Home » Blog » නායකයා කණ්ඩායමට මඟ පෙන්විය යුතුයි

නායකයා කණ්ඩායමට මඟ පෙන්විය යුතුයි

by lakehouse
0 comment

නායකයා කණ්ඩායමට මඟ පෙන්වන්නෙක් විය යුතුයි. නැතිනම් කණ්ඩායමට නිසි ගමන් මාර්ගයක් නොමැති වේ. ඔවුන්ට නිසි අවබෝධයක් ලැබීමට මෙන්ම ඉලක්ක දිනා ගැනීමට නායකයා පෙරමුණ ගත යුතුයි. මේ අයුරින් අපට අවබෝධයක් ලැබෙන්නේ පාසලේදී නායකයකු ලෙස කටයුතු කිරීමෙන් ය. මේ නිසා පාසලේදී ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සාමාන්‍ය ශිෂ්‍ය නායක සංසදයේ සිටීමටත් වඩා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමෙන් පසු වගකීම් වැඩි වේ. එමෙන්ම සෑම දෙනාත් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ද පැන නඟියි. මේ නිසා ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වීම හෝ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක වීම දරුවකුගේ පෞරුෂත්වය වර්ධනයකර ගැනීමට ඉතා වැදගත් වේ. මේ ආකාරයට ප්‍රධාන ශිෂ්‍ය නායකයකු ලෙස හෝ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක ලෙස‍ කටයුතු කිරීමෙන් අනාගතයේ රැකියාවක නිරත වීමේදී නිර්භීත තීරණ ගැනීමට අවස්ථාව උදා වේ. මේ ආකාරයට නිර්භීතව කටයුතුකරන ප්‍රධාන ශිෂ්‍ය නායකයකු සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක පිළිබඳ තොරතුරු කියන්නයි මේ සූදානම. ඒ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන චමිතු හංසන සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකව වන මෙතුම්ලි සිහන්සා මුදලිගේ පිළිබඳයි.

මගේ නම චමිතු හංසන. මට ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස පත්වීම ලැබුණු දින ලොකු සතුටක් දැනුණා. මට ශිෂ්‍ය නායක සංසදයට ඇතුළු වූ දිනයේදී සිතට ලොකු ශක්තියක් ලැබුණා. නිවෙසින්ම මට නායකත්වය පිළිබඳ දැනුමක් ලැබුණා. ඒ දැනුම මට වටිනවා. හැමෝම ඒ දැනුම ලබා ගන්නේ තමන්ගේම අම්මාගෙන් සහ තාත්තාගෙන්. මගේ අම්මාත් තාත්තාත් මට නායකත්වය පිළිබඳ ගොඩක් උපදෙස් දුන්නා. ඒ වගේම ඒ දෙන්නා මට ඒ සම්බන්ධයෙන් ක්‍රියාවෙන් කියලා දුන්නා. ගෙදරදි ලැබෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසා මට ලැබෙන අත්දැකීම් වැඩි වුණා. පිහිනුම් කණ්ඩායමේ මෙන්ම ශිෂ්‍යභට කණ්ඩායමෙත්, ශිෂ්‍යභට කණ්ඩායමේ බටහිර තූර්ය වාදක කණ්ඩායමෙත් සක්‍රීයව වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. සාමාන්‍ය ශිෂ්‍ය නායකයකු වනවාට වඩා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේදී වගකීම වැඩියි. විදුහල්පතිතුමා සමඟ මෙන්ම ගුරු මණ්ඩලය සමඟත් ශිෂ්‍ය නායක සංසදය සමඟත් අපි හොඳ සබඳතාවක් තබාගත යුතුයි. නැතිනම් අපට අපේ පාසලේ දර්ශනය වෙත යෑමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි ඉතා පරීක්ෂාකාරීව කටයුතු කළ යුතුයි. පාසලේ අධ්‍යාපන වැඩ කටයුතු කරන අතර, විෂය බාහිර වැඩ කටයුතුත් මම කරනවා. ඒ වගේම ශිෂ්‍ය නායක නායිකා සංසදයේ අය සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. අපි හැමෝම සමගියෙන් එක්සත්ව ගමනක් යා යුතුයි කියලායි මම හිතන්නේ. අපේ පාසලේ විදුහල්පතිතුමා දර්ශන උඩවත්තගේ මහතාගෙන් අපට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ හැමෝමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. මගේ අනාගත බලාපොරොත්තුව මෘදුකාංග ඉංජිනේරුවරයකු වීමයි. මම ඒ අධිෂ්ඨානයෙන් තමයි මගේ අධ්‍යාපන වැඩ කටයුතුවල යෙදෙන්නේ.”

” මගේ නම මෙතුම්ලි සිහන්සා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණ දිනයේදී මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේම මගේ අම්මාත් ගොඩක් සතුටු වුණා මට මතකයි. අම්මා මං වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කරනවා. ඒක මට ලොකු ධෛර්යයක්. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයත් මම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ අය නිසා තමයි අද මට මෙතැන ඉන්න අවස්ථාව ලැබුණේ. ඒකට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා මම නැටුම් විෂය හැදෑරුවා. ඊට පස්සේ තමයි මම සිංහල සාහිත්‍ය රසාස්වාදය හදාරන්න පටන් ගත්තේ. සිංහල සාහිත්‍ය රසාස්වාදයෙන් මට මගේ සිත සමබර කරගන්න හැකියාව ලැබෙනවා. හැම දෙයක්ම දරාගෙන යන්න හැකියාව මට ලැබුණා. අභියෝගවලට ඉවසිලිවන්තව මුහුණු දීමටත් මට හැකියාව ලැබුණා. මම හිතන්නේ ඒකත් පාසල් ජීවිතේදී ලබන්න හැකිවෙන වාසනාවක් කියලා. ”

” නායකයකු කියන්නේ හොඳ සන්නිවේදන හැකියාවක් තිබෙන කෙනකුට. සන්නිවේදන හැකියාවක් නැතිනම් නායකයු වෙන්න බැහැ. ඕනෑම පිරිසක් හසුරුවන්න එම සන්නිවේදන හැකියාව අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වීමෙන් ඒ සන්නිවේදන හැකියාව ගොඩනැඟෙනවා. ඒකත් අපේ අනාගතයට ඉතා හොඳයි. අපි අනාගතයේදී කුමන වෘත්තියක් කළත් ඒ සන්නිවේදන හැකියාව අපට ප්‍රයෝජනවත් වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව කථිකාචාර්යවරයකු වන්නයි. ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නත් මගේ වර්තමාන ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරු වැදගත් වේවි කියලායි මම හිතන්නේ. අපට හැම දෙයක්ම ඉතා සංයමයෙන් කරන්න පෙරහුරුවක් දෙන අපේ විදුහල්පතිතුමා දර්ශන උඩවත්තගේ මහතා ඇතුළු ගුරු මණ්ඩලයටත් මගේ හද පිරි ස්තූතිය පුද කරනවා.”

ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා යැයි යන්න අපි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department