Home පාසල් පුවත් නායකයා අපක්ෂපාතී විය යුතුයි

නායකයා අපක්ෂපාතී විය යුතුයි

by lakehouse
0 comment

මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව එසඳී සනාත්මි මෙත්නුලි ලියනපතිරණ

නායකයා තමන්ගේ කණ්ඩායම සමඟ ඉදිරි ඉලක්කයට යන්නෙක් විය යුතුයි. එමෙන්ම නායකයාට තමන්ගේ දර්ශනය පිළිබඳ විශ්වාසයක් තිබීම ඉතා වැදගත් ය. ස්වයං විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නායකයා අසමත් වේ නම් ඔහුට හෝ ඇයට ඉලක්කය වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත. මේ නිසා නායකයාට තමා කෙරෙහි විශ්වාසයක් තිබිය යුතුයි. ඒ වගේම තම කණ්ඩායම පිළිබඳ මනා අවධානයක් සහ අවබෝධයක් තිබිය යුතුයි. එක් එක් පුද්ගලයා පිළිබඳ විශ්ලේෂණයක් නායකයාගේ මනසේ තිබීම ඉතා වැදගත් ය. මේ හඳුනා ගැනීම වැඩ පැවරීමට මෙන්ම කණ්ඩායමේ එකඟතාව පැහැදිලි කරගැනීම සඳහා වැදගත් ය. පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෝ නායිකාව වීමෙන් ප්‍රායෝගික අත්දැකීම් ගොන්නක් සිය ජීවිතයට එකතු කරගනියි. එලෙස එකතු කරගත් අත්දැකීම් වඩාත් වැදගත් වන්නේ පාසලෙන් ඉවත්වී රැකියාවක් සඳහා සමාජගත වූ විටයි. පාසලේ ලබා දෙන නායකත්වය පිළිබඳ පුහුණුවීම් මෙහිදී වැදගත් වේ. මෙලෙසින් පුහුණුවීම් ප්‍රගුණ කරන ආදරණීය ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් ඇගේ තොරතුරු මිහිරට හෙළි කරයි. ඇය මාතර සුජාතා විද්‍යාලයේ එසඳී සනාත්මි මෙත්නුලි ලියනපතිරණයි. අපි බලමු ඇය පුංචි ඔබට කියන්නේ මොනවගේ දෙයක් ද කියලා.


“මට ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර ලැබුණ දවසේ මට ලොකු සතුටක් දැනුණා. ඒක පාසලක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක විශේෂ වරප්‍රසාදයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ දෙය මට ලැබුණා. මට ඕනේ අපේ සුජාතා මාතාව පෙරටම ගෙනියන්න. මම 6 ශ්‍රේණියෙදි තමයි සුජාතා විද්‍යාලයට ආවේ. ඒ , 5 ශිෂ්‍යත්වය සමත්වීමෙන්. ඊට ඉස්සෙල්ලා මම මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබුවේ. කුඩා කාලයේ සිට මම ගොඩක් කැමැති ගණිතයටයි, ඉංග්‍රීසිවලටයි. පස්සේ මට විද්‍යාවටත් ලොකු කැමැත්තක් ඇති වුණා.”

” මම විද්‍යාලයේ පැසි පන්දු කණ්ඩායම නියෝජනය කළා. ඒ කාලයේදි සමස්ත ලංකා යෑමට මට හැකියාව ලැබුණා ඒ වගේම මම දැන් පළමු පෙළ බාලදක්ෂිකාවක්. ඒ වගේම ජනාධිපති ප්‍රදානය බාලදක්ෂිකා අපේක්ෂිකාවක්. 2021 වර්ෂයේදී කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙසත් මම කටයුතු කළා. ඒ හැම දෙයකින්ම මට අත්දැකීමක් ලැබුණා. දහම් පාසලෙත් ශිෂ්‍ය නායිකාවක් ලෙස මම කටයුතු කරනවා. 2023 වර්ෂයේදී අපොස සාපෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මම හදාරා විභාගයට ලියුවා. එයින් මම ඒ සාමාර්ථ නවයක් ලැබුණා. ඒ වගේම විද්‍යාලයේ යුනෙස්කෝ සංගමය, බෞද්ධ සංගමය, දැනුම මිනුම සංගමය, චීන භාෂා සංගමය වැනි සංගම්වල ක්‍රියාකාරීව කටයුතු කරනවා. මම මගේ සේවය මගේ පාසලට උපරිමව ලබා දෙනවා. කුමන අමතර ක්‍රියාකාරකම්වල යෙදුණත් අප අධ්‍යාපනයට මුල් තැන දෙන්න අවශ්‍යයි. අප මේ හැම දේම කරන්නේ දැනුමෙන් පිරිපුන් මිනිසකු වීමටයි.”

