Home » Blog » හෙට ලෝකය අපෙයි

හෙට ලෝකය අපෙයි

by lakehouse
0 comments

වෙසක් පෝය දා

වෙසක් පෝදින අවට හැමතැන පුර හඳක් ලොව බැබළුණේ
හමන මඳනල සිසිල සදමින් තරු වියන් මත ගැවසුණේ
ලුම්බිණියේ සල් වනයේ හැමතැන සල්වලින් තුරු නැහැවුණේ
ලොවට සෙත සලසන්න සිදුහත් කුමරු මෙලොවට බිහිවුණේ

වාඩිවී වජිරාසනේ මත මාරසේනා දකිමිනේ
පරදවා තණ්හා රතී රඟ මාර දූවරු දුටු දිනේ
ලොව පුරා ඇති සියලු දුක් කඳ සලසන්න සෙත සිතමිනේ
වෙසක් පෝ දින ලොවක් සනහා සමිඳු අප සම්බුදු වුණේ

වසර හතළිස් පහක් සදහම් අමා සිසිලස බෙදමිනේ
ගමක ශාලා අතර යහනෙහි දහම් මඟ ලොව නැවතුණේ
වෙසක් පුන්සඳ නැඟුණ අහසේ සියලු සතම හඬවමිනේ
ලොවක් සැනසූ අපේ ගෞතම සමිඳු පිරිනිවනට පත්වුණේ

කේ.ජී. උවිඳු නිම්සර

10 ශ්‍රේණිය

මප/ හැ/ ලක්ෂපාන ම.ම.විද්‍යාලය

———————–

හිතුවක්කාර මුව පැංචා

ඔන්න එකමත් එක කැලයක මුව පැංචෙක් එයාගෙ මුව අම්මා එක්ක සතුටින් ජීවත් වුණා. හැබැයි මේ මුව පැංචා හරිම දඟකාරයි වගේම හිතුවක්කාරයි. මුව අම්මා කියන කිසිම දෙයක් අහන්නෙ නෑ. ඉතින් මේ මුව පැංචා දවසක් තනියම කැලෑවේ ඇවිදින්න ගියා. මුව අම්මා කියලා තියෙන්නේ මුව පැංචට තනියම කැලෑවේ ඇවිදින්න යන්න එපා කියලයි.

මේ හිතුවක්කාර මුව පැංචා, මුව අම්මා කියන දේ අහන්නෙ නැතුව තනියම කැලෑවෙ ඇවිදින කොට දන්නෙම නැතුව ලොකු වළකට වැටුණා. මුව පැංචා උදවු ඉල්ලා කෑගැසුවා. හොඳටම හවස් වුණ හින්දා මුව අම්මා හිතවත් සත්තු ටිකක් එක්ක මුව පැංචව හොයන්න ගියා. කැලෑවෙ ඇතුළට යන කොට කෑගහලා උදවු ඉල්ලන සද්දයක් ඇහුණා. ඒ පැත්තට යනකොට මුව පැංචා ලොකු වළකට වැටිලා ඉන්නවා දැක්කා. මුව පැංචාව ඒකෙන් බේරගත්තා. මුව අම්මා අඬ අඬා මුව පැංචව තුරුලු කර ගත්තා. “අනේ අම්මේ මම නම් කවදාවත් ආයෙ අම්මට අකීකරු වෙන්නෙ නෑ.” මුව පැංචා කිව්වා. අපිත් මේ කතාව ආදර්ශයට අරගෙන මවුපියන්ට අකීකරු නොවී කීකරු වෙමු.

