Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by lakehouse
0 comment

හිත් කියවන පොත්

සංවාදය මිනිසාව සූදානම් කරවයි.මිනිසා සම්පූර්ණ වන්නේ කියවීමෙන් වන අතර, ලිවීම පරිපූර්ණ මිනිසෙකු බිහි කරයි. සංවාදය, කියවීම හා ලිවීම යන සංකල්ප ත්‍රිත්වයම එක් වූ තැන විශ්ව ගම්මානයක නිර්මාණශීලී හැඩතලය මැවේ. එහි ඉදිරි අනාගතය මානව ක්‍රියාකාරීත්වය මත රඳා පවතී. දැනුම, ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණත්වයට පත් නො වූවන් පිරිසක් වේ නම් යම් රටක, මුළු මහත් ලෝකයක කඩාවැටීම එයින් තීරණය වේ. බුද්ධියෙන් සුපෝෂිත මානවයා කියවීම මඟින් විචාරශීලී වේ. සංවර්ධිත රටක් වන ජපානය තම වැසියන්ගේ දැනුම යාවත්කාලීන කරගැනීම සඳහා මෙතෙක් කල් අනුගමනය කළ ක්‍රියාකාරී සැලසුම කාගේත් සිත් ගනී. සෑම වසරකම ලොව හොඳම පොත් තම රට වෙත උපක්‍රමශීලීව ගෙන්වා ගනිමින් එය ඇගයුමට ලක්කොට ඒවා ජපන් භාෂාවට පරිවර්තනය කරමින් රටපුරා පුස්තකාලවලට බෙදා හරිනු ලබයි. ඒ මඟින් ලෝකයේ වෙනත් සංස්කෘතීන්හි හරවත් හා ගුණාත්මක වටිනාකම්හි අංකුර තම රටෙහි රෝපණය කිරීමට ඔවුහු උත්සාහ ගනිති. පෙර අපර දෙදිගම යා කරන භාෂාත්මක පාලම කියවීමයි. චතුර්විධ

භාෂා කුසලතා පෙළගැස්මෙහි එන සවන්දීම, කථනය, කියවීම හා ලිවීම යන සංකල්ප එකිනෙකට බද්ධ වූ චක්‍රයකි.

එහි මුල මැද අග යා කරන සන්නිවේදන ප්‍රවාහය වන්නේ භාෂාව යි. අඩි සිය ගණනක් උසැති උණ බට හිස් අවකාශය සොයා අහසට ඇදේ. එහෙත් ඇතුළතින් හිස් ය. මහ පොළොව සිප ඉහළට ඇදෙන වී කරල හොඳින් පැසීමත් සමඟ නැවත තමාව පෝෂණය කළ මිහි මව දෙසට ඍජු බව මුදා හැර මෘදුව බලයි. කියවන්නා නිරීක්ෂකයෙකි. ගවේෂකයෙකි. විවෘත මනසින් ලොව කියවන්නෙකි.කියවීම මඟින් තමන් උපයා සපයා ගත් අත්දැකීම් ඉවහල් කොටගෙන අන් අයගේ හිත් කියවීමට ඔහුට ඇති හැකියාව ජීවිතය ජීවත් කරවන අමිල වරප්‍රසාදයකි. ලොවක් විනිවිද දකින්නට බහුවිධ මානයන් වේ නම් එහි වැඩි අගයක් කියවීම සපුරාලයි.

ඩබ්.කේ. රොහන්සා නිසලනී

12 ශ්‍රේණිය

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය

වේයන්ගොඩ


 

ලෝක මව්වරුන්ගේ දිනය

‘අම්මා’ යන වචනය ආදරණීය වදනකි. ආදරය ඇගේ නැළවිලි ගීයකි. ඇය එම ගීයෙන් දරුවන් සනසයි.‘අම්මා’ යන වචනය, සොඳුරු වදනක් වන්නේ විවිධ අකුරුවලින් අම්මාගේ නොයෙක් ගුණ විද්‍යමාන වන බැවිනි. ‘අ’ යන්නෙන් ආදරය ද, ‘ම්’යන්නෙන් සොම්නස ද, ‘මා’ යන්නෙන් මාලිමාව ද විද්‍යමාන වේ. ආදරය යනු මානවයාගේ කරුණාව සමඟ ගැබ් වූ සුන්දර හැඟීමකි. අම්මාගේ ආදරය මහ මෙරක් තරම් ය. සොම්නස යනු සතුටයි. එහෙත්, අම්මාගේ සතුට නොව අන් අයගේ සතුටයි. ඇය අනෙක් අය සොම්නසින් සනසයි. මාලිමාව යනු මඟ පෙන්වීමයි. එයින් මවගේ මඟ පෙන්වීම විද්‍යමාන කරයි.

“ඔවදන් දී මනා

රකී දෑස මෙනා

දැනුමත් දී මනා

තමන්ගෙ පණ මෙනා”

ඉහත කවිය අම්මාගේ ඔවදන් හා අම්මා දරුවන්

රැක ගැනීම විද්‍යමාන කරයි. ඉහත කවියෙන්

අම්මාගේ සෙනෙහස ද ජනිත කරයි.

