Home » Blog » දෙල්ගමුව රාජමහා විහාරය

දෙල්ගමුව රාජමහා විහාරය

by lakehouse
0 comment

ආදරණීය දුවේ පුතේ අද දවසේ මම ඔයාලට කියලා දෙන්න සූදානම් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි වසර හතළිස් තුනක කාලයක් දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා සහිතව තබා ගත් දෙල්ගමුව රාජමහා විහාරස්ථානය පිළිබඳයි.

කොළඹ – රත්නපුර මාර්ගයේ කුරුවිට සිට කිලෝමීටරයක් පමණ ගිය පසු හමුවන හිග්ගස්හේන හන්දියෙන් දකුණට තවත් ාකිලෝමීටරයක් පමණ ගිය විට හමුවන මෙම විහාරස්ථානය රාජාවලියේ හා සුළු රාජාවලියෙහි සපරගමු විහාරය ලෙස ද මහාවංශයෙහි ලබුජගාම විහාරය ලෙස ද හඳුන්වා ඇත. අලෙගියවන්න මුකවැටිතුමන් විසින් රචිත සැවුල් සංදේශයේ ද මෙම විහාරස්ථානය පිළිබඳ තොරතුරු අඩංගු වේ. සමන් දේවාලයේ පැරැණි ලේකම් මිටි හා තුඩපත් ආදියෙහි ද මෙම විහාරස්ථානය පිළිබඳ තොරතුරු අඩංගු වේ.

දෙල්ගමුව විහාරස්ථානයේ ඉතිහාසය පිරික්සීමේදී ධාතූන් වහන්සේ සමඟ ඇති සබැඳියාව විශේෂිත ය. පස්වැනි බුවනෙකබාහු රජු විසින් දන්ත ධාතුන් වහන්සේ කෝට්ටේ රාජධානියට වැඩම කරවා දළදා මාලිගාවක් තනවා තැන්පත් කරන ලදි. කෝට්ටේ රාජධානිය තුළ ඇති වූ අස්ථාවර රාජ්‍ය පාලනය හේතුවෙන් ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්ව ඇති බව වටහා ගත් දළදා වහන්සේ භාරව සිටි භික්ෂූන් වහන්සේලා හා කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිලමේතුමන් විසින් දළදා වහන්සේ සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුට භාර දෙන ලදි. මායාදුන්නේ රජු විසින් දළදා වහන්සේ දෙල්ගමුව විහාරස්ථානය වෙතට වැඩම කරවා සතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා විහාරස්ථානයේ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිටුපස කුරහන් ගලක් තුළ සඟවා තැබූ බවත් එතැන් පටන් වසර හතළිස් තුනක කාලයක් දෙල්ගමුව විහාරස්ථානයේ සුරක්ෂිතව තිබූ බවටත් ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. අනතුරුව ක්‍රි.ව. 1592 දී පළමු විමලධර්මසූරිය රජු විසින් මහනුවර ශ්‍රී දළදා මැඳුරට වැඩම කරවන ලදි.

මෙම විහාරස්ථානය දෙල්ගමුව වෙල්යාය කෙළවරේ උස් බිමක් මත පිහිටා ඇති හෙයින් සුන්දර වටපිටාවකට උරුමකම් කියයි. රාජාවලියේ සඳහන් විස්තරයට අනුව මෙම විහාර භූමියට ගිනිකොන දිගින් දළදා වහන්සේට මල් සැපයූ ඕවිට නම් රාජකීය මල්වත්ත පිහිටා තිබී ඇත. බටහිරින් ඇත්තේ ගල්කඩදෙණිය යි. එය දෙල්ගමු විහාරය තැනීමට ගල් කැඩූ ස්ථානයක් වශයෙන් හඳුනාගෙන ඇත. දෙල්ගමුව වෙල්යාය මැද සංකේතයක් හෝ සලකුණක් හඟවන ගල්ටැඹක් දක්නට හැකි අතර, සතර දිශාවෙන්ම මෙවැනි තවත් ගල්ටැම් හමු වී ඇත.

දෙල්ගමුව විහාරස්ථානය සතුව ඇති වටිනාම ඓතිහාසික වස්තුව වන්නේ දළදා වහන්සේ සඟවා තැබූ කුරහන් ගලයි. එය අඩි තුනහමාරක පමණ විෂ්කම්භයක් හා අඩි දෙකහමාරක පමණ උසකින් යුක්ත වේ. මෙහි මැද සිදුරේ දළදා වහන්සේ තැන්පත් කොට තිබී ඇත. දළදා වහන්සේ බොහෝ කාලයක් තැන්පත් කොට ආරක්ෂා කර ගත් කුරහන් ගල අදත් වන්දනාවට පාත්‍ර වෙයි. පසුකාලීනව මෙම විහාරස්ථානය පෘතුගීසීන් අතින් විනාශයට පත් වූවත් පැරැණි පියගැට පෙළක්, වාහල්කඩ කොටසක්, ආසනඝරයක් හා පැරැණි බෝධි වෘක්ෂය අදටත් අපට දැක ගත හැකි ය.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department