චතුමිණි ආශිංශනා

10 ශ්‍රේණිය

ඩී.එස්. සේනානායක ජාතික පාසල

මීරිගම

————————-

අම්මා

දුරින් පෙනෙයි අම්මේ සියපතක් වගේ
ළඟින් පෙනෙයි අම්මේ දෙව්දුවක් වගේ
හදේ සෙනෙහෙ උතුරයි උල්පතක් වගේ
ඔබ එළියයි මවුනි පුන්සඳ වගේ

දරුපෙම හදවතේ මහමෙර උසට
මිහිපිට සිටින දිව අඟනකි ඈ කදිම
මහ සමුදුරත් පැරදුණි ඔබෙ ගුණකඳට
ආඩම්බරයි ඔබ වැනි මව්වරු ලොවට

ඔපයන්ගනා පුලින්දිනී රණතුංග

7 වසර,

පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය,

මහනුවර

————————–

ටහිටි දූපත

තැනින් තැන විසිරී ඇති කුඩා දූපත් රාශියකින් සැදුම් ලත් පැසිෆික් සාගරය ලොව විශාලතම සාගරයයි. එය වටා ඇති දූපත් සොබාදහමේ අපූර්ව නිර්මාණ වේ. ටහිටි දූපත ද පැසිෆික් සාගරයේ පිහිටා ඇති සුන්දර දූපතකි. ටහිටි දූපතේ විශාලත්වය වර්ග සැතපුම් 403ක් වේ.

ඉතා කුඩා දූපතක් වුවද විශාල ප්‍රමාණයක් කඳු ඇත. ටහිටි යනු වර්ෂාව හොඳින් ලැබෙන දිවයිනකි. ටහිට්හි වෙරළ කළපුවලින් පිරී ඇති අතර, ඒවායේ සුන්දර කොරල්පර දක්නට ලැබේ. ටහිටි දූපත වටා රමණීය දූපත් පිහිටා ඇත. ටහිටි දූපත පැසිෆික් සාගරයේ සුන්දර මනාලිය ලෙස සැලකේ. ටහිටි දූපත හා ඒ අවට දූපත් සමූහය වරක් හෝ සියැසින් නැරැඹිය යුතු සොබාදහමේ අපූර්ව නිර්මාණ වේ.

දිනුදි සෙනල්යා

5 ශ්‍රේණිය

ආවේ මරියා කන්‍යාරාමය

මීගමුව

————————–

මගේ වීරයා

ලේ කිරි කර පොවා මා නොවැදු වාට
සැමවිට ආදරෙයි කියා මට නොකියු වාට
රස අහරින් මගෙ කුස සිත පිරෙව් වාට
සදා ණයගැතියි මම මගේ වීර යාට

වැගිරුවා ඔබ දහදිය ලේ මිහිමතට
පැමිණුනා බාධකත් සැමවිට ඉදිරියට
සිටියේ නොසෙල්වි ඔබමයි මහමෙර ලෙසට
වීරයාම විය ඔබ මගෙ දිවිය පුරාවට

ඔබෙ තේජස් පෙනුම තිබේ මගෙ සිත පුරාවට
අමතක නොවේ කිසිදින ඒ පෙනුම මට
සැමදාම මගේ පැතුම මෙය ම විය
සිටින්න සසර පුරා ඔබ මගෙ තාත්තා ලෙසට

ඩබ්.සනුති නිහින්සා

6 ශ්‍රේණිය

කො/ගෝතමී බාලිකා විද්‍යාලය

කොළඹ


පුස්තකාලය

පොත්පත් තැන්පත් කරන ස්ථානය මේ නමින් හඳුන්වන බව සරල ලෙස සඳහන් කළ හැකි ය. ඇත්ත වශයෙන්ම සමාජයේ වසන මිනිසුන් හට නිහඬ උදාර සේවයක් ඉටු කරනු ලබන ප්‍රබල ආයතනයකි පුස්තකාලය. නිසි ලෙස පුස්තකාලය පරිහරණය කරන්නේ නම් එයින් නිවැරැදි මනසක් ඇති වැඩුණු ඥානයක් ඇති, විසිරුණු දැනුමක් ඇති, ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු බිහි වෙයි. ලොව පුරා විවිධ රටවල සමාජවල සොයාගනු ලබන දැනුම, අලුත් අදහස් උදහස්, විවිධ අත්දැකීම්, පොත්පත්වලට කැටිකර ඒවා එක් තැනක තැන්පත් කරයි. එතැන පුස්තකාලයයි.

