ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් අපි සූදානම් වෙන්නේ කුමන වන මැද පිහිටි තවත් එක් ඓතිහාසික ස්ථානයක වගතුග සොයාගෙන යන්නයි. ඒ තමයි බෝවත්තේගල ආරණ්‍ය සේනාසනය හා ඒ අවට පිහිටි නටබුන්.
බෝවත්තේගල ආරණ්‍යයට ප්‍රවේශ වීම තරමක අසීරු කටයුත්තක්. පානම සිට කුමන දක්වා ඇති ප්‍රවේශ මාර්ගයේ ගොස් කුමන වනෝද්‍යානයට ඇතුළු වී ඉන්පසුව කුමන වැවට යන මාර්ගයේ ගොස්, කුමන වැව් ඉවුරට ළඟා වී නැවත වනය මැදින් ඊසාන දෙසට ගමන් කිරීමෙන් බෝවත්තේගලට ළඟා වීමට හැකියාව ඇත. මෙය තරමක දුෂ්කර මාර්ගයක් වන අතර, කුඹුක්කන් ඔයේ ප්‍රසිද්ධ මහගල් අමුණ පිහිටා ඇත්තේ ද මෙම ස්ථානයට ආසන්නයේ ය. ඔකඳ පිහිටි කුමන වනෝද්‍යාන දොරටුවේ සිට කි. මී. 35ක් පමණ දුරකින් මෙම සේනාසනය පිහිටා ඇත.
මෙම පූජ්‍යස්ථානය වනගහනයෙන් යුත් තැනිතලාවෙන් ඉහළ නඟින පර්වත සහිත කන්දක් මත පිහිටා තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ කටාරම් කෙටූ ලෙන් විශාල සංඛ්‍යාවක් පිහිටා තිබීම හා සෙල්ලිපි විශාල සංඛ්‍යාවක් හමුවීමයි. මෙහි ඇති බොහෝ ලෙන් කටාරම් කොටා බිත්ති බැඳ මනාව සකස්කොට ක්‍රිස්තු පූර්ව යුගයේ දී මහා සංඝයා වෙත පූජා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒවා අනුරාධපුර යුගයෙන් පසුකාලීනව ද ප්‍රයෝජනයට ගෙන ඇති බව ශේෂ වී ඇති බිත්ති කොටස් ආදී නෂ්ටාවශේෂයන් පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වේ. මෙම කන්දේ බොහෝ තැන්වල අනුරාධපුර යුගයට අයත් ගඩොල් කැබලි දක්නට හැකි අතරම, පර්වත මුදුන් කිහිපයකම දාගැබ් ගොඩැලි යැයි විශ්වාස කළ හැකි ඉදිකිරීම් දක්නට හැකි ය.
කටාරම් කෙටූ ලෙන්වලට අමතරව ඓතිහාසික වශයෙන් වටිනා තොරතුරු අඩංගු සෙල්ලිපි රාශියක් ද මෙම භූමියෙන් හමුවී තිබේ. එසේ හමුවූ සෙල්ලිපි මෙම ස්ථානය පිළිබඳව අනාවරණය කරගැනීම සඳහා විශේෂයෙන්ම වැදගත් වේ. දැනටමත් සොයා ගෙන ඇති මෙම සෙල්ලිපි බොහොමයක් කියවා ඇති අතර, එයින් එක සෙල්ලිපියක “නක ඇමති” කෙනෙක් පිළිබඳ සඳහන් වේ. තවත් සෙල් ලිපියක වී පූජාවක් පිළිබඳව ද සඳහන් වන අතර, තවත් ලිපි දෙකක “ජෙටතිස මහරජ” ගැන තොරතුරු අඩංගු වේ. එහි මෙම රජු “මහසෙන් මහරජ අභය”ගේ පුතකු හැටියට සඳහන් වී තිබෙයි.
එහි කියැවීම පිළිබඳ එල්ලාවල මේධානන්ද හිමියන් මහාවංසය උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කරයි. ඒ අනුව ජෙට්ඨතිස්ස මහරජු රුහුණේ විවිධ ආගමික කටයුතු කර ඇති බවට මෙම සෙල්ලිපි ආශ්රයෙන් හෙළිවෙන බව උන්වහන්සේ පෙන්වා දෙයි. බෝවත්තේගලින් හමු වූ තවත් එක් ලිපියකින් කියවෙන පරිදි ජෙට්ඨතිස්ස රජු රාජ්‍යත්වයට පත්ව 8 වැනි වසරේදී යම් පූජාවක් කර ඇති අතර, කුමක් පූජා කළේදැ යි සඳහන් ලිපි කොටස විනාශ වී ඇති හෙයින් හඳුනා ගැනීමට නොහැකි වී ඇත.
මෙහිදී හමුවූ සෙල්ලිපි අතරින් වැදගත්ම සෙල්ලිපියක් වන්නේ දසබෑ රජ පරපුරක් ගැන සඳහන් වන ලිපියයි. එම ලිපියෙහි,
“ගමණි පුත දශ බතිකන ජෙටෙ ශව ජෙටහ පුතෙ දමරජහ පුතෙ මහතිශ අයෙ කරිතෙ ඉම ලෙණෙ මහශුදශනෙ ශගශ දිනෙ” ලෙස සටහන්කර තිබේ. එහි තේරුම වන්නේ,
“දසබෑයන්ගේ වැඩිමලා ගාමණිගේ පුත්‍රයා වන අතර, ඔවුන් සියල්ලන්ගේම වැඩිමලා වූ ධම්මරාජගේ පුත්‍ර මහා තිස්සගේ මහාසුදස්සන නම් ලෙන සංඝයාට දෙන ලදි” යන්නයි.
මෙය දසබෑයන් විසින් සිදු කරන ලද ලෙන් පූජාවකට නිදසුනකි. මෙලෙස විවිධ පුද්ගලයන් විසින් මහා සංඝයා උදෙසා සිදු කරන ලද ලෙන් පූජා කිහිපයකම විස්තර මෙම ලිපිවලින් අනාවරණය කර ගත හැකි වේ.
ලක්නා නිරෝෂිමාලා