Home » Blog » දන් කඳ උහාගෙන යන ගමන

දන් කඳ උහාගෙන යන ගමන

by lakehouse
0 comments

ඩිංගිරි මුත්තාගේ හත් දොහේ දානය ගල උඩ පන්සලට ගෙහුං දීමට ගමේ ඇත්තෝ බලා සිටියහ. හීල් දානය නිසා කළු කපා එළියෙන්ම යා යුතු ය. ගල උඩ පන්සල තියෙන්නේ රබර් යායට යන මඟින් හැරී විශාල ගල් තලාවක් මැදිකර ගෙන ය. රබර් යාය අහු නොවෙන්නට එහි යා යුතු මඟක් ද නැත. අපටත් එයට සහ සම්බන්ධ වීමට අවස්ථාව ලබා ගත්තේ මහත් හෙයියන් මාරුවකින් පසු ව ය. ආත්තම්මාත්, අප්පච්චීත් කල්වේලා ඇතිව වේලා පහින්ම බණගෙදර ගියේ අපට ගෙදරට වී සිටින ලෙස කියමිනි. විමලෙත් සුද්දාත් පැමිණීමෙන් බණ ගෙදර යෑමට අපටත් අම්මාගෙන් හේමන් (වරම්) ගන්නට හැකි විය.

අපේ ගමනට කරුණෙත් උක්කුනුත්, විමලෙත්, සුද්දාත් එකතු වූහ. රනා, අම්මාට අත් ලෙහෙව්වට නැවතුණේය.

“අප්පච්චී යද්දිං ගියේ නෑ. ඒත් දැන් යන්න ඕන වුණා. පෙරේසමෙන් යන්න “අම්මා කීවා ය.

අපි බණ ගෙදරට යද්දි ඇඳිරි වැටෙමින් තිබිණි. අප යන විට අප්පච්චීත් සියාතු සීයාත් ඉදිරියෙන්ම ඉඳගෙන සිටියහ.

“ආ…… ඔය කල්ලියම ඇවිදින් තියෙන්නෙ. ආවට කාරි නෑ. හරේ මෙහේ දුවනවා නෙවෙයි. දැන් ලබන්නෙ පුර අටවක. ඉතිං හැම වෙලේම හඳඑළිය නෑ නොව. සතා සරුපය ඉන්නව. එළි පහළිය නැති තැන්වල ගාටන්න කාරි නෑ.” අප්පච්චිගේ අණ එසේ ය. කුඩා ගෙයක් වූ එහි මිදුලේ තැන් තැන්වල පුටු හා ඉඳ ගැනීමට හැකි ආසන හදා තිබුණේ ඩිංගිරි මුත්තාගේ හිතවතුන් හා නෑදෑයන් විසිනි.

අප්පච්චි දැහැත් තට්ටුව සාදා සාලයට ගෙන ගොස් තිබිණි. ගෙයි බණට වඩිනා ස්වාමීන් වහන්සේට පනවා තිබූ ආසනයට පිරුවට දමා තිබිණි. වටේටම පැදුරු එලා තිබුණේ අපටත් සැම දෙනාටමත් වාඩි වී සිටීමට ය.

“ඕං ස්වාමීන් වහන්සේ වඩිනවා” කවුරුත් සාදුකාර දුන්හ.

උන්වහන්සේ සන්සුන් ගමනින් වඩිද්දී අප්පච්චී පය සේදුවේ ය.

ඩිංගිරි මුත්තාගේ හත් දොහේ දානය ගෙන යා යුත්තේ ගල උඩ පන්සලට ය. හීල් දානය නිසා කළු කපා එළියෙන්ම යා යුතු ය. මා කිසි දිනක ඒ පන්සලට ගොස් නැත. රබර් යාය ඇති කඳු ගැට වනපෙතට මායිම්ව ඩිංගිරි මුත්තාගේ නිවෙසට උතුරු දෙසින් ඇති වන බූටෑව පසුකර ගල උඩ පන්සලට යා හැකි බව වැඩිහිටියෝ කතා වූහ.

“කවුද දැන් පන්සලට යන්නේ?”

”අපි නම් එනවා” මාත් විමලෙත් එක්විටම කීවෙමු.

“මට නම් මේ හත්දින්නක්කරේ නැඟ ගන්න බෑ. දණහිස් වේදනයි.” කයිතන් කීවේ ය.

”අයියණ්ඩි නාවට කාරි නෑ. මේ ගැටව් හත් අට දෙනෙක්ම ඉන්නෙ. ඒ වගේම අපි වැඩිහිටින් ටිකකුත් යනව. අර පැදුරු කොට්ට, කොහු, ඉදල, පැන් වැඩූ භාජන , තුන් වරුවක කෑම කළමනා එහෙම ගෙනියගන්නයි ඕන. අපිත් වයසක බූඩාල නොවැ.” කෙනෙක් කීවේය.

පිළියෙළ කෙරුණු දානය ගොප් පිරිවැසි දෙකක වළං පිටින්ම අසුරා තැබිණි.

