Home » Blog » බුදුහිමි සත්සතිය ගත කිරීම

බුදුහිමි සත්සතිය ගත කිරීම

by lakehouse
0 comment

සිදුහත් බෝසතාණෝ වෙසක් මස පුර පසළොස්වක පොහෙය දින සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. බුද්ධත්වයෙන් පසු සති හතක්ම බුදුරජාණන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධි සෙවණෙහි සමවත් සුවයෙන් ගත කළ සේක. ඉතින් දුවේ පුතේ, එසේ උන්වහන්සේ සත්සතිය ගත කළ ආකාරය පිළිබඳ නැවත් ඔබේ මතකයට නැඟීම මෙම ලිපියෙහි අරමුණයි. ඉතින් පුංචි ඔබත් කියවලා බලන්නකෝ.

පළමු සතියෙහි බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයෙහි වැඩ හිඳීමින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කරමින් සිටිසේක. සිදුහත් තාපසතුමා තවමත් බෝධි මූලයෙහි සිටින්නේ බුද්ධත්වයට පත්වී නැති නිසා යැයි දෙවියෝ සැක පළ කළහ. එම අදහස දැනගත් උන්වහන්සේ දෙවියන්ගේ සැකය දුරු කරගැනීම සඳහා අහසට නැඟී යමා මහා පෙළහර පෑ සේක. මෙය දුටු දෙවියෝ තමන්ගේ සැකය දුරුකර ගත්හ.

දෙවැනි සතියේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊසාන දෙසිනි. මෙසේ සිටිමින් තමන්ට බුදුවීමට උපකාර කළ ජය ශ්‍රී මහා බෝධිය දෙස ඇසිපිය නොහෙළා බලා සිටි සේක. මෙය අනිමිස ලෝචන පූජාව නමින් හඳුන්වයි.

ජය ශ්‍රී මහා බෝධි මූලය සහ අනිමිස ලෝචන පූජාව සිදු කළ ස්ථානය අතර සක්මන් කරමින් බුදුරජාණන්වහන්සේ තෙවැනි සතිය ගත කළ සේක. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය තවදුරටත් මෙනෙහි කරමින් උන්වහන්සේ සක්මන් කරමින් භාවනාවේ යෙදුණහ.

සිව්වැනි සතියේදී බුදුරජාණන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වයඹ දෙසින් පිහිටි රුවන් ගෙයි වැඩ සිටි සේක. එසේ වැඩ සිටිමින් උන්වහන්සේ සොයා ගත් ගැඹුරු දහම් කාරණා මෙනෙහි කළ සේක. එවිට බුදුහිමිගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් විහිදුණු සේක.

පස්වැනි සතියේදී බුදුරජාණන් වහන්සේ වැඩම කළේ අජපාල නම් නුග රුක මුලට ය. මේ රුක් සෙවණෙහි සතියක්ම උන්වහන්සේ සමාප්ති සුවයෙන් වැඩ සිටි සේක. මෙහිදී බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ගුරු තනතුරෙහි තබා ගැනීමට උන්වහන්සේ තීරණය කළහ. මේ අවස්ථාවේදී මාර දූවරු තිදෙනා වූ තණ්හා, රතී, රඟා, බුදුහිමිගේ සිත වෙනස් කිරීමට දැඩි සේ උත්සාහ ගත්හ. එහෙත් එයින් පලක් නොවිණි.

සයවැනි සතියේදී බුදුරජාණන්වහන්සේ මිදෙල්ල ගස් සෙවණෙහි සමවත් සුවයෙන් කල්ගත කළ සේක. එහිදී සුළඟක් සමඟ මහා වැස්සක් ඇද හැලුණි. එම අවස්ථාවේදී මුචලින්ද නම් නාග රාජයෙක් බුදුහිමි වැස්සෙන් ආරක්ෂා කිරීමට පැමිණියේ ය. බුදු හිමිගේ සිරුර වටා දරණ ගසා නයි පෙණය බුදු හිමිගේ සිරුරට ඉහළින් තබා, වර්ෂාවෙන් නාග රාජයා උන්වහන්සේ ආරක්ෂා කළේ ය.

සත්වැනි සතියේදී බුදුරජාණන් වහන්සේ රාජායතන නම් කිරිපලු නුග රුක මුල සමවත් සුවයෙන් කල් ගත කළ සේක.

නදීකා නෙත්මාලි

සිතුවම් – සමන් ශ්‍රී කාන්ත


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department