ආදරණීය දුවේ පුතේ, අප මෙවරත් රජ කෙනකු ගැන කතා පුවතක් කියන්නයි මේ සූදානාම් වෙන්නේ. පණ්ඩු වාසුදේව රජතුමාගේ කතාව පසුගිය සතියේ පුංචි ඔබට කිව්වා. අද අප කියන්න සූදානම් වන්නේ පණ්ඩුකාභය රජතුමා ගැනයි. ඉතින් දුවේ පුතේ, පණ්ඩුකාභය රජතුමා රජ කිරීමට ප්‍රථම පණ්ඩු වාසුදේව රජතුමාගේ වැඩිමහල් පුතා වූ අභය කුමරු අභය රජු නමින් රජකම් කළ බව සඳහන් වෙනවා. ඊට පසු පණ්ඩු වාසුදේව රජතුමාගේ නැඟණියගේ පුතා වූ පණ්ඩුකාභය කුමරු පණ්ඩුකාභය රජු ලෙස රජකමට පත් වෙනවා. ඉතින් දුවේ පුතේ, අප අද ඒ කතාව ඔබට කියනවා. පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාලය කුමන ආකාරයෙන්ද කියලා කියවලා බලන්නකෝ…
පණ්ඩුකාභය රජුගේ අම්මා වන්නේ උන්මාද චිත්‍රා කුමරියයි. තාත්තා වන්නේ දීඝ ගාමිණියි. ඉතින් දුවේ පුතේ, උන්මාද චිත්‍රා කුමරිය ඉපදෙන කොට බමුණන් ඇයගේ පියා වූ පණ්ඩු වාසුදේව රජුට කිව්වේ උන්මාද චිත්‍රාට පුත් කුමරකු ඉපදීමට චඅවස්ථාව නොදෙන ලෙසයි. එලෙස බමුණන් ප්‍රකාශ කිරීමට හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි, උන්මාද චිත්‍රාට පුතෙක් ඉපදුණොත් සිය මාමලා මරා රජ වෙන බව අනාවැකි කියන බමුණන් ප්‍රකාශ කර තිබීමයි. මේ නිසා පුතකු ඉපදුණොත් මරා දැමීමටත් දුවක ඉපදුණොත් හදා වඩා ගැනීමටත් රජ පෙළපතේ අය තීරණය කළා. එහෙත් නොසිතූ ලෙස පුතකු ඉපදුණා. මේ නිසා චිත්‍රා කුමරිය සිය කුමරා සේවිකාවක සමඟ දොරමඬලාව නම් ගමට පිටත්කර යවා එදිනම උපන් ගැහැනු දරුවකු ගෙන්වා ගත්තා.
පණ්ඩුකාභ කුමරු මරණයෙන් ගැලවුණු අවස්ථා
ඐ කුමරු පැසක දමා සේවිකාව දොරමඬලාවට ගෙන යන අවස්ථාවේ දඩයමේ යන කුමරුන්ගේ මාමලා හමු වුණා. එම පැසේ මොනවාද කියලා කුමරුගේ මාමලා ඇසුවා. එවිට සේවිකාව පැසේ ඇත්තේ කැවුම් බව පැවසුවා. ඒ අවස්ථාවේ ඒ අසලින් වල් ඌරන් දිව ගිය බැවින් ඔවුන් ඌරන් පසු පස ගියා. මේ නිසා කුමරුගේ ජීවිතය බේරුණා.
ඐ දෙවැනි වරට කුමරුගේ ජීවිතය බේරුණේ කුමරු දිය ක්‍රීඩා කිරීමට ගිය අවස්ථාවේදියි. ඒ අවස්ථාවේදී කුමරු මැරීමට රාජ පුරුෂයන් ආවත් කුමරු දිය යට ඇති බෙනයක සැඟවීලයි සිටියේ. දිය ක්‍රීඩාවේ යෙදී සිටි අනෙකුත් ළමයින් මරා දැමූ රාජ පුරුෂයෝ ආපසු යන්න ගියා.
ඐ තවත් දිනක් කුමරු නැවතී සිටි ගෙදර ග්‍රාමීය නායකයාට ගින්දර අවශ්‍ය වුණා. කුමරුට අසල ගෙදරකින් ගින්දර ගේන්න යැයි කිව්වා. කුමරුන් වෙනත් දරුවකු අත එවා එහි නැවතුණා. ඒ අවස්ථාවේ ගමට පැමිණි රාජ පුරුෂයන් කුමරුගේ වයසේ දරුවන් මරා දමා යන්නට ගියා. ඒ අවස්ථාවේදී ද කුමරුගේ ජීවිතය බේරුණා. මේ ආකාරයට තෙවැනි වරටත් කුමරුගේ ජීවිතය බේරුණා.
තරුණ වියට පැමිණි කුමරු අනෙකුත් තරුණයන් මෙන් කෙළිදෙළෙන් කාලය ගත කරන අවස්ථාවකදී දිඹුලාගල ප්‍රදේශයේ සැරිසරන වෙළඹකගේ වෙස් ගත් යක්ෂණියක් මුණගැසුණා. ඇය මැරීමට කුමරු සැරසෙන අවස්ථාවේදී තමා නොමැරුවොත් ලංකා රාජ්‍ය ගැනීමට කුමරුට උපකාරී කරන බව ද පැවසුවා. කුමරු ඊට එකඟ වුණා.
කුමරු විවාහ වුණේ අභය මාමාගේ දියණිය සමඟයි. ඇයගේ පියා සී සාන ස්ථානයට කෑම ගෙන යන අවස්ථාවේ කුමරු සමඟ ඔහුගේ පිරිස හමු වුණා. ඒ අවස්ථාවේ කුමරු ඔවුන්ට ආහාර දීමට සූදානම් වුණත් බඳුන් තිබුණේ නැහැ. ඇය අසල විලකින් නෙළුම් කොළ කඩා ගත්තා. එකිනෙහිම ඒ නෙළුම් කොළ රන්වන් පැහැයක් ගත්තා. මේ නිසා පාලි කුමරිය එතැන් පටන් ස්වර්ණ පාලි නම් වුණා.
පණ්ඩුකාභය කුමරු පණ්ඩුකාභය රජු ලෙස අනුරාධපුරය අගනුවර කරගෙන අවුරුදු හැත්තෑවක් රජ කළා. නගරයේ කැළි කසළ බැහැර කරන ස්ථාන කරවා නගර අලංකාර කිරීමේ කාර්ය ආරම්භ කළ මුල්ම රජතුමා මොහුයි. එමෙන්ම ශ්‍රී ලංකාව පුරාම ඇති ග්‍රාමවල සීමා ද මොහු පිහිටුවා නගර අලංකාර කළා.
ඉතින් දුවේ පුතේ, තවත් රජ කෙනකුගේ කතාවක් සමඟ ලබන සතියෙදිත් අප ඔබව හමු වෙන්නම්. මේ සෑම කතා පුවතක්ම ඔබේ මතකයේ රඳවා ගන්න.
නදී
(තවත් රාජ්‍ය සමයක පුවතක් ලබන සතියෙන්)