Home » Blog » පණ්ඩු වාසුදේව රජතුමා

පණ්ඩු වාසුදේව රජතුමා

by lakehouse
0 comments

 

 

ආදරණීය දුවේ පුතේ, අප පසුගිය සතියේ විජය රජතුමා පිළිබඳ කතා කළා. ඉතින් දුවේ පුතේ, ඊට පස්සේ උපතිස්ස රජු රජ වුණා. මෙතුමා රාජ්‍ය කළේ ඉතා කෙටි කාලයයි. ඊට පස්සේ රජ වුණේ ප½ඩුවස් දෙව් රජතුමායි. එසේ නැතිනම් මෙතුමාට පණ්ඩු වාසුදේව රජතුමා කියලාත් කියනවා. ඉතින් දුවේ පුතේ, අද අප කියන්න සූදානම් වන්නේ එතුමා ගැනයි. ඉතින් අහන්නකෝ මේ කතාව. පුංචි ඔබටත් වැදගත් වේවි.

විජය රජතුමාගෙන් පසු රාජ්‍ය භාර ගැනීමට විජය රජතුමාට රාජවංශික දරුවකු නොසිටිය බව සඳහන් වෙනවා. මේ නිසා රජකම පිළිබඳ නැවතත් ප්‍රශ්නයක් පැන නැඟුණා. ඊට පසු විජය රජතුමාගේ සහෝදරයාගේ පුතා ශ්‍රී ලංකාවට කැඳවීමට සිදු වුණා. පණ්ඩු වාසුදේව කුමරු ශ්‍රී ලංකාවට පැමිණියේ මේ ආකාරයටයි. ඒ කියන්නේ මේ කුමරු සමඟ ශ්‍රී ලංකාවට පැමිණියේ තෙවැනි සංක්‍රමණික කණ්ඩායමයි. මෙලෙස පැමිණි පණ්ඩු වාසුදේව රජතුමා ශ්‍රී ලංකාවේ තෙවැනි රජ ලෙස රජ කිරුළ හිමි කරගත්තා. ඔහු විවාහ වූයේ ද භද්දකච්චායනා ලෙසින් නම් ලැබූ කුමාරිකාවක් සමඟයි. ඇය ද ඉන්දියාවේ සිට පැමිණි කුමාරිකාවක්. පණ්ඩු වාසුදේව රජතුමා පඬුවස් නුවර තමන්ගේ අග නගරය ලෙස තෝරා ගත්තා. මෙතුමාට පුතුන් දස දෙනෙක් සහ එක දියණියක් ලැබුණා. රජතුමා දියණියට චිත්‍රා ලෙස නම තැබුවා. පසු කලෙක ඇගේ සුරූපීබව නිසාම ඇය උන්මාද චිත්‍රා නමින් රටවැසියා අතර ජනප්‍රිය වුණා. තාරුණ්‍යයේදී මේ කුමරිය ආරක්ෂා කරන ලෙස පුරෝහිත බමුණන් රජතුමා දැනුම් දුන්නා. මේ නිසාම මේ කුමාරිකාව එක්ටැම් ගෙයක රැඳවීමට රජතුමාට සිදු වුණා. මේ කාලයේදී ශ්‍රී ලංකාවේ දැඩි ලෙසම යක්ෂ වන්දනාව තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පණ්ඩු වාසුදේව රජතුමාගේ බිසව වූ භද්දකච්චායනා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඇගේ සහෝදරයන් පිරිස ඇය සමඟ මෙරටට පැමිණියා. මොවුන් ද සිය කැමැත්ත මත සුදුසු ගම් තෝරා ගනිමින් ජනාවාස නිර්මාණය කරගත්තා. ඒ අතර පසු කලෙක දිගාමඬුල්ල ලෙස ප්‍රසිද්ධ වූ විජිත ග්‍රාමය විජිත සහෝදරයා පිහිටුවා ගත්තා. රෝහණ නම් ලද සහෝදරයා රෝහණ ග්‍රාමය පිහිටුවා ගත්තා. දීඝ නම් ලද සොහොයුරා දීඝ ග්‍රාමය පිහිටුවා ගත්තා. මේ ආකාරයට පණ්ඩු වාසුදේව රජතුමාගේ රාජ්‍ය කාලය නිමාවට පත් වුණා.

නදී

(තවත් රාජ්‍ය සමයක පුවතක් ලබන සතියෙන්)


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department