“ගල්වා හිසෙහි තෙල් යහමින්

එල්ලා කරෙහි පංචායුධය

අල්ලාගෙන අතින් මා

පාසලට එක්ක ගිය

අකුරු නූගත් අම්මා ඔබයි”

ඉහත කවියේ අම්මා තම දරුවන් පාසලට ගෙන යෑමට කරන මෙහෙය ජනිත කරයි. එම කවියේ අම්මා තම දරුවා පාසලට පිළිවෙළට යවන්නට කරන මෙහෙය ද මනාව විද්‍යමාන කරයි. මෙම කවිය අම්මා ගැන මහගම සේකරයන් විසින් ලියන ලද මාහැඟි කවියකි.

“ඉලපත ගෙන ඇය ගෙය අතු ගාන විට

ලෝකෙම ලස්සන ආවා වගෙයි ගෙට

ඇගෙ පතුලේ දූවිලි වටිනවා මට

මහ රැජනගෙ කිරුළේ ඇති මැණික් කැට”

ඉහත කවිය මර්සලීන් ජයකොඩි පියතුමා විසින් රචිත කවියකි. එම කවිය අම්මාගෙන් නිවෙසට සිදුවන මෙහෙය හා කාර්යභාරය විද්‍යමාන කරයි. මෙම කවියෙහි අම්මාගේ පතුලේ ඇති දුහුවිලි මහ රැජනගෙ කිරුළේ ඇති මැණික් කැටවලට සමානකර ඇත. මෙහි එළිවැට මනාව යෙදී ඇත. විට, ගෙට, මට, කැට යන පදවල ‘ට‘ යන ශබ්දය අනුප්‍රාසය ඇති කරයි. එය කවියේ එළිවැට විද්‍යමාන කරයි.

අමෙරිකානු ජාතික ඇනා ජාර්විස් (Anna Jarvis) යන තැනැත්තිය ලෝක මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ වේ. ඇය මව්වරුන්ගේ දිනයෙන් ලෝකයට මව්වරුන්ගේ කැප කිරීම විද්‍යමාන කරයි.

මව්වරුන්ගේ දිනයේදී ත්‍යාග හා භෞතික සම්පත් මව්වරුන්ට ලබා දීමට වඩා අප ඔවුන්ට සෙනෙහසින් සැලකිය යුතු ය.

අකීෆ් අහමඩ්

9 ශ්‍රේණිය

රෝයල් ජාත්‍යන්තර පාසල

කුරුණෑගල


 

ආප්තෝපදේශ

* ගිනියම් කළ විට යකඩය වුවත් මොළොක් වෙයි.

දමනය කළ නොහැකි වුවත් ඕනෑම කෙනෙකු නම්මවා ගත හැකි ය.

* බණ දැනගත්තාට මදි පිළිපදින්නත් ඕනෑ.

දැනගැනීමට වඩා ප්‍රතිපත්තිගරුක වීම වැදගත් ය.

* බකුසා රන් වුවත් මුහුණේ නපුරු ගති අරින්නේ නැතිලු.

කෙතරම් උසස් වුවත් උපන් දුර්ගුණ නොමැකෙන බව.

* පියන්ගේ ළයට වඩා මවුන්ගේ ළය මොළොක්ලු.

මවු සෙනෙහස පිය සෙනෙහසට වඩා බලවත් වේ.

* දෙල් ඇති තැනටම කොසුත්

සෑම වාසියක්ම එකම තැනට ලැබේ.

* දූවිලි නැඟුවොත් හිසටත් වදී.

අනුන්ට කරන කරදරයෙන් කොටසක් තමන්ටත් හිමි වේ.

* දේශනාවට වඩා කෙරුවාව අගෙයි.

කිය කියා ඉන්නවාට වඩා ක්‍රියාවෙන්කර පෙන්වන එක වැදගත් වේ.

* දෙන්න දෙන්න වැඩි වැඩියෙන් ලැබෙනවලු.

දන් දීමෙන් අනුහස් ලැබීම.

* දුර තිබෙන කම්මලට වඩා ළඟ තියෙන කරගල හොඳයි.

සන්තකයේ නැති ලොකු දෙයට වඩා අතේ ඇති කුඩා දෙය වටිනා බව.

* තැන නොතැන බලා කතා කරනු.

අවස්ථාවට ගැළපෙන ලෙස කතා කළ යුතු වේ.

* තල්මසුන්ගේ දේ ගැන හාල්මැස්සන්ට මොන කතාද ?

බලවතුන්ගේ දෙයට දුබලයන් ඇඟිලි නොගැසිය යුතු වේ.

* ගොයම් නැති විට වැට කටු කුමට ද ?

සුරක්ෂිත කිරීමට දෙයක් නොමැති විට ආරක්ෂා ක්‍රම අවශ්‍ය නැත.

* ණය දීමෙන් මිතුරාත් මුදලත් දෙකම නැති වේ.

ණය දීම සහ ණය ගැනීමේ ඇති පුහුබව පැවසීම.

* ජීවකයාටත් ලෙඩ හැදෙනවාලු.

වෛද්‍යවරයන් පවා ලෙඩ වෙන බව.

* ගොවිකමෙන් රජකමට.

ගොවිකමෙහි ඇති වටිනාකම දැක්වීම.

* ජාතියත් ජන්මයත් අමතක කරන්න එපා.

සැමටම වඩා සංස්කෘතිකත්වය ශ්‍රේෂ්ඨ බව පැවසීම.

* කාලය හැමදෙනාම කා දමයි.

සියල්ලන්ම කාලයත් සමඟ වයසට යන බව සහ වැනසී යන බව.

 

චතූ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department