Home කතන්දර  පීටර්ගේ  නිල් කබාය

 පීටර්ගේ  නිල් කබාය

by lakehouse
0 comment

පීටර් හරිම දඟකාර සහ හිතුවක්කාර හාවෙක්. එයාගේ අම්මා එයාට නිතරම අවවාද කළා මැක්ග්‍රෙගර් මහත්මයාගේ එළවළු කොටුව පැත්තෙ නම් යන්න එපා කියලා. හා අම්මා කියන එක පීටර්ගේ සහෝදරියන් තුන්දෙනා නම් ඇහුවා. ඒත් හිතුවක්කාර පීටර්ට නම් කීකරු හාවෙක් වෙන්න බැරි වුණා. ඉතින් එක දවසක් පීටර්, මැක්ග්‍රෙගර්ගේ එළවළු කොටුව පැත්තෙ ගියා. ඊට පස්සෙ පීටර්ට මොකද වුණේ? ඔන්න කියවලා බලන්නකෝ.

එකමත් එක ගම්මානයක තිබූ විශාල දේවදාර ගසක් යට වැලි මත සෑරූ ගුලක හා පවුලක් වාසය කළා. මේ හා පවුලේ හුරුබුහුටි හාවුන් හතරදෙනෙක් සිටියා. ෆ්ලොප්සි, මොප්සි, කොට්න්ටේල් සහ පීටර් තමයි ඒ හාවුන්ගේ නම්. හා අම්මා මේ හතරදෙනාටම හරිම ආදරෙයි. එක දවසක් උදෑසනක හා අම්මා හා පැංචන් අමතලා මෙහෙම කිව්වා.

“ මේ අහන්න මගේ ආදරණීය දරුවනේ, මං ටිකකට එළියට යනවා බේකරියට ගිහින් එන්න. එතකම් ඔයාලා පරෙස්සමට ඉන්න ඕනැ. සෙල්ලම් කරන්න එළියට ගියාට වැඩි ඈතක යන්න එහෙම එපා. විශේෂයෙන් අර නපුරු මැක්ග්‍රෙගර් මහත්තයාගෙ ගෙවත්තට නම් යන්න හිතන්නවත් එපා. දන්නවනේ එහාට ගිහින් ඔයාලගෙ තාත්තට වුණ දේ“

“ඒවගේම දඟවැඩ නම් කරන්න එපා “ හා අම්මා එහෙම කියලා වේවැල් කූඩය සහ කුඩය අතට අරගෙන හා ගුලෙන් පිටතට ඇවිදගෙන ගියා. ඇය හැමදාම බේකරියට ගිහින් එනකොට දුඹුරු පාට ලස්සන පාන් ගෙඩියකුයි මිදි දැමූ බනිස් පහකුයි අරන් එනවා. ෆ්ලොප්සි, මොප්සි , කොට්න්ටේල් හරිම හොඳ හා පැටවුන්. ඒ තුන්දෙනා හා ගුල ළඟ තිබූ පටු පාරේ ඇවිද ගියා බ්ලැක්බෙරි කඩාගන්න. පීටර් හාවා ඒ කියන්නේ දඟම හා පැංචාත් එළියට ඇවිදගෙන ගියා. ඒත් එයා අනෙක් හා පැංචන් වගේ හා ගුල අසල රැඳුණේ නැහැ. එයා කෙළින්ම දිව ගියේ මැක්ග්‍රෙගර්ගේ ගෙවත්ත දෙසටයි. පීටර් වසා තිබූ ගේට්ටුව යටින් කොහොම හරි රිංගලා මැක්ග්‍රෙගර්ගේ ගෙවත්තට ඇතුළු වුණා. ඊළඟට වේගයෙන් එළවළු කොටුව දෙසට දිව ගියා. එහි එළවළු පිරිලා තිබුණා. පීටර් මුලින්ම සලාද කොළ කිහිපයක රස බැලුවා. ඊළඟට බෝංචිවල රස බැලුවා. ඊළඟට රාබු අලයක්. මේ විදිහට ගොඩක් කාලා කාලා වැඩිවෙලා පීටර්ගේ බඩ රිදෙන්න වගේ ගත්තා. ඊට පස්සේ පීටර් පාස්ලි කොළයක් හැපුවා. තව ටිකක් දුර ඇවිද ගිය පීටර්ට ඊළඟට හමු වුණේ පිපිඤ්ඤා ගාලයි. ආහ්! ඒ ළඟම නපුරු මැක්ග්‍රෙගර් සිටියා! ඔහු දණ ගසාගෙන ළපටි ගෝවා පැළ කරමිනුයි සිටියේ. මැක්ග්‍රෙගර්ව දැක්කා විතරයි පීටර් දිව යන්න පටන් ගත්තා. ඒ දුටු මැක්ග්‍රෙගර්, ගෝවා පැත්තක දාලා පීටර් පසුපස ලුහුබඳීන්න පටන් ගත්තා.

