ආදරණීය දුවේ පුතේ, යාල වනෝද්‍යානයේ නැඟෙනහිර පිහිටි කුමන වනෝද්‍යානය කුරුල්ලන්ගේ පාරාදීසයක් බව අපි හැමෝම දන්නවා. මේ වන රජ දහන තුළ කඳුගැට අතර සැඟවුණු අපේ උරුමයන් රාශියක් තියෙනවා. අද දවසේ අපි සූදානම් වෙන්නේ ඒ වගේ සැඟවුණු ඓතිහාසික ස්ථානයක වග තුග සොයාගෙන යන්නයි.
අපි අද සංචාරය කිරීමට බලාපොරොත්තු වන බඹරගස්තලාව පුදබිම කුමන වනෝද්‍යාන ප්රවේශයේ පිහිටි ඔකඳ සිට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටා ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මැද කඳු පර්වත පිහිටීම නිසා ප්‍රවේශ වීම තරමක් අසීරු වුවත් කුඩුම්බිගල තපෝ වනයේ සිට කිලෝමීටර් 7ක පමණ දුරින් ඉතා අලංකාර පරිසරයක මෙම වටිනා පෞරාණික ස්ථානය පිහිටා තිබේ.
විහාර භූමියෙන් හමුවන සෙල්ලිපිගත සාක්ෂි අනුව මෙම ස්ථානය පුරාණයේ හඳුන්වා ඇත්තේ “නගපවත ශෙහශන” හෙවත් නාගපබ්බත සේනාසනය වශයෙනි.
එම සෙල්ලිපි පාඨය මෙසේය …
“බදත මිතෙන මපිත නගපවත ශෙනශන”
“භදන්ත මිත්‍ර විසින් නිර්මාණය කරන ලද නාග පබ්බත සේනාසනය” එහි අරුතයි.
එහෙත් කුමන හෝ හේතුවක් නිසා පසුව මෙම විහාරය බඹරගස්තලාව විහාරය ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ.
මෙම විහාර භූමියේ ශේෂව පවතින නටබුන් අතර, පර්වත මුදුනේ මෙන්ම පහත් බිම්වලින් ස්තූප දහයකට අධික සංඛ්‍යාවක් අපට හමුවේ. එම ස්තූප ගොඩනැඟීමට භාවිතා කරන ලද පැරැණි ගඩොල් දහස් සංඛ්‍යාවක් ඒ අවට භූමියේ විසිර පවතී. එම ගඩොල් අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් යැයි විශ්වාස කරනු ලැබේ.
මෙහි චෛත්‍යයට අමතරව නටබුන් බවට පත්වූ ආරාමික ගොඩනැඟිලි, බුදු පිළිම, සිරිපතුල් ගල්, බුදු මැඳුරු, ආසනඝරයක් හා ගරා වැටුණු පියගැට පෙළවල් දක්නට හැකි අතර, සමචතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් පැවති බවට ද සාධක හමුවී තිබේ. එම ගොඩනැඟිල්ලේ පේළියකට හය බැගින් සිට වූ ගල් කණු පේළි හයක් දක්නට හැකි ය. මෙහි ඇති අනෙක් ගොඩනැඟිලි හඳුනාගත නොහැකි ආකාරයට විනාශ වී ගොස් ය.
මෙහි දක්නට ලැබෙන සියලු ලෙන් කටාරම් කොටා ඇති අතර එම ලෙන් අතර දර්ශනීයම ලෙන වන්නේ “නගපවත ශෙනශන” යනුවෙන් සෙල්ලිපියක සඳහන් වන ලෙන යි. එම ලෙන අඩි දෙසීයක් පමණ දිග ය. එය ඉදිරියේ විශාල ප්රපාතයකි. වර්තමානය වන විට මෙම භූමියේ මෙවැනි ලෙන් විස්සක් පමණ සොයාගෙන ඇති අතර, ලිපි 14ක් ද සොයාගෙන ඇත. ඒ සෑම ලිපියකම මහා සංඝරත්නයට ලෙන් පූජා කිරීම පිළිබඳ විස්තර අඩංගු වේ.
මෙම භූමියේ පිහිටි ලෙන් අතර සැතපෙන පිළිමය පිහිටි ලෙන විශේෂ ස්ථානයක් වශයෙන් සැලකෙයි. එම ලෙන කුඩා ගල්කුළු කිහිපයකට මැදිව විශාල පර්වතයක උතුරු හා දකුණු පැති ආශ්‍රිතව ඉදිකර ඇති අතර, එහි කොටසක් සංඝාවාසයක් ලෙස භාවිත කරන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. පසු කාලයේ එහි ප්‍රතිමාවක් තනා බුදු මැඳුරක් බවට පත් කරන්නට ඇත. එය අඩි 36ක් දිග ය. ගඩොල් හා මැටි බදාම උපයෝගී කොටගෙන තනා හුනු කපරාරුකර ඉදිකර ඇති මෙය අනුරාධපුර යුගයට අයත් ලෙස සැලකෙයි. වර්තමානයේ මෙම පිළිමය නිදන් හොරුන් විසින් විනාශකර ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එහි සංරක්ෂණ කටයුතු සිදු කරමින් පවතියි. ඉතින් දුවේ පුතේ, තවත් මේ වගේ සැඟවී ගත් ඓතිහාසික වශයෙන් වටිනා ස්ථාන බොහොමයක් කුමන වනාන්තරය පුරාම විහිදී පවතියි. ඒනිසා අපි ලබන සතියෙත් මේ වගේ තවත් ස්ථානයක් සොයාගෙන යමු.
ලක්නා නිරෝෂිමාලා