Home » Blog » දෑතේ ඇති වැලි කැට ගණනට අවවාද ඉල්ලූ රාහුල පොඩි හාමුදුරුවෝ

දෑතේ ඇති වැලි කැට ගණනට අවවාද ඉල්ලූ රාහුල පොඩි හාමුදුරුවෝ

by lakehouse
0 comment

ආදරණීය දුවේ පුතේ, අවවාද කියන්නෙ බොහොම වටිනා දේවල්. ඉතින් දුවේ පුතේ, අපට කවුරුහරි අවවාදයක් දුන්නොත් අපි එය පිළිපදින්න ඕනේ. ඒ අවවාද දෙන්නේ පුංචි අපේ හොඳටයි කියලා මුලින්ම අපි තේරුම් ගත යුතුයි. ඉතින් දුවේ පුතේ, උදේ පාන්දර මිදුල අතුගාන වෙලාවට වැලි අහුරක් උඩට වීසිකර ඒ වැලි අහුරේ ප්‍රමාණයට එදිනට අවවාද ලැබේවා යැයි ප්‍රාර්ථනා කළ පුංචි තෙරණුවන් කෙනකු පිළිබඳ කතාව කියන්නයි මේ සූදානම. ඒ තමයි රාහුල පොඩි හාමුදුරුවෝ.

සිදුහත් කුමරා විවාහ වුණේ යසෝදරා නම් ලස්සන කුමාරිකාවක් සමඟයි. ඉතින් මේ දෙදෙනා විවාහ වුණාට පස්සේ යසෝදරා දේවියට පුත් කුමාරයෙක් ලැබෙන්න හිටියා. ඉතින් දුවේ පුතේ, මේ කුමරා ලැබුණ දවසේම තමයි සිදුහත් කුමරු ගිහිගෙය හැරදමා ගියේ. ඒකට අපි කියන්නේ අභිනිෂ්ක්‍රමණය කියලා. පුතා උපන්න පණිවිඩය ඇසූ ගමන්ම සිදුහත් කුමරු මෙසේ පැවසුවා. ”රාහුලයෙක් උපන්නා බැම්මක් ඇති වුණා” කියලා. මේ නිසා මේ පුංචි පුත් කුමරාට රාහුල කියලා නම තැබුවා. සිදුහත් කුමරු ගිහි ගෙය හැරදමා ගියාට පසු රාහුල කුමරු තම මව සමඟ රජ මාලිගාවේ අවුරුදු සතක් හිටියා. මේ අතරතුර සිදුහත් කුමරු බුද්ධත්වය ලබා භික්ෂූන් වහන්සේලා සමඟ කිඹුල්වත් නුවරට වැඩම කළා. තම මෑණියන් වූ යසෝදරාවගේ උපදෙස් අනුව සිය පියාගෙන් සිය දායාදය ඉල්ලමින් යෑමට පුංචි රාහුල කුමරු අවසර ඉල්ලුවා. මේ අනුව බුදුහිමි සමඟ විහාරයට ගිය රාහුල කුමරු ඔබගේ සෙවණැල්ල ද සැපයැයි කියමින් බුදුහිමි අසල දැවටුණා. ඊට පසු උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට රාහුල කුමරු භාර කළා. උන්වහන්සේ පුංචි රාහුල කුමරු මහණකර සිය පියාගේ දායාදය අත්පත්කර දුන්නා. මෙයින් දුකට පත්වූ සුද්දෝධන රජතුමා මීට පසු මවුපියන්ගෙන් අහන්නේ නැතිව දරුවන් පැවිදි නොකරන බවට බුදුහිමිගෙන් ඉල්ලීමක් කළා. බුදුහිමි එය පිළිගත්තා.

මේ අතර රාහුල පොඩි හාමුදුරුවෝ ධර්මය ඉගෙන ගනිමින් වෙහෙරේ වැඩ සිටියා. සෑම උදෑසනකම විහාරයේ වැලි මළුව අතුගෑමට අමතක නොකරන රාහුල පොඩි හාමුදුරුවෝ එය කළේ ඉතා කැමැත්තෙන්. මෙසේ මිදුල අතුගා වැලි අහුරක් උඩට දමා මේ වැලි කැට ගණනට මට අවවාද ලැබෙන්න කියලා ඉල්ලුවා. රාහුල හිමි ඉතා ඉවසිලිවන්තයි. කරුණාවන්තයි. දවසක් මිදුල අතුගා ඉදල නිසි තැබුවේ නැහැ යැයි චෝදනාවක් ආවා. තවත් අවස්ථාවක රාහුල පොඩි හාමුදුරුවෝ අතුගෑ මිදුලට තවත් හාමුදුරුනමක් කුණු දාලා. පසුව එදා හරියට මිදුල අතුගෑවේ නෑ කියමින් රාහුල හාමුදුරුවන්ට චෝදනාවක් කළා. ඒත් මේ හැම දෙයින්ම රාහුල හමුදුරුවෝ ඉවසිලිවන්ත වුණා. කෝප වුණේ නැහැ. ඉතින් දුවේ පුතේ, පුංචි ඔයලාත් රාහුල පොඩි හාමුදුරුවන් වගේ ඉවසිලිවන්තව කීකරුව කටයුතු කරන්න.

 

සන්ධ්‍යා ප්‍රියදර්ශනී අතුකෝරල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department