පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ඔබ පාසලේදි ඉගෙන ගෙන තියෙනවා නේද? ඔවුන් අපේ ජීවිතයට අයහපත ගෙනෙනවා වගේම යහපතත් ගෙනෙන බව මේ වන විටත් ඔබ දැනුම්වත් වී ඇති නේද? ඒ පිළිබඳ ඔබගේ දැනුම තවත් වර්ධනය කිරීම සඳහා මිනිසුන්ගේ යහපැවත්මට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය මෙම ලිපියෙහි සඳහන් වේ.
ක්ෂුද්‍ර ජීවීන්
අපගේ පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් ර්ඪජපධඡඥඵ ලෙස හඳුන්වන අතර, විෂ බීජ ලෙසත් ව්‍යවහාර කරයි. මේ කුඩාම කුඩා ජීවීන් සත්ත්ව ප්‍රජාවටත් පරිසරයටත් සිදු කරන බලපෑම සුළු පටු නොවේ. ක්ෂුද්‍ර ජීවීන් ලෙඩ රෝග බෝ කරනවා මෙන් ම ජීව ලෝකයේ පරිසරයේ පැවැත්මට කරන සේවය ඉමහත් ය. ඇත්තෙන්ම ජීව ලෝකයේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර පරිසරයක් නොමැත. පස, ජලය, වාතයේ කිලෝමීටර් හයක් ඉහළට, සත්ත්ව හා ශාක දේහය අභ්‍යන්තර හා මතුපිට මෙන් ම අධික උෂ්ණත්වය පවතින උණු දිය උල්පත්, අධික දේශගුණික හිම කතරේ, මුහුදු ජලය මිශ්‍රිත ලුණු ලේවාවල, මිනිසා හා සතුන්ගේ සම මත, නාසය, උගුර ශ්වසන මාර්ගයේ ඉහළ කොටස, විනාකිරි, මද්‍යසාර ආදී ජීව ලෝකයේ සෑම තැනම ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාප්තව ඇත.
ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුමක් නොතිබුණු පැරැණි සමාජයේ පවා ක්ෂුද්‍ර ජීවීන් නිෂ්පාදන ක්‍රියාවලිය පැවැතුණි. මිනිසා විසින් මද්‍යසාර නිෂ්පාදනයට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නොදැනුවත්ව වුව ද යොදාගෙන තිබේ. සීනි අඩංගු ශාක යුෂ පැසවීමෙන් මද්‍යසාර ද ගවයන්ගෙන් ලබා ගන්නා කිරිවලින් මුදවාපු කිරි ආහාරය ද ශාක පටක හා සත්ත්ව සම් පදම් කිරීමෙන් ඇඳුම් පැලඳුම් නිෂ්පාදනය ද කළ හැකි බැව් ආදි මිනිස්සු දැන සිටියහ. ධාන්‍ය වියළා ගැනීම, මස්, මාළු වියළා ගැනීම, අච්චාරු දැමීම ආදී ක්‍රම මඟින් ආහාර කල්තබා ගත හැකි බව ආදි මිනිසා දැන සිටියහ. එහෙත් ඔවුන් මේ කාර්යය සඳහා ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධ බව දැන සිටියේ නැත.
ක්ෂුද්‍ර ජීවීන්ගේ විකාශනය
ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ දැනුම විකාශනයේ ආරම්භය සිදු වූයේ 17 වැනි සියවසේදී ය. ඒ සරල ආලෝක අන්වීක්ෂය නිෂ්පාදනයත් සමඟයි. ශාක හා සත්ත්ව සම්භවයක් සහිත සියලු කාබනික සංයෝග මත ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වන බවත් මෙමඟින් කාබනික සංයෝග විවිධ රසායනික වෙනස්වීම්වලට භාජනය වන බවත් ප්‍රංශ ජාතික ලුවි පාස්චර් ජීව විද්‍යාඥයා සොයා ගත්තේ ය. ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ දියුණුවත් සමඟ 20 වැනි සියවසේ අග භාගයේ ජාන තාක්ෂණය හඳුනා ගැනීමෙන් පසු එක් ජීවියකුගෙන් ලබා ගත් ජානයක් තවත් ජීවියකුට එන්නත් කිරීමෙන්. නව ජීවියකු බිහි කිරීමට හැකියාව ලැබී ඇත.
ආහාර නිෂ්පාදනය සඳහා දායකත්වය
ආහාර නිෂ්පාදනය සඳහා ක්ෂුද්‍ර ජීවීන් දෙයාකාරයකින් ක්‍රියාත්මක වේ. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයෙන් ඇති වන රසායනික වෙනස්වීම හා පැසීම යනුවෙන් ජීව රසායනික ප්‍රතික්‍රියා දෙකකි. ආහාරයේ කාබනික සංයෝග අඩංගු ප්‍රෝටීන මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා දුගඳක් හට ගනියි. ශාක සම්භවයක් සහිත කාබෝහයිඩ්‍රේට් මත ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් මද්‍යසාර හා කාබනික අම්ල නිෂ්පාදනය කරයි. ආහාර තාක්ෂණය, ජීව තාක්ෂණ ශිල්පය රා පැසීමේ තාක්ෂණය වර්තමානයේදී සිදු කරයි. කිරි ආහාර නිෂ්පාදන, ප්‍රති ජීවක හා විනාකිරි ආදී කර්මාන්ත ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ නව සොයා ගැනීම් සමඟ විශාල දියුණුවක් ලබා තිබේ.