“ඒයි හොර තක්කඩි හාවෝ! ඔහොම නැවතියන්” එසේ කෑගසමින් මැක්ග්‍රෙගර් රේක්කයකුත් අරන් පීටර් පසුපස පැන්නුවා.

පීටර්ට හොඳටම බය හිතුණා. පීටර් මුළු එළවළු කොටුව පුරාම දිව ගියා. ගෙවත්ත පුරාම දිව ගියත් පීටර්ට ගේට්ටුව තිබෙන තැන සොයා ගන්න බැරි වුණා.

කලබලේට දිව ගිය නිසා පීටර්ගෙ එක සපත්තුවක් ගෝවා අතරේ නැති වුණා. අනෙක් සපත්තුව අර්තාපල් වගාව අතරේ නොපෙනී ගියා.

සපත්තු දෙකත් නැති වුණාට පස්සේ පීටර් කකුල් හතරම බිමට තියලා වේගය වැඩි කරලා දිව යන්න පටන් ගත්තා. ඕහ්! පීටර් ඒ වතාවේ දිව ගියේ ගූස්බෙරි ගාල දෙසටයි. අවාසනාවට පීටර්ගේ උඩු කබායේ බොත්තමක් ගුස්බෙරි වගාව ආවරණය කර තිබූ දැලේ පැටලුණා. අලුත්ම අලුත් නිල් පාට උඩු කබායට සවි කර තිබුණේ දිලිසෙන පිත්තල බොත්තම්. මේ බොත්තමක් තමයි දැලේ පැටලුණේ. පීටර්ට කිසිම දෙයක් කරකියාගන්න බැරි වුණා. බය සහ දුක සිතී පීටර්ගේ ඇස්වලට කඳුළුත් ආවා. ගේ කුරුල්ලෙක් පීටර් ළඟට ඇවිත් බලා සිටියා. ඒත් එක්කම නපුරු මැක්ග්‍රෙගර් පෙනේරයක් අරන් එතැනට ආවා. ඔහු පීටර්ව පෙනේරයෙන් වහන්න සූදානම් වුණා. එතකොටම පීටර් නිල් කබාය දැලේ තියෙන්න ඇරලා එතැනින් පැනලා දිව්වා. ඊළඟට පීටර් දිව ගියේ මැක්ග්‍රෙගර්ගේ ගෙවතු වගාවේ විවිධ උපකරණ තබා තිබූ කුඩා මඩුව දෙසටයි. එහි තිබූ වතුර කෑන් එකකට පීටර් පැන්නා.

කෑන් එක ඇතුළෙ වතුර ගොඩක් නොතිබුණා නම් හැංගිලා ඉන්න අපූරු තැනක් ඒක. එතැනට ආව මැක්ග්‍රෙගර් දැන ගත්තා පීටර් ඒ ළඟම හැංගිලා ඇති කියලා. ඔහු එහි තිබූ හැම මල් පෝච්චියක්ම ඔසවමින් පීටර්ව හෙව්වා.

“හච්චිං!”

කෑන් එක ඇතුළෙ හැංගිලා හිටිය පීටර්ට එ‍කපාරටම කිවිසුමක් ගියා. ඒක ඇහිලා මැක්ග්‍රෙගර් වටපිට බැලුවා. ඒත් එක්කම පීටර්, කෑන් එකෙන් පිටතට පැනලා ජනේලයෙන් ද පිටතට පැන්නේ එහි තිබූ පැළෑටි කිහිපයකුත් පාගාගෙනයි. ජනේලයෙන් දිව යන්න මැක්ග්‍රෙගර්ට ඉඩ මදි වූ නිසාත් පීටර් පසුපස පන්නලා හොඳටම මහන්සි නිසාත් මැක්ග්‍රෙගර්ගේ වේගය අඩු වුණා. ඉතින් ඒ අතරේදි පීටර් ඈතට දිව ගියා. මැක්ග්‍රෙගර් පීටර්ව අමතක කරලා ආයෙත් එයාගේ වගා වැඩ කරන්න පටන් ගත්තා. දිව ගියාට පීටර්ට ගෙවත්තෙන් පිටතට යන ගේට්ටුව තිබෙන දිහා සොයාගන්න බැරි වුණා. ඉතින් පීටර් ටිකක් නැවතිලා මහන්සි ඇරියා. ඊළඟට සෙමින් සෙමින් ඇවිද ගියා .