“ කෝ මෝල්ගහ….”? වීරසේන මාමා ආසයි. මෝල් ගසේ දෙකෙළවර දන් අඩුක්කුව ගැට ගසා දන් කඳ සකසා ගත්තේ අන්දිරිස් ය.

”ලේසි වැඩක් නෙවේ. පරිස්සම් වෙන්න ඕන. ගල් මුල්වල හැපිල වැටුණොත්.. දානෙ නැති වෙයි. ඔය ලොකු අය කීප පොළකදී දන් අඩුක්කුව මාරුවෙන් මාරුවට ඇන්න යනවා හොඳයි. අනෙක් අඩුම කුඩුම මේ නාම්බන්ට දෙන්න. බවලත්තැන් කවුද යන්නෙ………?”

සාරදා, ඩිංගි ආත්තම්මාත්. ඊට පස්සෙන් පහු මමත් උක්කුවාත්, කරුණෙ හා විමලෙත් එක්ව සිටියෙමු. අංජු මාමා දන් අඩුක්කුව කරට ගෙන පෙරමුණ ගත් අතර, සෝමෙ බාප්පා හනසු එළියෙන් පාර පැහැදුම් කළේ ය.

ටික දුරක් ගිය තැන ගල් පතුරුවල නැඟ නැඟ යා යුතු විය. එතැනදී දන් කඳ සාමෙල් මාමාගේ කරට පැන්නේ ය.

කූඩැල්ලෝ හතර වටින් තුවක්කු මානති. ඒ වගේම එළි පැහැදුම් වූ අහස පිනි සළුව ඉවත් කරන්නට විය.

“අර ඈත පේන්නෙ ගල උඩ පන්සල. පූජාව තියන්නත් පස්සර වෙයි. පය උහල යමුකො.” අප්පච්චී කියයි.

දානේ පූජා කොට අපි ආපසු එන්නට පිටත් වීමු. හාමුදුරුවන් දෙසු බණ ගැන සතුටු කතා ඩිංගි ආත්තම්මා නැවත නැවත කියවන්නට වූවාය.

“අහන් ඉන්න වටින බණ ටික” ජෝන් මාමා කීවේය.

”කැකිල්ල මානා, ගල්පතුරු හැම තැනම පාර බේරගෙන තමයි එන්න ඕන. පන්සලට යද්දි නම් වගේ වගක්

නැතුව ගියා.”

“මොකද්ද මේ මල් පුසුඹ?” විමලෙ අසද්දී මම ද විමසිලිමත් වුණෙමි.

“ආ……….අන්න අර ගස්වල. ඒව බෝඹු මල්…..” කරුණෙ කීවේය.

“අපි ආවට තාම නැහැනෙ ගෙයක් දොරක් පේන මානෙකවත් තව දුරයි ද මල්ලියේ?”

“නෑ……..නෑ….තව ටිකයි. අපි එන්නෙ හෙමින් හැරේ නොවැ. මේ රූස්ස කැලේ මැදින් ගියා කියලා හිතන්නවත් බෑ. මේවයෙ අලිත් ඇති මයෙ හිතේ.” අප්පච්චී අනුමාන කළේය.

“ඉන්නවා. ඉන්නවා……”

“උඹහැ කොහොමද අංජු එහෙම කියන්නෙ?”

“ඇයි පොඩි විදානෙ මහත්තයා, අපි මේක මැද්දෙ කළුවෙයි, හැන්ඩි උන්නැහෙයි, බාලෙයි එක්කල හේනක් කළා නෙව.

ඔව්…ඉතිං. අපි අල බතල ඉතරක් නෙවි. කෙහෙල් අලත් ගෙහුං පැළ කොළා. එක දවසක් බලද්දි අර වගාව සේරෝම පාගලා. වට්ටක්කා ගැටත් එක්ක පාගල මහ වින්නැහියක් කරලා තිබුණා”

“ඉතිං අලි දැක්ක ද?”

“නෑ….බරෙත්තුවා කිව්වා, එයා දොහක් හේනට එද්දින් අලි දෙන්නෙක් ගස් අතු කඩ කඩා කැලේ ඇතුළට ගියා කියලා.

උන් තාම ඇති”

‘බරෙත්තුවා මොකට එනවද මේ කැලේ මැද්දට?”

”මංපොඩි සන්දියෙ ඉඳලම උන්නැහේ මේ හේන් යායට මූකලන් බැද්දෙ ගාටනවලු. මෑතකදි නම් දිට්ටෙ නැතුවා. මුලිච්චි වුණොත් කට කමසෙයියාවක් නැතුං කියෝනවා”

“මොනාද හේන් කූරු ගාල උහාන යන්නෙ?”

”බෝමිරියා, පුස් ඇට, කුඹුරු ඇට, මයිල මුල්, කහට , කැප්පෝරිය, බිං කොහොඹ, නෙල්ලි, වගේ දේවල්.

රත්නා කහඳගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department