ආහාර නිෂ්පාදනයේදී ක්ෂුද්‍ර ජීවීන් සිදු කරන පැසීමේ ක්‍රියාවලිය ප්‍රධාන වේ. උදාහරණ ලෙස අප ආහාරයට ගන්නා පාන් සෑදීමේදී ක්ෂුද්‍ර ජීවීන් සිදු කරන පැසීමේ ක්‍රියාවලිය හඳුනා ගැනීමට හැකි ය. රා පැසීමේ ක්‍රියාවලියෙදී බේකරි කර්මාන්ත ශාලාවල පිරිසුදු ජලයේ දියකර යීස්ට් යොදා ගනු ලබයි. විශාල ජීවීන් මෙන් නොව ක්ෂුද්‍ර ජීවීන්ට සිය ඇමයිනෝ අම්ල තමා විසින්ම නිපදවා ගැනීමේ විශේෂ හැකියාවක් තිබේ. රසකාරකයක් ලෙස භාවිත කරන ග්ලූටමික් ඇමයිනෝ අම්ලය ක්ෂුද්‍ර ජීවීන් භාවිත කරමින් කිලෝග්‍රෑම් මිලියනයක් පමණ නිෂ්පාදනය කරයි.
මේ ආකාරයට නිපදවන ඇමයිනෝ අම්ල මිනිස් සිරුරේ ඇති ප්‍රෝටීනවල ඇති ඇමයිනෝ අම්ල ඌනතා සපුරා ගැනීමට යොදා ගනියි. මේ ග්ලූටමික් අම්ල හෙවත් අජිනමොටෝ නමැති රසකාරක ක්ෂුද්‍ර ජීවීන් පැසීමේ ක්‍රියාවලියේ එක් ප්‍රතිඵලයකි. මෙය මද්‍යසාර නිෂ්පාදනයට ද දායක වේ. පොල්, කිතුල් වැනි තාල වර්ගයේ ශාකවල පුෂ්පමංජරිය කපා වැගිරෙන යුෂ අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් රා නිෂ්පාදනය කරයි. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකරීත්වය නිසා රා දින තුනක් පමණ පැසීමට ලක් කිරීමෙන් ගුණයෙන් අනූන රා නිපදවයි. එමෙන්ම මිදි යුෂ, පලතුරු යුෂ හා තැඹිලි වතුර භාවිතයෙන් වයින් නිෂ්පාදනය කරයි. මිදිවල මතු පිට පෘෂ්ඨයේ ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති. මෙම ක්ෂුද්‍ර ජීවීන් අතර බැක්ටීරියා, යීස්ට් හා දිලීර වර්ග අඩංගු වේ. ක්ෂ්‍රද්‍ර ජීවීන් මඟින් පලතුරු යුෂවල ස්වාභාවික පැසීමක් සිදුවීමට ඉඩ හැරීමෙන් වයින් සාදා ගනියි. පලතුරු යුෂ පැසීමට ලක් කිරීමෙන් මද්‍යසාර ද තව දුරටත් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා පැසීමෙන් විනාකිරි හෙවත් ඇසිටික් අම්ලය බවට ද පත්වේ.
පොල් රා වාතයට නිරාවරණය කර තැබීමෙන් ඇසිටික් අම්ල බැක්ටීරියා එකතු වී රා පැසීමට ලක් වී විනාකිරි නිෂ්පාදනයකර ගත හැකියි.
කිරි ආහාර නිෂ්පාදනයට දායක වීම
කවුරුත් කැමැති කිරි පෝෂ්‍යදායි ආහාරයකි. කිරි, ගවයන්ගෙන් දොවා ගන්නා අවස්ථාවේදීම ක්ෂුද්‍ර ජීවීන්ගේ ආක්‍රමණය සිදු වේ. මේ නිසා දොවා ගන්නා කිරි ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීමෙන් පැසීමේ ක්‍රියාවලියකට භාජනය කරයි. එහිදී සංයුතිය හා ස්වභාවය වෙනස් වේ. ස්වාභාවිකව සිදු වන මෙම ක්‍රියාවලිය මනා ලෙස පාලනය කිරීමෙන් මුදවපු කිරි, යෝගට් හා චීස් වැනි කිරි ආහාර නිපදවයි. ඔබ ආහාරයට ගන්නා යෝගට් ග්‍රෑම් එකක බැක්ටීරියා මිලියන සියයක් පමණ අඩංගු වේ. එහෙත් මේවා මිනිස් සිරුරට අහිතකර නොවේ. මෙම බැක්ටීරියා විශේෂ ආහාර මාර්ගයට ඇතුළත් වීමෙන් පසු ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. ආහාර මාර්ගය ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවී ගහනය වර්ධනය කිරීමට උපකාරී වේ.