රටකජු ඇට සහ බෝංචි ඇට රැගෙන මීයෙක් එතැනින් ගියා. පීටර් එළියට යන ගේට්ටුව ගැන මීයාගෙන් ඇසුවත් මීයාගේ කටේ ද රටකජු ඇට තිබූ නිසා මීයාට උත්තර දෙන්න බැරි වුණා.

පීටර් හරිම දුකෙන් සහ බයෙන් තවත් දුර ඇවිද ගියා. මැක්ග්‍රෙගර් කෑන්වලට ජලය පුරවන පොකුණ පීටර්ට හමු වුණා.

පොකුණේ සිටි මාළුවෙක් දෙස බලාගෙන සුදු පාට බළලෙක් සිටියා. බළලාට කතා කරන්න නවතින්නේ නැතිව පීටර් තවත් ඉදිරියට ගමන් කළා. ඒ මැක්ග්‍රෙගර්ගේ උපකරණ තිබූ මඩුව දෙසටයි. එහි තිබූ වීල්බැරෝව උඩට නැඟ ගත් පීටර් වටපිට බැලුවා. ඈතින් මැක්ග්‍රෙගර් පීටර්ට පිටුපා ලූනු වගාවේ පස් බුරුල් කරමින් සිටියා. ඊට එපිටින් ගේට්ටුව පෙනුණා. කිසිම සද්දයක් නොකර වීල්බැරෝවෙන් බිමට බැස්ස පීටර් හැකිතරම් වේගයෙන් ගේට්ටුව දෙසට දිව ගියා. බ්ලැක්බෙරි පඳුරු අතරින් ගමන් කළා. මැක්ග්‍රෙගර් පීටර්ව යන්තමට දුටුවත් ඔහු නැවත පීටර් පසුපස ලුහු බඳීන්න කාලය වැය කළේ නැහැ. පීටර්ගේ නිල් කබාය සහ සපත්තු දෙක එළවළු කොටුවේ සිට වූ දිගු ලී කෝටුවකට අන්දවා පඹයෙක් වගේ සකසා තිබෙන සැටිත් පීටර් දුටුවා. පීටර් මැක්ග්‍රෙගර්ව දුටුවේ නෑ වගේ ගේට්ටුව

දෙසට ගමන් කළා. ගේට්ටුව යටින් අමාරුවෙන් බඩගා ගිය පීටර් අන්තිමේ දී එළියට පැන ගත්තා. ඊට පසුව හැකි තරම් වේගයෙන් දේවදාර ගස යට පිහිටි තමන්ගේ ගෙදර සොයාගෙන දිව ගියා. පීටර්ට හරිම මහන්සියි. ගෙට ඇතුළුවුණු පීටර් කෙළින්ම ගියේ නිදාගන්නයි.

හා අම්මා උයමින් කාර්යබහුල වෙලයි සිටියේ. නිදාගෙන ඉන්න පීටර්ව දැකලා අම්මා පුදුම වුණා. පීටර්ගේ ඇඳුම් පැලඳුම්වලට මොකද වුණේ කියලා ඇය තවත් පුදුම වුණා. පීටර් කබා සහ සපත්තු නැති කරගත් දෙවැනි අවස්ථාව තමයි මේක. රෑ වෙනකොට පීටර් අසනීප වුණා. දුවලා මහන්සියටම වෙන්න ඇති. ඉතින් පීටර්ට සිදුවුණා ඇඳටම වෙලා ඉන්න. එදා රෑට එයාට ලැබුණේ කැමොමිල්වලින් සෑදුව තේ එකක් විතරයි. හැබැයි ෆ්ලොප්සිටයි, මොප්සිටයි, කොට්න්ටේල්ටයි නම් රසම රස කිරි, පාන් සහ බ්ලැක්බෙරිත් කෑමට ලැබුණා.

පුංචි ඔයාලා මේ කියෙව්වේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකා බියට්‍රික්ස් පොටර් විසින් රචනාකර සිතුවම් අඳීන ලද පීටර් රැබ්ට්ගේ කතන්දරයකුයි. පළමුවරට පීටර් රැබිට් කතාව මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1902 වසරේ දීයි.

මේ කතන්දරය කිය වූ පුංචි ඔයාලා නම් අම්මලාට අකීකරු වී මෙහෙම දඟවැඩ කරලා කරදරවලට පත් වෙන්නේ නැහැ නේද? මං හිතනවා එහෙම.

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department