වාර්යා යුක්රේනයේ ගම්බද පළාතක ජීවත් වුණු පුංචි දැරියක්. ඇයගේ මව ගෙවිලියක්. අම්මා හැමදාම තිරිඟු යායක වැඩ කරන්න යනවා. වාර්යාත් අම්මත් එක්ක තිරිඟු කෙතට යනවා. අම්මා තිරිඟු යායේ වැඩ කරන තුරු වාර්යා අවට තිබූ විවිධ ශාක පැළෑටි අතරේ සෙල්ලම් කරන්න පුරුදු වි සිටියා. එක දවසක් වාර්යා සෙල්ලම් කරමින් ඉඳලා ඇයට මහන්සි දැනුණා. ඒ ගිම්හාන කාලය නිසා හිරු රශ්මියත් තදින්ම තිබුණා. මේ නිසා වාර්යාට දැඩි වෙහෙසක් දැනුණා. ඉතින් ඇය අසල තිබූ තිරිඟු පිදුරු මිටියක සෙවණට වෙලා නිදාගත්තා. ඇයටත් නොදැනීම ඇයට තදින් නින්ද ගියා. වාර්යාගේ අම්මා දවස පුරාම වෙහෙස මහන්සි වී වැඩ කළා. ඇය සිතුවා වාර්යා වෙනදා වගේම සෙල්ලම් කරනවා ඇති කියලා. ඉතින් ඇය තිරිඟු යායේ එහා කොනටම ගමන් කළා වැඩ කරමින්. මේ අතරේදී තදින් නින්ද ගොස් සිටි වාර්යාට එක පාරටම ඇහැරුණා. ඇය වටපිට බැලුවා. අම්මා පේන මානෙකවත් සිටියේ නෑ. වාර්යාට හොඳටම බය හිතුණා. තමන් අතරමං වෙලා කියලා වාර්යාට බය හිතුණා. ඉතින් ඇය හයියෙන් කෑගසන්න පටන් ගත්තා.
ඇගේ හඬ ඇසිලා තිරිඟු කෙත්වල වැඩ කරමින් සිටි ගොවියන් සහ ගෙවිලියන් එතැනට රැස් වුණා.
“ඇයි පුංචි දරුවෝ ඔයා අඬන්නේ?” එක් ගෙවිලියක් ඇසුවා.
“මගේ අම්මව මට මඟ ඇරිලා” වාර්යා ඉකි බිඳීමින් පැවසුවා.
“කවුද ඔයාගේ අම්මා? මොන වගේද ඔයාගේ අම්මා? අපට කියන්න. අපි ඇයව සොයා දෙන්නම්” ගෙවිලියන් පැවසුවා.
ඇස් පොඩි කරමින් වටපිට බැලූ වාර්යා මෙහෙම කිව්වා.
“මගේ අම්මා තමයි මේ මුළු ලෝකයෙන්ම ලස්සනම ලස්සන කාන්තාව. ඔව් ඇය තමයි ලස්සනම කාන්තාව”
එය අසා එතැන සිටි ගොවියන් අසල තිබූ ගම්මානවල සිටි තරුණ ලස්සන කාන්තාවන් සියලුදෙනා එතැනට කැඳවූවා. වාර්යා ඔවුන් සියලුදෙනා දෙස හොඳීන් බැලුවා. එක් එක් කාන්තාව අසලටම ගොස් ඔවුන්ගේ මුහුණු දෙස හොඳීන් බැලුවා. ඒත් එතැන ඇයගේ අම්මා සිටියේ නැහැ.
වාර්යා නැවතත් අඬන්න පටන් ගත්තා.
“මේ කවුරුවත් නෙවෙයි මගේ අම්මා. මගේ අම්මා හරිම ලස්සනයි” එසේ පවසමින් වාර්යා ඇඬුවා.
එවිටම ඈතින් කාගේදෝ කටහඬක් ඇසුණා.
“වාර්යා! වාර්යා! මගේ දුවේ ඔයා කොහෙද?” එසේ අසමින් කාන්තාවක් හති දමමින් එතැනට දිව ආවා. ඇය වාර්යා වටේ සිටි සෙනඟ තල්ලු කරමින් වාර්යා අසලට දිව ආවා.
ඇය තරබාරු තලෙළු එතරම් පියකරු පෙනුමක් නැති කාන්තාවක්. තිරිඟු කෙතේ වැඩ කරලා ඇය දහදියෙන් පෙඟිලයි සිටියේ. ඇය හණිකට වාර්යා අසලට පැන වාර්යාව වඩාගෙන ඇයව තදින් සිප ගත්තා.
“වාර්යා, මං බය වුණා ඔයාව හොයාගන්න බැරිවුණාම. ඔයා කොහෙද හිටියේ මගේ දුවේ?” එසේ පැවසූ ඇය වාර්යාව තව තවත් තදින් සිප ගත්තා.
ඉන්පසු වටපිට බැලූ ඇය එතැන සිටි සියලුදෙනාට ස්තූති කළා වාර්යාව ආරක්ෂා කර ගත්තාට ඇය එනතුරු. ඉන්පසු ඇය වාර්යාව තුරුලු කරගෙන එතැනින් නැඟිට නිවෙස බලා ආපසු යන්න පිටත් වුණා. වාර්යා මවගේ උරහිස් අතරින් එබී බලා එතැන සිටි අයට මෙසේ පැවසුවා.
“දැක්කා නේද ඔයාලා? මගේ අම්මා නේද ලස්සනම ලස්සන කාන්තාව”
වාර්යා හරිම සතුටින් අම්මාට තුරුලු වී යන දෙස මිනිසුන් සියලුදෙනා පුදුමයෙන් බලා සිටියා.
මේ කතාවේ එන වාර්යාගේ අම්මා බාහිර රූපයෙන් එතරම් ලස්සන කාන්තාවක් නෙවෙයි කියලා අපට තේරුණා නේද? එහෙම නම් ඇයි වාර්යා, ඇයගේ අම්මා ගොඩක් ලස්සන කෙනෙක් කියලා කිව්වේ? ඒ, ඇයගේ පුංචි හිතට අම්මාගේ ආදරය තදින්ම දැනුණ නිසා නේද?
මේ කතන්දරය කියවූ පුංචි ඔයාලා එයින් ගත් ආදර්ශය කුමක්ද? ඒ තමයි අපේ හදවතට තදින්ම මවගේ පියාගේ හෝ වෙනත් කාගේ හෝ ආදරය දැනෙනවා නම් ඇයගේ හෝ ඔහුගේ අභ්‍යන්තර ගතිගුණ ලස්සනයි නම් අපට ඇයගේ හෝ ඔහුගේ බාහිර රූපය කුමන ආකාර වුණත් අපට ඒ පුද්ගලයාව හරිම ලස්සනයි කියලා දැනෙනවා කියන එක.
ඉතින් දුවේ පුතේ, ලෝක මව්වරුන්ගේ දිනයත් (මැයි 12 ඉරිදා) යෙදී තිබෙන මේ සතියේ ඔයාලා වෙනදාටත් වඩා ඔයාලගේ අම්මට ආදරය කරාවි, ඇයගේ ආදරයේ අගය වටහා ගනීවි කියලා මං හිතනවා.
යුක්රේන ජන කතාවක් ඇසුරෙන්
හර්ෂණී ගමගේ