි! එහෙනම් නිදාගන්න. මොනා හරි කරනව නම්, සවාරියක් එහෙම ගහනව නම් මටත් බුලත් නැට්ටක්වත් එවන්න අමතක කරන්න එපා හොඳේ.” කියමින් යන්නට ගියේ ය. ගෙදර සිට ගුරුපාර දිගේ ඔහු යන දෙස මම බලා උනිමි.
යහළුවෝ සියලු දෙනාම මා පමණක් නතරකර උනුන්ගේ ගෙවල් බලා ගියහ. මට දැනුණේ ලොකු තනිකමකි.
පෙරදාත් හරි නින්දක් නොවීම නිසා මම කුස්සියේ ඉදිරිපස කොටසේ ඇති ලොවි බංකුව වෙත ගොස් හාන්සියක් දා ගත්තේ නිස්කාංසුවේ නිදා ගන්නට ය.
අම්මා කුස්සියේ ඇති බවක් නම් නොදැනේ. ඇය කුස්සියේ නම් නංගීත් අම්මා පසුපසම ය.
ආත්තම්මා තවමත් ආප්ප ළිප ළඟ බව දැනේ. මම නිදාගන්න උත්සාහ කළෙමි.
“මෙන්න වැඩක්. ඉලන්දාරි පස්සට අව්ව වැටෙනකම් නිදි.
මොකද මේ කොල්ලෝ……..?” ආත්තම්මා මා සිටින තැනට පැමිණ අඬහැර පෑවා ය.
“අනේ ආත්තම්මේ නිදාගන්න දෙන්නකො” කියූ මම බංකුවේ ඉඳ ගතිමි. හරි හැටියට නිදියන්නට නම් නිදිපළටම යා යුතුය. ඒත් දැන් එවැන්නකට සුදුසු වෙලාවක් නොවෙයි. මම කල්පනා කළෙමි.
“අනේ විදානෙ අයියා…….අනේ විදානෙ අයියා………..” කාගෙ දෝ කටහඬක් කෑ කොස්සන් ගැහීමක් ඉදිරිපස කඩුල්ල දෙසින් ඇසුණි.
“කවුද අප්පේ මේ…? මොකද තෙපානිසෝ බෙරිහන් දෙන්නේ……?” ආත්තම්මා තාත්තාටත් පෙරාතුව එළියට ගියාය.
“බලන්නකො ලොකු හාමිනේ. ඉස්කෝලෙ යනව කියලා ආපු කොල්ලා අර ගහ අයිනෙ ඇටඹ ගහට පොලු ගහන්න ගිහින් ලෙස්සලා ගෙහුන් ගලංදියට වැටිලා. ගඟේ එහා ඉවුර ළඟ හිටපු ඩැනි කංකානම තමයි මූ වතුරට වැටෙන කොටම බේරගෙන තියෙන්නෙ.”
“ඉතිං කොල්ලට වතුර පෙවිලද? ඌට පීනන්නත් ඇහැකි නොවැ තෙපානිස්.”
“අනේ මන්ද හාමිනේ. ඕං ඇසිලින් ඇවිදින් කොලුව ගෙදර එක්කන් ගියා. වෙද මහත්තයත් කිව්වලු ලොකු අමාරුවක් නෑ කියලා.
“වතුර පෙවුණ නම් ඔහොම කෙළින් කටින් ඉන්න බෑ.”
“ඉඳා. මේකත් තියාගනින් මේ වෙලාවෙ සල්ලිත් හිඟ පාඩු ඇති නොවැ.” කියා අප්පච්චී තෙපානිස් මාමාට රුපියල් දෙකේ කොළයක්ම දුන්නේ ය. ඔහුට නැති පින් ඔහු අප්පච්චිට බෙදුවේ සසර කෙළවර වන තෙක්ම පැතුම් පතමිනි.
“විදානෙ මහත්තය හරියට බෝධිසත්වයෙක් වගෙයි නෙ. ඔය එක එකා එන එන පාරට දෙන්න අපට සල්ලි තියෙන වයැ.” අම්මා කීවා ය.