අලුත් දැනුම පමණක් නොව පොතපතින් විවිධ වූ පුද්ගලයන්, විවිධ චරිත ද හඳුනා ගත හැකි ය. ඒ චරිත අප වසන සමාජයේ අපත් සමඟ වාසය කරනු ලබන නිසා මෙවැනි චරිත හඳුනා ගැනීම කෙතරම් ප්‍රයෝජනවත් ද? මනසින් දියුණු වූ මිනිසා හඳුනා ගැනීම එතරම් ලෙහෙසි කාර්යයක් යැයි නොසිතිය යුතු ය. එය එතරම්ම ව්‍යාකූල වූවකි.

ගැටලු සහගත වූවකි. පොත්පත් කියවීම මඟින් මිනිසාගේ ඥානයේ විශාල වර්ධනයක් ඇතිවේ. එවිට ඕනෑම ගැටලුවක් වටහා ගැනීමේ ශක්තිය ධෛර්ය, අපට හිමි වේ. “පොත්පත් කියවීම උතුම් මනුෂ්‍යයකු බිහි කරයි” ෆ්‍රැන්සිස් බේකර් පඬිවරයා වරක් පැවසූයේ ඒ නිසා ය. තම තමන්ට අවශ්‍ය පොත්පත් මිලදී ගැනීම කෙනකුට අපහසු වන්නට පුළුවන. ඒ ආර්ථික හේතුන් නිසා ය. එහෙත් පුස්තකාලයට බැඳුණහොත් ඒ පුස්තකාලයේ ඇති පොත්පත් ගෙදර ගෙනැවිත් කියවා අවසන් කර ආපසු ගෙනත් දිය හැකි ය. පොත්පත් අපේ හොඳම හිතවත් මිතුරු මිතුරියන්ය. පොත්පත් කියවීමෙන් නියම මනුෂ්‍යයකු වනවා දැකීම අපට සතුටකි. අපි නිරන්තරයෙන් ම පුස්තකාලය පරිහරණය කරමු.

කවිඳු දිලීප විතානගේ

13 වසර,

කෑ/දෙහි, තල්දූව බෞද්ධ ජාතික පාසල

—————–

වෙසක් පෝය දා

ලුම්බිණි උයනේ සල් මල් පිපිලා
සුවඳයි සුවඳයි වෙසක් දිනේ
මී මැසි සමනල කුරුලු කොබෙයියෝ
නටමින් ගයමින් ඉගිළෙන්නේ

ලේන රිළා මුව පැටව් නට නටා
නිදහස් වුණ දවසක් වාගේ
වලා සේලයක් හිරුට වැසීලා
සැඩ රශ්මිය සැඟවී යන්නේ

ගස්වැල්වල මල් පොකුරු පිපීලා
මල් වියනක් වාගේ පෙනෙනා
වෙසක් සුළං රැළි දසත හමනවා
කාගෙත් ගත සිත පුබුදු වෙලා

දිය බුබුලේ නිල් දිය නැළවෙනවා
තිත්ත පැටව් තාලෙට නටලා
ඕලු නෙළුම් මල් මානෙල් පිපුණා
දිය මත සුවඳ හමා ඇදිලා

මහමායා බිසොවුන් පෙරහැරකින්
දෙමව්පියන් දැක්මට එනවා
වෙසක් පෝය දා අද මුළු ලොවට ම
අරුම පුදුම වෙනසක් වෙනවා

තිසර දහම් දිසානායක

11 ශ්‍රේණිය

සිරිධම්ම විද්‍යාලය

ගාල්ල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department