” නායකත්වයට දැනුමක් අවබෝධයක් අවශ්‍යයි. නායකයකු සෑම විටම අනෙක් අයට ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. ඒ වගේම ඍජු තීරණ ගන්න ඕනේ. අනෙක කණ්ඩායමේ අනෙක් අයට නිවැරැදි මඟ පෙන්වන්න ඕනේ. සෑම විටම අනෙක් අය සමඟ එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ එයින් කණ්ඩායමට සිය නායකයා පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙනවා කියලා. මම හිතන්නේ නායිකාවක් ලෙස අපේ කණ්ඩායමට අප පිළිබඳ විශ්වාසයක් ඇති වන ලෙස අප වැඩ කරන්න අවශ්‍යයි. මම ඒ දෙය කරන්න උපරිම උත්සාහ කරනවා. ඒ වගේම අපේ පාසලේ නායකත්වය පිළිබඳ තිබෙන පුහුණු වැඩසටහන්වලින් ද අපට දැනුමක් ලැබෙනවා.”

මෙම අවස්ථාව මට උදාකර දුන් සුජාතා විදුහල් මාතාවට මම පළමුව ස්තූතිවන්ත වෙනවා. දෙවනුව විදුහල්පතිනිය අයි.සුභාෂිණි සිරිබද්දන මහත්මියට හදවතින් ම ස්තුතිවන්ත වෙනවා. එසේම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියන් හා සහකාර විදුහල්පතිනියන්ටත් ශිෂ්‍ය නායිකා මණ්ඩලය භාර සහකාර විදුහල්පතිනිය පුර්ණිමා ජයතිස්ස මහත්මියටත්, ශිෂ්‍ය නායිකා මණ්ඩලය භාර පී.පී.එන්.ලශිනි ගුරුමහත්මිය ඇතුළු ශිෂ්‍ය නායිකා මණ්ඩලයේ සියලු ම ගුරුභවතුන් වෙතත්, අංශ ප්‍රධාන ගුරුභවතුන් ඇතුළු විද්‍යාලයීය සියලුම ගුරුභවතුන් වෙත මාගේ හදපිරි ස්තූතිය පුද කරනවා. එසේ‍ම මේ සෑම ජයග්‍රහණයක් පසුපසම යෝධ සෙවණැල්ලක්ව සිටි මාගේ ආදරණීය මව්පියන්ට ද බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

” මම මේ වන විට ගණිතය අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරනවා. මගේ අනාගත බලාපොරොත්තුව මොරටුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අනාගතයේ ඉංජිනේරු වෘත්තියට පිවිසිලා රටට සේවය කරන්නයි.”

” මම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ලැබූ සියලු අත්දැකීම් මගේ අනාගත වෘත්තිය සාර්ථක කරගැනීමට බෙහෙවින්ම ඉවහල් වේවි කියලා මම විශ්වාස කරනවා. පුංචි ඔබටත් මට කියන්න තියෙන්නේ අප වගකීමක් ඉටු කරනවා කියලා පොරොන්දු වුණොත් එය ඒ ආකාරයෙන් ඉටු කරන්න ඕනෙ. එය අපේ අනාගතය සරසන්න වැදගත් වේවි.”

ඇයගේ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department