”ඇයි හාමිනේ උන් නැති බැරි ඈයො. ඔය දුවගෙන ආවෙත් වෙන මුකුත් හින්ද නොවෙයි. කීයක් හරි ඉල්ල ගන්න. මේ වැස්ස නිසා උන්ට කිරි කපන්නත් නැහැනේ. ඉතින් ඔහොම සුලු උදව්වක් කරන එක ගණන් ගන්න එපා, හාමිනේ” අප්පච්චි කියද්දී අම්මා නිහඬ වූවා ය.
අප්පච්චී යමක් කියන විට අම්මා ඊට විරුද්ධ වන්නේ නැත.
“මොකද තෙපානිස් ගොයිය සල්ලිය බාගෙ ඉල්ලන්නද දුවගෙන ආවෙ?” කනින් කොනින් ඇසුණ සිද්ධිය ඉලක්ක කර ගනිමින් ආත්තම්මා ද ඊට සම්බන්ධ වූවා ය.
“මේ වෙලාවෙ මගෙ ළඟත් සල්ලි තිබුණා. ඌ හාංකවිසියක් මට කිව්වේ නෑ නොවැ.”
“නෑ අම්ම දෙන්න එපා. මං දුන්න සල්ලි.” අප්පච්චී කීවේ ය.
තෙපානිස් මාමාගේ පුතා ඉගෙන ගත්තේ අපේ පන්තියට පහළ පන්තියේය. ඔහුගේ නම ඇල්බට් ය. ඒත් ඔහුට හැම දෙනාම කීවේ ඇල්බා නැත්නම් ඇබා කියා ය.
“අම්මේ මාත් යන්නද ඇබා බලලා එන්න?” මම කෙළින්ම අම්මාගෙන් ඇසුවේ එපා කියන එකක් නැතිවෙයි කියා හිතාගෙන ය.
“නෑ………නෑ……ඕනැන්නෙ නෑ. ඇබා තියා මූඩියක්වත් බලන්න තමුන්ලා යනවා නොවෙයි. ඊයෙත් මහන්සි වෙලා ඇවිදින් හෙම්බත් වෙච්ච හැටි මූණෙන්ම පේනවා. ඉස්කෝලෙ ගියේ නැත්තෙත් තෙහෙට්ටුයි කියල නෙව. දැන් ඉතින් කොහෙ සමයං ගහන්නද?” අම්මාට පෙරාතුව ආත්තම්මා අණපනත් මාලාවක් අත් හැරියා ය.
“අම්මෙ ඇබා අපේ පන්තියෙ නෙව. අයියත් එක්කල මාත්…?”
“ඇහුණ නේ ආත්තම්ම කියුව දේ. ඕං දෙන්නම හිටිල්ලා ගෙදර.” අම්මා ද කීවා ය.
“බලන්නකො අයියා. හරිම අසාධාරණයි.”
“ඇයි නරක වැඩක් ය. වතුරෙ වැටිච්ච එකා බලන්න ගියාම. නේද අයියා?” මල්ලී කීවේ ය.
මම නිහඬ වුණෙමි. අම්මා අප්පච්චි කොහොම වුණත් ආත්තම්මා මොනවා හරි කීව නම් ඒක අකුරටම පිළිපදින්න ඕනයි කියල තමයි අපි පුරුදු වෙලා හිටියෙ. ඒ මොකද කියලා මට අදටවත් තේරුමක් නෑ.
ආත්තම්මා බාගෙට වියමින් සිටි පන් පැදුර කුස්සි ආලින්දයේ දමාගෙන ඉඳ ගත්තේ එය මඳක් හෝ වියා අහවර කරන්නට ය. අම්මා කුස්සිය ඇතුළට ගියේ දවාලට කෑමට යමක් සෑදීමට ය. මම ලොවි බංකුවට වී හාන්සියක් දමා තදින් දෑස පියා ගතිමි.