කෘෂිකර්මය සඳහා දායක වීම
පස කියන්නේ කෘෂිකර්මය මුල් කර ගන්නා විශේෂ සාධකයකි. එයට සාරවත් පසක් අවශ්‍ය වේ. බහුල වශයෙන්ම පසෙහි ක්ෂුද්‍ර ජීවී ගහනයක් පැවතීම සාරවත් පසක දක්නට ලැබෙන ලක්ෂණයකි. දිරා යන සත්ත්ව හා ශාක කොටස් මත වර්ධනය වන ක්ෂුද්‍ර ජීවී ගහනයක් පොහොර වශයෙන් කෘෂිකර්මයේදී යොදා ගනියි. මෙසේ සාදා ගන්නා පොහොර කොම්පෝස්ට් පොහොර ලෙස හැඳීන්වේ. වර්තමානයේදී කොම්පෝස්ට් පොහොර නිපදවීම වාණිජ ව්‍යාපාරයක් ලෙස බොහෝ දෙනා කරගෙන යති. මෙය ද මිනිසාගේ ආදායම් මාර්ගයකි. මේ ආකාරයට කෘෂිකර්මයේදී මිනිස්සු ක්ෂුද්‍ර ජීවීන් යොදා ගනිති.
ඖෂධ නිෂ්පාදනයේදී ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය
සමහර ලෙඩ රෝග සඳහා වෛද්‍යවරු ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කරති. ප්‍රතිජීවක යනු ක්ෂුද්‍ර ජීවී ආසාදන සුව කිරීමට භාවිත කරන ඖෂධයකි. ලොව ප්‍රථම ප්‍රතිජීවකය පෙනිසිලීන් ය. ක්ෂුද්‍ර ජීවීන් විසින් තමන්ගෙන් නිතර සිදුවන රසායනික හා භෞතික විපර්යාස ක්‍රියාවලියක් වශයෙන් ප්‍රතිජීවක නිෂ්පාදනය කරයි. මෙය ලබා ගැනීමේ අරමුණ වන්නේ ක්ෂුද්‍ර ජීවීන්ට තමන්ගේ ආරක්ෂාව හා පැවැත්ම තහවුරු කරගැනීම සඳහා අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම හෝ ඔවුන්ගේ වර්ධනය මැඩ පැවැත්වීමයි.
ක්ෂුද්‍ර ජිවියෝ අධික ලෙස වේගයෙන් බෝ වෙති. කෙටි ආයු කාලය හේතුවෙන් සීමිත කාලයක්දී ක්ෂුද්‍ර ජීවීන් විශාල ගණනකට බිහිවීමේ හැකියාවක් තිබේ. තමාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිජීවක ප්‍රමාණයක් නිපදවන ක්ෂුද්‍ර ජීවීන් තෝරා ගැනීම, රෝපණ මාධ්‍යයේ වගා කිරීම යන කාර්යයන් පෙනිසිලින් සොයා ගැනීමෙන් පසුව ද වෛද්‍ය විද්‍යාවේදී නොකඩවා සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර ජීවී තාක්ෂණ උපයෝගි කර ගනිමින් ප්‍රතිජීවක නිපදවීමේ කර්මාන්ත ද බිහි විය. එන්නත් නිෂ්පාදනය සඳහා රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ වසූරිය එන්නත නිෂ්පාදනයත් සමඟයි. බැක්ටීරියා ආසාදනයෙන් ඇති වන රෝග සඳහා ක්ෂුද්‍රීය ජීවී පැසීමේ ක්‍රියාවලිය යොදා ගනිමින් එන්නත් නිෂ්පාදනය කරනු ලබයි.
ජීව වායුව නිෂ්පාදනය
බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස ජීව වායුව නිපදවීම හැඳීන්විය හැකි ය. බලශක්ති අර්බුදයට පිළිමයක් සේම කාබනික අපද්‍රව්‍ය පාලනය කර කාබනික පොහොර නිපදවීමට ද හැකියාව තිබේ. ජීව වායුවේ ප්‍රධාන සංඝටකය වන්නේ මීතේන් වායුවයි. ජීව වායුවේ වැඩිපුර ඇත්තේ මීතේන් ය. ජීව වායුව නිපදවීමට ජලය සමඟ මිශ්‍ර කරන ලද කාබනික ද්‍රව්‍ය යොදා ගනියි. ගොම, සත්ත්ව මල ද්‍රව්‍ය හා පිදුරු වැනි කෘෂිකාර්මික බැහැර කිරීමේ ද්‍රව්‍ය සත්ත්ව ගොවි පොළවලින් ලබා ගනියි. ඉන්පසු ඒවා මිශ්‍ර කරයි. මෙහිදී ක්ෂුද්‍ර ජීවියෝ තම ක්‍රියාකාරීත්වය ආරම්භ කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ජීව වායුව නිෂ්පාදනය වේ. මෙලෙස මිනිසාට විශාල මෙහෙවරක් කරන්නේ ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් ය.
වන්දනා අබේසේකර