Home » Blog » ඛේමා තෙරණියගේ කතාව

ඛේමා තෙරණියගේ කතාව

by lakehouse
0 comment

ආදරණීය දුවේ පුතේ, තව දින කිහිපයකින් වෙසක් පොහොය උදා වෙනවා. ඉතින් දුවේ පුතේ, මට හිතුණා පුංචි ඔයාලට වැදගත්ම තෙරණියක් පිළිබඳ පුංචි කතාවක් කියලා දෙන්න. ඉතින් දුවේ පුතේ මේ කතාව කියවලා බලන්නකෝ..

ඛේමා තෙරණියන් පිළිබඳ තේරි ගාථාවල සඳහන් වෙනවා. ඛේමාව විවාහ වුණේ බිම්බිසාර රජතුමා සමඟයි. ඇගේ රූපය හරිම ලස්සනයි. ඇය පරිසරයට හරිම ආදරෙයි. ඇය කවදාවත් බුදුහිමි හමුවෙන්න වේළුවන විහාරයට යෑමට කැමැති වුණේ නැහැ. එයට හේතුව බුදුරජාණන්වහන්සේ රූපයට දොස් කියනවා කියලා අදහසක් ඇයට තිබුණ නිසා. එහෙත් දුවේ පුතේ කිසිම දිනක බුදුරජාණන්වහන්සේ රූපයට දොස් කිවුවේ නැහැ. ඛේමා බිසව කෙසේ හෝ බුදුරජාණන්වහන්සේ හමුවීමට යවන්න බිම්බිසාර රජතුමාට වුවමනා වුණා. එහෙත් ඛේමා කැමැති වුණේ නැහැ. මේ නිසා රජතුමා උපක්‍රමයක් යෙදුවා. ඒ මොකක්ද දන්නවාද? ඇය පරිසරයට කැමැති නිසා වේළුවනාරාමයේ ඇති ලස්සන ගැන අසන්නට සැලැස්සුවා. ගස්වල මල් පිපිලා සුවඳ හමනවා. සිසිල් සුළං හමාගෙන යනවා. හැම පැත්තෙන්ම කුරුල්ලන්ගේ කිචි බිචිය ඇහෙනවා. මේ සුන්දරත්වය පිළිබඳ ගීතයක් ලියවා ගායකයකු ලබා ඛේමාවට ඇසෙන්නට ගායනා කෙරෙව්වා. ඇය මේ ගායනය අසා සතුටට පත්වුණා. ඊට පස්සේ රජතුමාගෙන් වේළුවනාරාමයට යෑමට අවසර ඉල්ලුවා. ඉතින් රජතුමා ඛේමා බිසව සමඟ වේළුවනාරාමයට ගියා. වේළුවනාරාමයේ ඇති සුන්දරත්වය දැක බිසව තවත් සතුටට පත්වුණා.

මේ අවස්ථාවේ බුදුරජාණන්වහන්සේ පිරිසකට ධර්මය දේශනා කරනවා. ඛේමා බිසවත් ඒ අසල හිඳ බණ ඇසීමට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ ඛේමාට පවන් සලන රූමත් කාන්තාවක් මවලා තිබුණා. ඇය ඛේමා බිසවටත් වඩා ලස්සනයි. ඛේමාටත් එහෙම හිතුණා. ටිකෙන් ටික එම කාන්තාවගේ සම අව පැහැ ගත්තා. ඇගේ සම රැලි වැටුණා. කෙස් සුදු වුණා. දත් හැලිලා. නහර ඉලිප්පුණා. කොන්ද කුදු වුණා. මේ‍ වෙනස්වීම ඛේමා සිය ඇස් දෙකින්ම දැක්කා. මේ සිද්ධිය දැක්ක ඛේමා තෙරණිය දුකට පත්වුණා. මට මොනතරම් සැප සම්පත් තිබුණත් මොකද කියලා ඇයට හිතෙන්න ගත්තා. ඇයට ජීවිතයේ හැටි අවබෝධ වුණා. මේ ශරීරය අනියතයි කියලා ඇයට වැටහුණා. බුදුහිමි ඇයට කායගතා සතිය වඩන්න කියලා දුන්නා. මෙහෙම දහම් ඇසූ ඛේමා බිසව මාර්ගඵල ලැබුවා. බුදුරජාණන්වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති කරගත්තා. බිම්බිසාර රජතුමාගේ අවසරය මත ශාසනයේ පැවිදි බව ලැබුවා. පහනේ දැල්ල දෙස බලා සිටිමින් අනියත බව සිහිපත් කළ ඇය රහත්බවට පත් වුණා. ඇය ප්‍රඥාවන්ත භික්ෂුණින් අතරින් අගතැන්පත් වුණා. ඉතින් දුවේ පුතේ මේ කතාවෙන් අපට ඉගෙනීමට ආදර්ශක් තියෙනවා. ඒ මොකක්ද දන්නවා ද? ඛේමා ආඩම්බරයෙන් ගත කළ කාලයේ ඇයට යහපතක් වුණේ නැහැ. එහෙත් ඇය නිහතමානීව ජීවිතය තේරුම් ගැනීමෙන් පසු ඇගේ ජීවිතයට යහපතක් උදා වුණා. මේ නිසා සෑමවිටම යහපතක් උදා වෙන ලෙස කටයුතු කරන්න.

 

සන්ධ්‍යා ප්‍රියදර්ශනී අතුකෝරල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department