“පුතේ….. පුතේ…..කංචු නැගිටියන් පුතේ. මේ දැන් හදාපු හකුරු දංකුඩේ තියෙනව. කහට ඇබින්දක් බීපන් පුතේ…” අම්මාගේ කටහඬට මම දෑස් හැර බැලුවෙමි.
අව් රශ්මිය දැඩිව දැනෙන්නට විය. මම දෑස් පිස දමා බැලුවෙමි. දැන් දවල් වී ඇති බවත්,
මේ තේ වෙලාව බවත් මට වැටහුණි.
වැඩි වෙලාවක් යන්නට මත්තෙන් විමලේ මා සිටි තැනටම දුවගෙන ආවේ ය.
“ඈ කංචු උඹහෙ තාම බුදිද බං? මට නම් ඇහැක් පියන්න ලැබුණෙම නෑ. දොරත්තෙ ගෙදර බාල මාමගේ දුම් ගේ ගිනි අරන්. ඒක නිවන්න උදව්වට ගියා. කිරත්. සේමෙ අයියත්, අහල පහල කවුරුත් හිටියා. කාගෙත් උදව්වෙන් ගින්න නම් මෙල්ල කරගත්තා. ඒත් රබර් රොටී එකම එකක්වත් බේර ගන්න බැරි වුණා කංචු. කට්ටිය තාමත් වැඩ. ඔයැයිටත් කියන්නයි මං ආවෙ…”
“උඹ කියන්නෙ අර මහ දුම් ගේ ද?”
“නැතුව…රොටී දෙසීයකට වැඩිය තිබුණලු. බාලෙ මාමා හූල්ලනවා.”
“මොනව කරන්නද? යමු. යමු. බලන්න.” යන්තම් මුහුණ කට සෝදාගෙන තේ එකක් බී කමිස කබලකුත් ඇඟලා ගත් මම ලහි ලහියේ සූදානම් වීමි.
“මේ………මොකෝ…කොහෙද රේස් එක……” ආත්තම්මා එළියට එමින් ඇසුවා ය.
“ආත්තම්මා බාල මාමගේ අර මහ දුම්ගේ ගිනි අරන්ලු. රබර් රොටී උණුවෙලා ගලනවලු. ඒක නිවන්න කවුරුත් තාම වතුර අදිනවලු. විමලෙ ඇවිත් තියෙන්නෙ ඒක මට කියන්න මං යනවා…..”
“අම්මා…..මං ගිහින් එන්නම්” කියා අනං මනං අහන්නට කලින් මම ගෙයින් එළියට පැන ගතිමි. කිසිම විස්තරයක් ගෙදරට නොකියා ආපු නිසා අප්පච්චි එන්නට ඉඩ ඇති බව මම විශ්වාස කළෙමි.
බාල මාමාගේ ගෙදරට යාමට නම් සිරියලතා අක්කගේ ගෙය පසු කර යා යුතු ය.
“සිරියෝ……සිරියෝ……උඹ ඔය නංගිල මල්ලිලාට කන්න දීපන්. තව ටිකකින් කොස්ඇට හට්ටිය ළිපෙන් බිමට බා ගනින්.. ඔය පුංචි මලයට දෙන්න කැඳ ඇබින්දකුත් හදල ඇති.” සිරියලතාගේ අම්මා කියනවා ඇසුණි.
”කෝ…….ඕං ඔය කළගෙඩියකුත් මෙහාට දීපන් කෙල්ලෙ. ගල් පොකුණෙන් දිය ටිකක් ඇන්න එන්නත් ඇහැකි නේ. ලබු කබලේ වතුර ඇති බොන්න.” සිරියලතාගේ අම්මා එළියට එමින් කියයි.
“ආ….. මේ දරුවොත් බාල මහත්තැන්ගෙ දුම්ගේ බලන්න යනවා වෙන්ටැ.” ඇය අප දෙදෙනාට කීවා ය.
”ඔව් නැන්දා.” අපි කීවෙමු. අපගේ පසු පසින් ඇයත් එක්වුණා ය.
රත්නා කහඳගමගේ